ගැටුම් වැටුම් කැල­ඹිලි මැද රට යන අත හොඳයි ! | සිළුමිණ

ගැටුම් වැටුම් කැල­ඹිලි මැද රට යන අත හොඳයි !

දැන් මෙතැන් සිට ගුරු එකී දුෂ්ට මර්මස්ථානයෙන් ගැලවී ඉතා බලවත්ව 09 වැන්නේ ගමන් කරන කාලයේදී පෙර කී සෑම අංශයකින් ම වේගවත් ප්‍රගතියක් රටට ලබා දෙයි. එහෙත් මේ සුබඵල රටට ලැබෙන්නේ පෙරළිකාර උද්වේගකර සහ ගැටුම්කාරී පරිවර්තනයන් තුළිනි. එහෙයින් ඉදිරියට උදාවන්නේ සමාජ දේශපාලන ආර්ථික ආගමික අධිකරණ යන සෑම අංශයකින් ම ආන්දෝලනාත්මක පුවත් බහුල කාලයකි.

 

කාල චක්‍රයේ තවත් සංසිද්ධියක් සනිටුහන් කරමින් පසුගිය සැප්තැම්බර් 12 දා පෙරවරුවේ ගුරු ග්‍රහයා තුලා රාශියට අයත් කුජ හිමි සිත නැකතේ තුන්වැනි පාදයට ඇතුළු විය. විශ්ව කේන්දරයේ ටොලමියානු ශක්ති චක්‍රය අනුව මේ ස්ථානය තුළ තේජෝ ශක්තියත් වායෝ ශක්තියත් සංයෝග වෙයි. ගුරු යනු ආකාශ ( either) ශක්තිය නියෝජනය කරන එකම ග්‍රහයා වෙයි. (f + a + ei) එය ඉතා යහපත් මිත්‍ර සංධානයක් වන මුත් ඉන් අනතුරුව සැප්තැම්බර් 29 දා සිට ඔක්තෝබර් 14 දා තෙක් ගුරු ගමන් ගන්නේ සිත නැකතේ 4 වැනි පාදයෙන් විහිදෙන විසකුරු ජල බලයට අයත් සූක්ෂ්ම කලාපයේය. (f+ w + ei) මේ වනාහී එකකට එකක් නොපෑහෙන විකෘති තත්ත්වයකි. එහි පීඩනය සහ විපත්තිකර බව ලෝකයට දැනෙනු ඇත. ඉන් අනතුරුව ගුරු ගමන් ගන්නේ රාහු ග්‍රහයාට අයත් වායූ ස්ථූල කලාපයේ වන අතර එකී කාලය තුළ අධිවේගයෙන් සහ ආන්දෝලනාත්මක සිදුවීම්වලින් ගහණ පරිවර්තනයන් දේශපාලන ආර්ථික අධිකරණ ආගමික සහ විද්වත් ප්‍රජාව තුළින් මතුවෙයි. එකී කාලය ආසන්න වශයෙන් 2017 ඔක්තෝබර් 14 දා සිට දින 68 ක් දක්වා ඉදිරියට පවතී. ඒ අනුව 2017 වර්ෂාවසානය යනු පවතින බොහෝ දේ විනාශ කරන සහ අලුතින් බොහෝ දේ ගොඩනගන කැලඹිලිකාරී කාල පරිච්ඡේදයක් වන අතර 2018 වර්ෂයේ සැප්තැම්බර් දක්වාම එකී පරිවර්තනයන් උද්වේගකර ස්වභාවයෙන් ප්‍රකට වෙයි.

ටොලමියානූ ජ්‍යොතිෂ ගණිතය පිළිබඳව උනන්දුවන පාඨකයන්ගේ පහසුව පිණිස ගුරු ග්‍රහයාගේ චලනය පිළිබඳව ඉඟියක් දිය යුතුව තිබේ. ඒ අනුව ගුරු ග්‍රහයාට එක් ස්ථූල ශක්ති කලාපයක් පසු කැර යෑමට ආසන්න වශයෙන් දින 17 X 4 = 68 ක් ගතවෙයි. මේ දින 68 සමාන කොටස් 4 කට හෙවත් දින 17 බැගින් බෙදී යන අතර ඒ එක් එක් දින 17 ක කාලය සූක්ෂම ශක්ති කලාපයක් ලෙස හැඳින්වෙයි. සෑම ස්ථූල ශක්ති කලාපයක්ම සූක්ෂ්ම ශක්ති කලාප 4 කින් සමන්විතවන අතර ඒවා සපුරාම එකිනෙකට වෙනස් ස්වභාවයෙන් යුක්ත වෙයි. නියතයක් ලෙස ම ඕනෑම ස්ථූල ශක්ති කලාපයක 1. ගිනි 2.දෘඨ 3.වායු 4. ජල යනාදි වශයෙන් සූක්ෂ්ම ශක්ති කලාප පිහිටයි.

ඔබට හුරු ලෙස කිවහොත් ස්ථූල ශක්ති කලාපය යනු නැකත වන අතර සූක්ෂ්ම ශක්ති කලාප යනු නැකත් පාද වේ. එහෙත් මෙය සාම්ප්‍රදායික නැකත් චක්‍රය හෝ රාශී චක්‍රය හෝ නවාම්ශ සමඟ හෝ පටලවා ගැනීම නොකළ යුතුය. මන්ද ටොලමියානු ගණනය කිරීම් සිදු කරනුයේ රාශී චක්‍රය සහ නැකත් චක්‍රය අතර අංශක 23 ක පරතරයක් ඇතිවය. එමෙන්ම සාම්ප්‍රදායික නැකත් චක්‍රයේ භාවිතය සහ මෙහිදී භාවිතයට ගන්නා නැකත් චක්‍රයේ භාවිතය අතර කාලය විසින් ඇති කරනු ලැබූ විශාල වෙනසක් පවතී.

එහෙත් බොහෝ දෙනාගේ මනස හුරුවී තිබෙන්නේ සම්මත සාම්ප්‍රදායික රාශී චක්‍රය අනුව ග්‍රහ චලන විග්‍රහ කිරීමටයි. ඒ අනුව ගතහොත් ගුරු ග්‍රහයා මේ වනවිට ගමන් කරමින් සිටින්නේ තුලා රාශියේ අංශක 19 පසුකරමිනි .මේ අවුල ලිහා ගැනීමට නම් කළ යුතුව තිබෙන්නේ භාව චක්‍රය යොදා ගැනීමයි. එහිදී තුලා රාශිය මතින් යන ගුරු ග්‍රහයාගේ ක්‍රියාකාරීත්වය ද යම් පමණකින් ආවරණය වෙයි. මතු දැක්වෙන කරුණු සියල්ලටම පදනම් වන්නේ එම ක්‍රමවේදයයි.

ඉහත දැක්වූ ගුරුගේ චලන වේගය අනුව ඔහුට එක් නැකතක් හරහා ගමන් කිරීමට ගතවන කාලය දින 68 කි. රාශියකට නැකත් 3 ක් නොහොත් නැකත් පාද 9 ක් අයත්වෙයි. එවිට 17 X 9 = දින 153 කදී ගුරු රාශියක් හෙවත් අංශක 30 ක් පසුකොට ගමන් කළ යුතුය. ඒ අනුව ආසන්න වශයෙන් දින 153 කදී ගුරු ග්‍රහයා රාශී චක්‍රයත් නැකත් චක්‍රයත් යන දෙකෙහිම එක් වටයක් සම්පූර්ණ කළ යුතුය.

එහෙත් එසේ වන්නේ නැත. ගුරු ස්වභාවයෙන්ම දිගු කාලයක් වක්‍රවන ග්‍රහයෙකි. 2017 සැප්තැම්බර් 12 දා සිට 2018 වර්ෂයේ ඔක්තෝබර් 10 දා තෙක් ගුරු ඉහත කී නැකත් පාද 09 තුළම ගමන් කරමින් සිටින්නේ 2018 මාර්තු සිට ජූලි මස මැද භාගය තෙක් ඔහු වක්‍රව ගමන් කරන හෙයිනි.

වක්‍ර ග්‍රහයා පිළිබඳ සිද්ධාන්තය ටොලමියානු ගණනය කිරීම්වලදී අති විශේෂ වැදගත්කමක් හිමිකර ගනී. නැකත් පාද හරහා ඒකාකාර වේගයෙන් එක් දිසාවකටම ගමන් කරන ගුරු විසින් ඇති කරනු ලබන බලපෑමට වඩා වක්‍රව ගමන් කරන ගුරු විසින් ඇති කරනු ලබන බලපෑම විශේෂ තත්ත්වයකට පත්වෙයි. 2017 සැප්තැම්බර් 12 දා සිත නැකතේ 3 වැනි පාදයට ඇතුළු වූ ගුරු 2018 මාර්තු 10 වන විට නැකත් පාද 09 ම පසුකොට විසා නැකතේ 4 වැනි පාදයේ අග්ගිස්සේ පිහිටයි.

එනම් 17 X 9 = 153 යි. එහෙත් මෙතැන් සිට ගුරු වක්‍ර වෙයි. බොහෝ දෙනා කියන පරිදි ගුරු ආපස්සට ගමන් කරයි. එසේ කියන මුත් කිසිම ග්‍රහයකුට රිවස් ගියරයක් නැත. මෙහිදී සිදුවන්නේ ග්‍රහයා නැකත් පාද සහ පෘථිවිය අතර වූ කෝණය වෙනස්වීමයි. වක්‍ර ග්‍රහයා ඉතා ප්‍රබලව සූර්ය ශක්තිය පරාවර්තනය කරයි. සෞරග්‍රහ මණ්ඩලයේ වැඩියෙන්ම හිරු කිරණ පරාවර්තනය කරන ග්‍රහයා වන්නේ ගුරු ග්‍රහයාය. එවිට අනෙක් සියලුම ග්‍රහයන්ට වඩා වක්‍ර වූ ගුරු උපරිමයෙන් සූර්ය ශක්තිය පරාවර්තනය කරන බැව් තේරුම්ගත යුතුය.

ගුරු ග්‍රහයාගේ වක්‍ර වීම එසේ මෙසේ සිද්ධියක් නොවන්නේ එහෙයිනි. ගුරු වක්‍රවන නැකත් පාදවල ස්වභාවය අනුව එහි ප්‍රතිඵලය හැමවිටම වෙනස් වෙයි. මෙවර ගුරු වක්‍ර වන්නේ විසා 4 හතරේ සිට සා 4 දක්වාය. මෙන්න මේ කාල පරිච්ඡේදය ඉතා වැදගත් වෙයි. රටට ලෝකයට තීරණාත්මක සුබ පරිවර්තනයන් ගෙන දීමට ඒ අනුව 2018 මාර්තු 10 සිට ජූලි 10 දක්වා වූ කාල පරිච්ඡේදය තීරණාත්මක වෙයි. ඒ එපමණකින් සීමා නොවේ. සා 4 සිට විසා 4 දක්වා ගමන් කිරීමට ගතවන කාලය දින 17 X 4 = 68 යි. නැවත විසා 4 සිට සා 4 දක්වා ගමන් කිරීමට ගතවන කාලය දින 17 X 4 = 68 යි. ගුරු ග්‍රහයා නිවෘත වූ පසු නැවත සා 4 සිට විසා 4 දක්වා ගමන් කිරීමට ගතවන කාලය දින 17 X 4 = 68 යි. මේ අනුව දින 68 X 3 = 204 යි.

දැන් ඔබට පෙනෙන පරිදි ගුරු ග්‍රහයා එකම ශක්ති කලාපයක ආරෝහණ අවරෝහණ ගමනේ යෙදීමට දින 204 ක් තරම් දිගු කාලයක් ගත කරයි. මෙහි ප්‍රතිඵලය වන්නේ එකී ශක්ති කලාපය අසාමාන්‍ය ලෙස උත්තේජනය වීමයි. ඒ අනුව එකී උත්තේජනය සිදුවන කාලය වූ 2018 මාර්තු සිට ඔක්තෝබර් 10 දක්වා ගුරු ග්‍රහයාගේ ක්‍රියාකාරීත්වය විශේෂයෙන් පිරික්සිය යුතුව තිබේ. (a +w +ei / ei + f + ei / ei +e + ei / ei + a +ei ) යන අවස්ථා හතර විශේෂ අවධානයට ලක්විය යුතුව තිබේ. ඊට අමතරව සමස්තයක් වශයෙන් ගත්විට ගුරු ග්‍රහයා විසින් ආංශිකව ඇති කරනු ලබන බලපෑම දින 17 බැගින් වෙන් කැර ගත යුතු වන්නේ දින 17 න් 17 ට ගුරු ග්‍රහයා විසින් එකකට එකක් වෙනස් බලපෑම් ඇති කරනු ලබන හෙයිනි.

මෙකී පසුබිම මත පදනම් වෙමින් මුලින්ම ලංකා කේන්දරයට හෙවත් අපේ රටට ගුරු විසින් ඇති කරනු ලබන බලපෑම විමසා බලමු. ලෝකායතන ජ්‍යොතිෂය අනුව ලංකාව කුම්භ ලග්නයට අයත් වෙයි. දැන් රටේ භාව කේන්දරය අනුව ගුරු ගමන් කරමින් සිටින්නේ 09 වැන්නේය. එය ඉතා සුබදායක තත්ත්වයක් බව මුලින්ම කිව යුතුය.

ගුරුට 9 වැන්න යනු ක්ෂේම භූමියක පිහිටි රාජධානියක විධායක බලය සහිත පුරෝහිත තනතුරකි. රටක ජාතික ධනය ජාතික සම්පත් අධිකරණය උසස් අධ්‍යාපනය ආධ්‍යාත්මික සහ ආගමික ප්‍රබෝධය ප්‍රභූ සහ වියත් සභාව අන්තර් ජාතික සබඳතා යනාදිය ගුරු ග්‍රහයාගෙන් මූර්තිමත් වෙයි. මෙකී ගුරු පසුගිය කාලයේ ගමන් කෙළේ 08 වැන්නේය. එහෙයින් ඉහත කී සෑම අංශයකින් ම රටට ලැබුණේ දුක්ඛ දෝමනස්ස පීඩනයකි.

දැන් මෙතැන් සිට ගුරු එකී දුෂ්ට මර්මස්ථානයෙන් ගැලවී ඉතා බලවත්ව 09 වැන්නේ ගමන් කරන කාලයේදී පෙර කී සෑම අංශයකින් ම වේගවත් ප්‍රගතියක් රටට ලබා දෙයි. එහෙත් මේ සුබඵල රටට ලැබෙන්නේ පෙරළිකාර උද්වේගකර සහ ගැටුම්කාරී පරිවර්තනයන් තුළිනි. එහෙයින් ඉදිරියට උදාවන්නේ සමාජ දේශපාලන ආර්ථික ආගමික අධිකරණ යන සෑම අංශයකින් ම ආන්දෝලනාත්මක පුවත් බහුල කාලයකි.

 

Comments