මීවැවේ එච් -‍ ටූ -ඕ | සිළුමිණ

මීවැවේ එච් -‍ ටූ -ඕ

මීවැවට යන්න ඕන ගනේගොඩ හන්දියෙන් හැරිලා. ගනේගොඩ හන්දිය තියෙන්නේ නාරම්මල ඉඳලා කුරුණෑගලට යන පාරේ. නාරම්මල ඉඳලා වැඩි දුරක් නෑ. නගර සීමාව ඉවරවෙන්නේ ගනේගොඩින්. අනිවාර්යයෙන් ම, මීවැවේ වැවක් ඇති කියලා පාඨකයන්ට හිතෙන්න පුළුවන්. එහෙම නැතිනම් ඒ ගමට මීවැව කියලා නම දාන්න විදිහක් නැහැනේ. ඒත් දැන් මීවැවේ වැවක් නෑ. නාරම්මල නගරයෙන් වැඩි ඈතක නොවුනත් මීවැව කියන්නේ හොඳ පිටිසර ගමක්. හැබැයි ඒ ගමේ වැව නම් දැන් ඉතිහාසයට එකතුවෙලා. ඒත් ගමේ කුඹුරු තියෙනවා. කුඹුරුවල ගොයම් දකින්න පුළුවන් බොහොම කලාතුරකින්. මොකද දැන් කාලේ වහින එකේ වුනත් කිසි ලකයක් නැහැනේ. ඉතින් වැස්සොත් මීවැවේ මිනිස්සු කුඹුරු කරනවා. ඊට පස්සේ ඒ කුඹුරු මැරෙන දිහා බල බලා හූල්ලනවා. හැබැයි පුරුදුවෙලා තියෙන විදිහට තුන් වේලට ම බත් කන එක නම් ඒ මිනිස්සුන්ට එච්චර අමාරු වැඩක් නෙවෙයි. මොකද නාරම්මල නගරය තියෙන්නේ ළඟපාතනේ. ඉතින් මීවැවේ මිනිස්සු නාරම්මල නගරයට ගිහිල්ලා හාල් ඇරගෙන එනවා.

කුඹුරු කිරිල්ල පැත්තකින් තියමුකෝ. මිනිස්සුන්ට වතුරවලින් කරන්න පුළුවන් තව කොච්චරක් නම් වැඩ තියෙනවා ද? රෙදි හෝදගන්න ඕන. නාගන්න ඕන. බොන්න ඕන. මිදුලේ වවලා තියෙන මල් ගහකට වතුර ටිකක් දාගන්න ඕන. ගමේ ගෙවල්වල හදන සතා සිව්පාවෙකුට වුනත් වතුර දෙන්න ඕන. ඒත් හරියට වැස්සක් වැටුණේ නැතිනම් ලිංවල වතුර පල්ලට හි‍ඳෙනවා. හැබැයි දැන් මීවැවේ පානීය ජල බෝතල් විකුණන්න තියෙනවා. ලීටරයක් රුපියල් තුනයි. ගණන් වැඩියි කියලා කියන්නත් බෑ.

මීවැවේ ඉස්කෝලයකුත් තියෙනවා. ඉස්සර මේ ඉස්කෝලේ හරි සරුවට කෙරුනාලු. ඒත් දැන් ඉස්කෝලේ ඉන්නේ ළමයි තිහක් තිස්පහක් විතර. ගුරුවරු නම් හත් අට දෙනෙක් ඉන්නවාලු. ඒ ළමයින්ට එච්-ටූ-ඕ ගැන කියලා දෙනවා ද කියන එක ගැන නම් මේ ලේඛකයා දන්නේ නෑ.

ඒත් ඉතින් දැන් එච්-ටූ-ඕ ගැන නොදන්නේ කවුද? ඒ වගේ දේවල් අපි හොඳින් ඉගෙනගන්න ඕන. ඒ විදිහට විශ්ලේෂණයෙන් ලෝකය ගැන දැනගෙන ඒ දැනුමෙනුත් වැඩගන්න පුළුවන්. දැනුම උපදින්නේ නැගෙනහිර ද බටහිර ද කියන එක ගැන අපි වදවෙන්න ඕන නෑ. අපි හිතන්න ඕන අපිට, අපේ රටට, අපේ අනාගත පරම්පරාවල අයට ඒ දැනුමෙන් ප්‍රයෝජනයක් තියෙනවා ද කියන එක ගැන. ඒ වගේ ම ඒ දැනුමෙන් අපිට, අපිත් අයිති පරිසරයට, අපේ රටට, අපේ අනාගත පරම්පරාවල අයට, අවසාන වශයෙන් මේ ලෝකයට හානියක් වෙන්නේ නැති ද කියන එක ගැන.

ධාර්මික කර්මාන්ත ගැන මග කියාදීපු ආගමක් අදහන අපිට ධාර්මික දැනුම ගැනත් හිතන්න බැරිකමක් නෑ. කාට කාටත් ප්‍රයෝජනවත්, ලෝකයටත් අපිටත් හානියක් නැති දැනුමක් ධාර්මික දැනුමක් කියලා අර්ථදක්වන්න පුළුවන්. ඉතින් අපේ ඉස්කෝලවල උගන්නන්නේ ධාර්මික දැනුම නම් අපිට පුළුවන් බෞද්ධයෝ විදිහට සෑහීමකට පත්වෙන්න.

ලෝකයේ තියෙන ඕනෑ ම රටක, ඕනෑ ම සංස්කෘතියක හදා වඩාගත්ත ඒ විදිහේ දැනුමක් අපේ ළමයින්ට ලබාදෙන්න අපි පැකිලෙන්න ඕන නෑ.

ඉතින් බටහිර ලෝකයෙන් එන දැනුමක් දිහා වුනත් අපි බලන්න ඕන මේ කාරණය හිතේ තියාගෙන. දැනුම කියන්නේ යම් යම් උවමනා එපාකම් පිරිමහගන්න මිනිස්සු හදාගන්න දෙයක්නේ. ඉතින් අපිටත් අපේ උවමනා එපාකම් ගැන තේරුමක් තියෙනවා නම් ඒ දේවල් වෙනුවෙන් උවමනාකරන දැනුම නිර්මාණය කරගන්නත් පුළුවන්. එහෙම නැතිනම් ඒ වැඩවලට උවමනා කරන දැනුම අනිත් මිනිස්සුන්ගෙන් ඉල්ලගන්නත් පුළුවන්.

දැන් අපි ආයෙත් එච්-ටූ-ඕ කතාවට එමු. මීවැවේ මිනිස්සුත් එච්-ටූ-ඕ ගැන දන්න බවට සැකයක් නෑ. ඒත් මීවැවේ වැවක් නෑ. මීවැවේ මිනිස්සුන්ට තමන් ගේ ඕන එපාකම් වෙනුවෙන් වතුර නෑ. හත්කෝරළයේ තියෙන හොඳ ම කුඹුරු යායක් තවත් ටික කාලයක් යන්න කලින් පුරන්වෙලා යාවි. මේක මීවැවට විතරක් අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. මුළුමහත් වැව් බැඳි රාජ්‍යමය ම මේ ප්‍රශ්නයෙන් බැටකනවා. අපේ රටේ වැඩියෙන් ම කුඹුරු කරන හත්කෝරළයේත් රජරට නුවර කලාවියේත් මිනිස්සු මහා සාගතයකට තල්ලුවෙමින් ඉන්නවා. වතුර නැතිකම ගැන ප්‍රවෘත්ති ගංවතුර ගැන ප්‍රවෘත්ති වගේ නැගලායන්නේ නෑ. ඒත් තව ටික කාලයක් මේ විදිහට වැඩ වුනොත් වතුර නැති හින්දා ලැබෙන නැගලා යන ප්‍රවෘත්ති ටිකක් ඇසීමේ, කියැවීමේ, බැලීමේ වාසනාවත් අපිට ලැබේවි.

අද අපේ රටේ තියෙන ප්‍රධාන ම ප්‍රශ්නය තමයි මිනිස්සු බෙදිලා කා කොටාගන්න එක. ඒකට දෙවැනි නැති තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි කරන ඉවරයක් නැති ඉඩම් බෙදිල්ල. කුරුණෑගල පැත්තේ තිබුණු මහ පොල් වතු සෑහෙන ප්‍රමාණයක් දැන් පර්චස් දහය දොළහේ කෑලිවලට බෙදලා ඉවරයි. මේ ඉඩම්වල ගෙවල් හදන්නේ ළිඳකුත් හාරලා. වැව් බැඳි රාජ්‍යය කියන්නේ ගැඹුරු පස් තට්ටුවක් තියෙන ප්‍රදේශයක් නෙවෙයි. ඉතින් ඒ පොළොවේ හැම තැන ම ළිං හාරපු අපේ මිනිස්සු දැන් පොළොව යට තියෙන වතුරත් උඩට ගන්නවා. ඒ මදිවට ඉස්සර වගේ වැව් ඇත්තෙත් නෑ.

වැව්වලින් කළේ පොළොව මතුපිට වතුර මට්ටම රැකලා දෙන එක. දැන් උඩත් වතුර නෑ. යටත් වතුර නෑ.

වැව්වලින් පොළොවේ වතුර රැකලා දීපු හැටි පෙන්නන පර්යේෂණයක් කරලා තියෙනවා අපේ ඉංජිනේරු මහත්තුරු දෙන්නෙක්. එක්කෙනෙක් තමයි ජා-ඇල ඒකල ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ වැඩ කරන වරලත් ඉංජිනේරු කපිල පීරිස් මහත්තයා. අනිත් එක්කෙනා තමයි කොළඹ තියෙන ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාලයේ වැඩකරන වරලත් ඉංජිනේරු සංජීව විජේසිංහ මහත්තයා. ගම් වැව්, මහ වැව් විතරක් නෙවෙයි කුළු වැව් පවා හදලා තිබුණේ පොළොවට වැටෙන වතුර ටික රැකගන්න අරමුණෙන්.

පොළොවේ සමෝච්ච මට්ටම් දිගේ හදල තිබුණු ඇල මාර්ගවලින් පවා සිද්ධවුනේ ඒ දේ. කපිල සහ සංජීව දෙන්නා කරපු පර්යේෂණයේ වැදගත් ම කොටස තමයි බිසෝකොටුවෙන් සිද්ධවෙන දේ හඳුනාගත්ත එක. ඒ දෙන්නා පෙන්නලා දීලා තියෙන විදිහට බිසෝකොටුව කියලා කියන්නේ වැවේ වතුර එළියට දාන දොරක් නෙවෙයි. ඒකෙන් වෙන්නේ වැඩි පීඩනයකින් වැවේ තියෙන වතුර හෙමින් හෙමින් පිටවෙන්න උදව්කරන එක.

උදුලබණ්ඩාර අවුසදහාමි මහත්තයාත් වැව ගැන සෑහෙන දැනුමක් අපිට කියලා දීලා තියෙනවා. මේ වගේ දැනුමැත්තෝ ලියන ලිපි පත්තරවලත් පළවෙනවා. ගුවන්විදුලියේත් රූපවාහිනියේත් වැඩසටහන් ප්‍රචාරය වෙනවා. මේ මෑතකදී ආචාර්යඑම්. යූ. ඒ. තෙන්නකෝන් ‘සිළුමිණ‘ ට ලිපියක් ලියලා තිබුණා Òවැවසුරකිනකට්ටකාඩුවÓ කියලා. ඉතින් වැව ගැන සංග්‍රහවෙච්ච සෑහෙන දැනුමක් අපි අතර තියෙනවා. වැව කියන්නේ අපේ උවමනා එපාකම් සපුරන නිර්මාණයක්. වැව ගැන දැනුමත් ධාර්මික එකක්.

වැව් තියෙන එක අපිටත් හොඳයි, මහ පොළොවටත් හොඳයි, සතා සීපාවටත් හොඳයි, ගහ කොළවලටත් හොඳයි. ඒත් වැව් ගැන අපි දන්නේ බොහොම ටිකයි. මෙහෙම වෙලා තියෙන්නේ ඇය

වැව් ගැන දැනුම ඉස්කෝලේ පාඩමක් බවට පත්කරන්න බැරි ද? වැව කියලා කියන්නේ මිනිස්සුන්ට, සතා සීපාවට, මහ පොළොවට, ගස් වැල්වලට උවමනා නිර්මාණයක් හින්දා ඒක ගැන ඉස්කෝලේ පංතිවල කියලා දෙන එකේ වැරැද්දක් නෑ. ඒත් එහෙම දෙයක් අපේ රටේ කෙරෙන්නේ නෑ. මෙහෙම වෙලා තියෙන්නේ ඇයි? අපේ ඉස්කෝලවලින් සෑහෙන ප්‍රමාණයක් ඕල්කොට්තුමා මුල්වෙලා ආරම්භ කරපු හින්දා ද? ඒ ඉස්කෝලවල බටහිර අධ්‍යාපනය විතරක් ලබාදෙන හින්දා ද? මේ සම්බන්ධයෙන් අපිට කරන්න දෙයක් ඉතිරිවෙලා නැති ද?

ඇයි අපි හැම වෙලාවේ ම අනිත් අය ගේ අදකුද ගැන විතරක් කතා කර කර ඉන්නේ? මේ වෙනුවෙන් අපිට කොච්චරක් නම් දේවල් කරන්න පුළුවන් ද? දැන් උදුල බණ්ඩාර අවුසදහාමි මහත්තයා කියන දේවල්, කපිල පීරිස් මහත්තයායි සංජීව විජේසිංහ මහත්තයායි කියන දේවල්, මීට අවුරුදු තිහකට විතර කලින් අගමැති අයියා - ඒ කියන්නේ මුදියන්සේ තෙන්නකෝන් මහත්තයා; කියපු දේවල්, ඒ වගේ ම සූරිය ගුණසේකර මහත්තයා කියපු දේවල් පිළිවෙලකට එකතුකරලා පෙළ පොත් ටිකක් විදිහට සංග්‍රහකරන්න අපිට බැරි ඇයි. මෙන්න මෙතැනයි අපේ වැරැද්ද තියෙන්නේ. පාසල් ළමයින්ට උවමනා කරන පෙළ පොත් ලියනවා කියන්නේ පත්තරවලට ලිපි ලියන එකට නෙවෙයි.

ඒක ළමයින් ගේ මනස තේරුම් ඇරගෙන කරන්න ඕන වැඩක්. මේ සම්බන්ධයෙන් අපිට තියෙන හොඳ ම උදාහරණය තමයි කුමාරතුංග මුනිදාස මහත්තයා. ඒ මහත්තයා ලොකු අයට වගේ ම පොඩි ළමයින්ටත් හරි හරියට ලිව්වා. එතුමා ළමයින්ට ලිව්වේ කවි කතන්දර විතරක් නෙවෙයි.

කුමාරොදය, කියවන නුවණ, ශික්ෂාත මාර්ගය, ප්‍රබන්ධ සංග්‍රහය වගේ පොත් එතුමා ලිව්වේ පාඩම් පොත් විදිහට. ඒ ඒ පාඩම අන්තිමට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නත් ඒ පොත්වලට ඇතුළත් කරලා තිබුණා. දැනුමක් කියන එක වර්ධනය වෙන්නේ මේ විදිහට. ඒ විදිහට ක්‍රමවත් ව වර්ධනය කරපු දැනුමක් ඉස්කෝලෙ යවන එක ඊට පස්සේ කරන්න පුළුවන්. ඒකත් කියන තරම් පහසු කටයුත්තක් නෙවෙයි කියලා අමුතුවෙන් කියන්න ඕන න

ඒත් අපි දැන් කරන්නේ මේ විදිහට සැලැසුම් සහගත ව වැඩකරන එක නෙවෙයි. කාගේ හරි අඩුපාඩුවක් දැක්කා ම ඒක අල්ලගෙන කෑගහන්න විතරයි අපි දැන් කැමැති.

ඉතින් මේ විදිහට දුර බලලා සැලැසුම් සහගත ව වැඩකරනවා නම් ඕල්කොට්තුමා මුල්වෙලා හදපු ඉස්කෝලවල විතරක් නෙවෙයි රාජකීය, ශාන්ත තෝමස් වගේ ඉස්කෝලවලත් වැව ගැන උගන්නන්න අපිට පුළුවන් වේවි. එහෙම නැතිව බටහිර අධ්‍යාපනය ගැන ඉවරයක් නැතිව ආඩපාලි කිව්වා කියලා අපේ ප්‍රශ්න විස‍ඳෙන්නේ නෑ. මී වැවේ වැව ආපහු හැදෙන්නෙත් නෑ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.