අලි වෙනු­වෙන් වීදි බැස ඇති අලි කතා | සිළුමිණ

අලි වෙනු­වෙන් වීදි බැස ඇති අලි කතා

රටේ අලිගහනය වැඩි වී ඇතැයි යන්න ගොවීහු ද කියති. මෙරට වනාන්තරවලට අනුව අලි 4000 ක් පමණ සංඛ්‍යාවක් සඳහා වාසයට ඉඩ ඇති මුත් අද වන විට අලි 6000 ක් ඒ සීමිත ඉඩ ප්‍රමාණය තුළ ජීවත්වන බව කියැවේ. මේ හෙයින් පළමුව අලි ගම්වදින ප්‍රදේශයන්හි අසරණ ගොවි පවුල්හි බාල මහලු සෑම මනුෂ්‍යයන්ටත්, ගම්වදින සියලු අලින්ටත් විශාල ජීවිතාවදානමකට මුහුණදීමට සිදුවී තිබේ. මෙම තත්ත්වය මෑත කාලයේ සිට ඉතාමත් සුලභ කාරණයක් වී තිබුණත් මාධ්‍ය විසින් විටෙක් අලංකාරික යොදමින් ඒ දුක්බර කතා උත්කර්ෂයට නැංවූවා මිස විසඳුමක් හෝ විසඳුමකට විකල්පයක් පිළිබඳ කතාබහක් සමාජයේ ඇති කළේ නැත. ඒ වෙනුවට වගකිව යුතු නිළධාරීන්, පරිසරවේදීන් සහ මාධ්‍යවේදීන් අලි මිනිස් ගැටුම තුළ තමන්ව අධික මිළට අලෙවි කර ගත්තේය.

අලිගහණය පිළිබඳ කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශයට අනුව කියැවෙන්නේ රටේ වනාන්තරවලට ඔරොත්තු නොදෙන තරම් අලි සංඛ්‍යාවක් ඇති හෙයින් අතිරික්තය වෙනුවෙන් කුමන ආකාරයේ හෝ විකල්පයකට කඩිනමින් යා යුතු බවකි. එනම්, මිළක් නියම කොට පිටරටකට අලි අලෙවි කිරීමක් හෝ සිදුකළ යුතුබව ඔහු ඉදිරිපත් කළ අදහසයි. රටේ අලි සහ මිනිස් ගැටුම පිළිබඳ අද තිබෙන මාරාන්තික අවදානම මතුකර අලි අලෙවියක් පිළිබඳ කතා කිරීම සමාජ මාධ්‍යවලත් ජනප්‍රිය පොදු ජනමාධ්‍ය තුළත් පසුගිය සතියේ ප්‍රධාන පණිවිඩය බවට පත් වී තිබුණි. අලි විකුණන කතාව අලින් සහ මිනිසුන් වෙනුවෙන් සිදු කළ දීර්ඝ කතාවක එක් අවස්ථාවක් පමණක් බවත් මාධ්‍ය විසින් සිදු කළේ "පණිවිඩකරුවාට වෙඩිතැබීමක් බවත්" කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය ඇමතිවරයා පසුවිපරමක යෙදෙමින් කියයි.

පරිසර හිතකාමී රටේ පහළ මධ්‍යම පාන්තිකයින්, පරිසර සංරක්ෂණවාදීන් සහ පරිසරවේදීන් යැයි කියා ගන්නා කොටස් මේ ගැටලුවට මතු කළ විකල්ප විසඳුම ඉතා ඕනෑකමින් පිළිකුළ් කර සිටිනු පෙනේ. ඒ හරහා පටු දේශපාලන උවමනාවන් මුදුන්පත් කරගැනීමට මුවාවී විසඳුම්වලට වාග් ප්‍රහාර එල්ල කරමින් ගම්බිම්වල මිනිසුන් වන සතුන් සමඟ සිදුකරන දෛනික අරගලය සමච්චලයට ලක්කරනු පෙනේ.

රටේ ගොවිතැන ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කැපවූ නිළධාරීන්, ගොවීන් සහ දේශපාලඥයින් සියල්ලන්ටම මඟහැර යා නොහැකි එක් දුක් ගැනවිල්ලක් වන්නේ මේ අලි, රිළව්, වඳුරන්, වල් ඌරන්, ඉත්තෑවන්, දඬු ලේනුන්, මොණරුන්... වැනි සතුන්ගෙන් සිදුවන වගා පාළුව පිළිබඳ අඳෝනාවය. සිය ගම් බිම් - ගොවිබිම් පමණක් නොව ගොවි පවුල්හි බාල මහලු සියල්ලන්ගේම ජීවිත පවා අවදානමේ හෙළමින් රටට බත සපයන ගොවීන්ට කුමන ආකාරයේ හෝ විසඳුමක් ලබාදිය යුතු නොවේද?

පරිසරවේදීන් කල්පනා කරන්නේ වැඩිවන අලි ගහණය ආශිර්වාදයක් බවත්, ගම්වදින අලින්ට ඉඩදී ගම්මුන් පසුබැසිය යුතු බවත්ය. වැඩිවන අලින්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව වනාන්තර පුළුල් කිරීමට සිහින දකින ඔවුන් අදිටන් කරගෙන ඇත්තේ මේ සුන්දර සද්දන්තයාට අවැසි ලෙස ජීවත්වීමේ අයිතිය තහවුරු කර මිස පසුනොබසින්නේය ලෙසිනි. අනෙක් අතට, වනාන්තර හෙළි කිරීම සහ මිනිස් වාසස්ථාන බවට ඒවා පත්වීම වැඩිවන ජනගහනය නැතහොත් පරම්පරාගත ගොවීන්ට සිය දූ දරුවන්ට රටට ආහාර සඳහා බවබෝග සැපයීම වෙනුවෙන් ගොවි බිම් තනාගැනීමට ඉඩ වෙන් කරගැනීම පවතින ඇත්තකි. කෘෂි රසායන භාවිතය හේතුවෙන් වකුගඩු රෝග සහ බෝ නොවන රෝග ගණනාවකට ගොදුරු වී ඇති ගොවීන් ගැන, සද්දන්තයාට ප්‍රේම කරන කොළඹ සීතල කාමරවල සිටින පරිසරවේදීන්ට සහ මාධ්‍යවේදීන්ට හාංකවිසියක අදහසක් නැත. දවසේ ජීවත්වීමේ අරගලයක යෙදී සිටින රට අහරින් ස්වයංපෝෂණය කරන්නට මහපො­‍ෙළාව හා හැපෙන ඒ අධිෂ්ඨානශීලී මිනිසාට හව්හරනක් ලබාදිය යුතු නැද්ද?

රටේ දහස් ගණනක් ගැහැණුන් අරාබිකරයට යවා මිළ කර, ඒ මුදලින් රට කරවන බව පිළිගෙන ඒ ගැන නිහඬ පිළිවෙතක හිඳිමින් අලින් රට යැවීම ගැන ඔවුන් කම්පා වෙති, සුසුම් හෙළති. බාල වයස්කාර යෞවනියන් පවා උප්පැන්න සහතිකයෙන් නියමිත වයස වැඩි කරගෙන වහල් සේවයට අරාබිකරයට පිටත්කර යවන බව නොදන්නා සේ හිඳිමන් නිළධාරීන් සහ මාධ්‍යවේදීන්- අලි, වන සතුන් වෙනුවෙන් වීදි බසිති. මෙහෙකාර සේවයට අලෙවි කරන ගැහැණියගේ නාමයෙන් ජීවත්වන රට්ටුන් අලි අලෙවි කිරීම පිළිබඳ සිදුවී ඇති හුදු කතාබහක් හමුවේ මෙතරම් වියරු වැටෙන්නේ ඇයිදැයි අපි සිහිබුද්ධියෙන් සිතා බැලිය යුතුමය.

වන සතුන්ගේ ජීවත්වීමේ අයිතිය ලබාදීම සහ ඔවුන් ස්වභාවික සහ මිනිස් මැදිහත්වීම්වලින් සිදු වන උවදුරු වලින් ආරක්ෂා කිරීමේ වගකීමෙන් අපට ගැලවී යා නොහැකිය. වන සතුන් සම්බන්ධයෙන් අපේ රටේ එසේ වගකීම් විරහිත ආකාරයෙන් ඇතැම් පිරිස් ක්‍රියාකරන්නේ නම් නීතිමය පියවර ගෙන දඬුවම් ලබාදිය යුතුය. රටේ නීතිය හමුවේදී මිනිසකු, අලියකු මැරූ විට ඒ මිනිසා රුපියල් ලක්ෂ දෙකක දඩයකට යටත් වන විට අලියකු විසින් මිනිසකු ඝාතනය කළේ නම් ඒ මනුෂ්‍යා වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් වන්දියක් ලෙස හිමි වෙයි. සිය ගොවි පවුලේම බර උසුලාගෙන සිටි ගොවි මහතා අලි පහරින් මරු වැළඳ ගැනීම ගැන දුක්ඛ රස මවන කතාන්දරයක් පමණක් බවට පත්කර ඇති මාධ්‍යවේදීන්, පරිසරවේදීන් අද අලි වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ යකා නටන හැටි ලජ්ජා සහගතය.

වැඩිවන ජනගහනය හමුවේ, රටක ජනගහණය පාලනය කිරීමේ දියුණු උපායයන් බෙහෝමයක් අද ලෝකයේ ක්‍රියාත්මක වෙති. රටක ජීවත්වන්නවුන් තුළත්, පරිසරය තුළත් සමතුලිතතාවය රැකගැනීම වනාහී වන සතුන්ගේ නොව මනුෂ්‍යයින්ගේ වගකීමකි. යම්කිසි පාලනයකට යටත් කිරීම යනු වඳ කිරීම නොවන බව ක්ෂේත්‍රයේ විද්වතුන්ට නොවැටහී ඇත්තේ ඇයිදැයි තේරුම්ගත නොහැකිය. වන සතුන් සහ වනාන්තර වෙනුවෙන් පෙනී සිටිමින් වීදි බසිමින් පරිසරවේදීන්ට කියන්නට පණිවිඩයක් ඇත. ඒ දේශපාලකයින්ගේ වුවමනාවන් ඉටු කිරීමට හෝ ඩොලර්වලට ලොල් වී හෝ රටේ බිම් මට්ටමේ මිනිසුන් පීඩනයට පත් කරන ගැටලුවකට ලබාදෙන විසඳුමකට වැට බැඳීමෙන් සිදු කරන්නේ වීර කමක් නොවන බවකි. පරණවිතාන නියෝජ්‍ය ඇම­ැතිවරයාගේ අලි සම්බන්ධ අළුත් කතාව රටේ ගොවීන්ට අලුත් බලාපොරොත්තුවක් ගෙනවිත් ඇති බව කොළඹ සීත කාමරවල සිට සත්ව කරුණාවට මුවා වී කෑ ගසන අය දැන ගත යුතුය. 

 

Comments