ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ගැන හරිම කන­ගා­ටුයි | සිළුමිණ

ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ගැන හරිම කන­ගා­ටුයි

‘සාරංගී 5’ සුභාවිත ගී ප්‍රසංගය 23දා නාමෙල්-මාලිනි පුංචි තියර්හිදී

අමරදේව මාස්ටර්, මහගමසේකර සූරින් වැන්නන් අර්ථකථනය කළ පරිදි පැරැණි සිංහල ගෙවල්වල තිබූ තුන්ඇඳුණු කනප්පුව සේ පදමාලාව, සංගීත නිර්මාණය සහ ගායනය සුගායනයක් වී තුන්අංශයම සමබරනම් එය සුභාවිත ගීතයක් ලෙස හැඳින්විය හැකි බව පවසන්නේ ජගත් දේශප්‍රිය ජයතිලක මහතායි. කුරුණෑගල ඉපිද වර්තමානයේ එංගලන්තයේ වෙසෙන 56 හැවිරිදි ජගත් වෘත්තියෙන් මයික්‍රෝ ක්ෂුද්‍ර ජීවි විද්‍යාඥයෙක් (බයෝ මෙඩිකල් සයන්ටිස්) ලෙස කටයුතු කරයි. මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඔහු තම වෘත්තියට හාත්පසින්ම වෙනස් සංගීතයේ 70, 80 දශකයන්හි රැව් පිළිරැව් දුන් සුභාවිත ගීතයට දැඩි සේ ඇලුම් කරන චරිතයකි. එතුමා‍ගේ මියුරු හඬින් රැව් දෙන ‘සාරංගී 5’ නමින් ඒකපුද්ගල සුභාවිත ගීත ප්‍රසංගයක් ලබන 23 වැනිදා සවස 3.30 ට බොරැල්ල නාමෙල්-මාලිනි පුංචි තියර්හිදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙද්දී රසඳුන සමඟ කතාබහකට මෙසේ එක් විය.

 ඔබගේ ප්‍රසංගය ගැන යමක් පැවසුවොත්...

මෙහෙමයි මම සුභාවිත ගීතයට පුදුම ආසයි. ඒ නිසා සාරංගී නමින් සුභාවිත ගී ප්‍රසංග මාලාවක් එංගලන්තයේදී පටන්ගත්තා. එහි පස්වැනි ප්‍රසංගය තමයි මුල්ම වතාවට මෙවර ශ්‍රී ලංකාවේදී සුභාවිත ගීත ලෝලීන් වෙනුවෙන් නොමිලේ පවත්වන්න හිතුවේ. එතනදි මං අමරදේව, වික්ටර්, දයාරත්න රණතුංග, සුනිල් එදිරිසිංහ, ටී. එම් , සෝමතිලක ජයමහ, ගුණදාස කපුගේ වැනි මෙරට ගායන ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් පිරිසකගේ ගීත 26ක් ගායනා කිරීමට නියමිතයි. සංගීතයෙන් සංජය රත්නායකත්, කථනයෙන් ආසිරි බණ්ඩාරත් එකතු වෙනවා.

 කොහොමද ඔබ සංගීතයට පිවිසුණේ...

ඔබට කියන්න මං පාසල් හයකට ගියා. ඒ කුලියාපිටිය අස්වැද්දුම, හෙට්ටිපොළ ප්‍රාථමිකය, කොළඹ කේරි, මහානාම, තර්ස්ටන් සහ නාලන්දෙට. ඒ සියලු පාසල්වල සංගීත ගුරුවරුන්ගෙන් සංගීතය හැදෑරුවා. හෙට්ටිපොළ ප්‍රාථමිකයේදී තමයි මුලින්ම සුභාවිත ගීතයට යොමු වුණේ. එහිදී පැවැති ප්‍රසංගයකදී අමරදේව මාස්ටර්ගේ ‘සන්නාලියනේ‘ ගීතයේ සමූහ ගායනයට එකතු වුණා. එදා තමයි මට සුභාවිත ගීතය ගැන ආසාවක් ආවේ. ඊට පස්සෙ නාලන්දෙට යන කාලේ නන්දා මාලිනීගෙන් සහ පුෂ්පමාලා සුබසිංහ යන ප්‍රවීණයන් දෙපළගෙන් සංගීතය ඉගෙන ගන්න ලැබුණා. සෝමසිරි ඉලෙසිංහයන්ගෙන් වයලින් වාදනයත් ඉගෙන ගත්තා. එහෙම තමයි මං සංගීතයේ අත්පොත් තැබුවේ.

 කොහොමද ඔබ සංගීතයෙන් ඉදිරියට ආවේ...

මං 1979 වර්ෂයේදී මට අවුරුදු 18 දී එංගලන්තයට ගියා. එහෙදි මං ඉගෙනීම් කටයුතුත් රැකියා කටයුතුවලත් නිරත වන අතරේ පුළුවන් ආකාරයට මගේ අත්දැකීම් භාවිත කරමින් සංගීතයටත් යොමු වුණා. ඒ අතරෙදි‘ජගත් ඇන්ඩ් ද ක්ලෑන්’ නමින් පොඩි සංගීත කණ්ඩායමකුත් හදාගෙන එහි රිදම් ගිටාර් වාදනයෙන් දායක වුණා. ඔය කාලෙදි මට සිංහබාහු නාට්‍යයේ සංගීතය කරපු එච්. එස්. බණ්ඩාර මහත්මයා හමු වුණා ලන්ඩන්වලදී. ඒ මහත්මයාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එයාර්පෝස් එකේ හිටපු බෑන්ඩ් ලීඩර් කෙනෙක් වූ ඩෙන්සිල් ලාසර්ස් ප්‍රනාන්දු මහත්මයාත් එංගලන්තයේදී හමු වුණා. එතුමා ලංකාවේ හිටපු හොඳම ට්‍රම්පට් ප්ලේයර් කෙනෙක්. වික්ටර් රත්නායක සූරින්ගේ මල්ලි සෝමපාල රත්නායක මහත්මයාගෙනුත් අපරදිග සංගීතය ගැන ඉගෙනගන්න හැකි වුණා.

ඔය අතරේදී තමයි 1996 වර්ෂයේදී මුල්ම ‘සාරංගී’ ඒක පුද්ගල ප්‍රසංගය පැවැත්වූවේ. ඊට අමතරව මම මේ වන විට ‘තරුමල් ලොවේ’ නමින් නවතම ගීත 12ක සීඩී තැටියකුත් එළිදක්වලා තියෙනවා. තව මං රූපවාහිනී මාධ්‍ය යේ ‘සිහිනයකි රෑ’, ‘චැට් ඇන්ඩ් මියුසික්’ සහ දෙරණ ලන්ඩන් ස්ටාර් තරගාවලියේ අවසන් නවදෙනා අතරටත් ආවා.

 වැඩිම ප්‍රියතාවක් දක්වන්නෙ කාගෙ ගීත ගායනයටද....

මම ලංකාවේ ඉද්දිනම් වැඩියෙන්ම කැමැති වුණේ වික්ටර් රත්නායකට. ‘ස’ ප්‍රසංගය 35 වතාවක් මං බලලා තියෙනවා. පස්සෙ අමරදේවයන්ගේ ගීතවලට යොමු වුණා ලන්ඩන් ගියාට පස්සෙ. මට එහේ කියන්නෙ ලෝකල් අමරදේව කියලා. හැම තැනදීම මගෙන් බොහෝ පිරිසක් ඉල්ලන්නෙ ‘සසර වසනතුරු’ ගීතය.

 ඔබ එංගලන්තයේ ජීවත් වුවත් ලාකේය සංගීතය ගැන මොකද හිතන්නෙ...

ඇත්තටම කිව්වොත් පිටරටවල ජීවත්වන මෙරට වැසියන් වුවත් ලංකාව ගැන පුදුම අවධානයකින් ඉන්නෙ. කොටින්ම කිව්වොත් එක පයක් ලංකාවේ තියාගෙනයි ඉන්නෙ. මෙරට ගීත කලාව මේ යන විදිහටනම් මම කොහෙත්ම කැමැති නෑ. තනිකරම සුභාවිත ගීතය අභාවයට යන තත්ත්වයක් තියෙන්නෙ. ඒත් එංගලන්තයේ සිටිනවා සුභාවිත ගීතයට ප්‍රිය බාල මහලු බොහෝ පිරිසක්. ඒ අයගේ ඔළුවල තාම තියෙන්නෙ 70 දශකයේ ගීත. කිව්වට තරහ වෙන්න එපා දැන් හැදෙන සින්දුනම් එංගලන්තයේ වෙසෙන බොහෝ ලාංකිකයෝ අහන්නෙ නෑ. බයිලා ගීතවලට කැමැති පිරිස් නැත්තේම නෑ. කොටින්ම කිව්වොත් ලංකාවේ සංගීත ක්ෂේත්‍රය හරිම කනගාටුයි යන විදිහ ගැන.

 ඒ නිසාද ඔබ මෙවැනි ප්‍රසංගයක් පවත්වන්නෙ...

ඇත්තටම ඔව්. මට හිතුණා සුභාවිත ගීතය කියන්නෙ මොනතරම් රසවත්, වින්දනාත්මක දෙයක්ද කියා ලංකාවේ ජීවත් වුවත් මෙරට වැසියන්ට නොතේරෙන දේ ගැන කියා දෙන්න. ඇත්තටම මෙරට ජීවත්වන අය මෙහේ දේ අගය කරන්නෙ නෑ. ඒකෙ වටිනාකම තේරෙන්නෙ අපි වගේ පිටරටක ජීවත්වන අයට තමයි. සුභාවිත ගීතය නූතන පරම්පරාවට රැගෙන යාමටනම් මමනම් හිතන්නෙ කළ යුතු අනිවාර්ය දෙයක් තමයි එම ගීතවල අර්ථ රසය නූතන පරම්පරාවට වටහා දීමට කටයුතු කිරීම.

 ජගත්, ඔබ අවසාන වශයෙන් ලංකාවේ නූතන පරම්පරාවට පවසන්නෙ කුමක් ද?

මෙහෙමයි ගොඩක් තරුණ දක්ෂයෝ ඉන්නවා. විශේෂයෙන් කසුන් කල්හාර, අමල් පෙරේරා වැනි අය. මං දන්නවා නැවතත් අමරදේව වැනි ගාන්ධර්වයන්නම් බිහිවන්නෙ නෑ. අමරදේව වගේ විශිෂ්ටයන් අපට එළි-පෙහෙළි කරලා දුන්නා යා යුතු මඟ. මොකද ඔවුනුත් ගියේ පැරැන්නන්ගේ මඟ. ඒ නිසා මං කියන්නේ දක්ෂ තරුණයෝ වර්තමානයේ සිටිනවා. ඔවුන්ට පුළුවන් පැරැන්නන් පෙන්වා දුන් මඟ ගොස් 70, 80 දශකවලටත් එහා ගිය විශිෂ්ට නිර්මාණ කරන්න. නමුත් වෙලා තියෙන්නෙ ඒ අය යන්නෙ වෙනත් මාර්ගවල. 

 

Comments