සිල් රෙදි නඩු තීන්දුව | සිළුමිණ

සිල් රෙදි නඩු තීන්දුව

 පසුගිය ජනාධිපතිවරණයට පූර්ව සමයෙහි ඡන්ද ගුණ්ඩුවක් ලෙස සිල් රෙදි බෙදාදීමේ ව්‍යාපෘතියක් සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් රුපියල් මිලියන 600ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් පැවති නඩු විභාගයෙහි තීන්දුව සැප්තැම්බර් 7 වැනිදා ප්‍රකාශයට පත් විය. චෝදනා තුනක් යටතේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනා වරදකරුවන් කරමින් අධිකරණය ඔවුන්ට වසර 3 බැගින් බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම කළාය.

ඊට අමතරව රුපියල් ලක්ෂ 20 බැගින් දඩ මුදල්ද නියම කෙරිණ. මේ දඩමුදල් නොගෙව්වහොත් අමතරව වසරක සිර දඬුවම්ද අදාළ වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වසර දෙක බැගින් වූ සිර දඬුවම්ද ලබාදීමට සිදු වන බව ප්‍රකාශ කෙරිණි. විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්සද නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේද පෙනී සිටියහ. විත්තිකරුවන් දෙදෙනා මැතිවරණ රෙගුලාසි උල්ලංඝනය කර ඇති බව මෙහිදී මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ප්‍රකාශ කළේය. එමෙන්ම සිල් රෙදි ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 600ක මුදල ලබාදීඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව බවද විනිසුරුවරයා සඳහන් කළේය. මෙය ඓතිහාසික නඩු තීන්දුවකි. ඊට හේතුව ඉතිහාසයේ මෙවැනි මූල්‍ය අවභාවිතයන් රැසක් දේශපාලන බලය යොදවා යටපත් කර තිබීමය. මේ සම්බන්ධයෙන් පූජ්‍ය දියකඩුවේ සෝමානන්ද හිමි සහ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී ලයනල් ප්‍රනාන්දු මහතා දැක්වූ අදහස් මෙසේ පෙළගස්වමු.

අවංක නිලධාරීන් එක් විය යුතු මොහොතක් - පූජ්‍ය දියකඩුවේ සෝමානන්ද හිමි

පිනක් වුණත් කරන විදියක් තියෙනව නෙ... සිල් රෙදි බෙදීම පින් ලබාගැනීමට කළ දෙයක් නොවෙයි; මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඡන්ද ලබා ගැනීම සඳහා රාජ්‍ය දේපළ - ඒ කියන්නෙ මහජන දේපළ අවභාවිතයේ යෙදවීමක්. එහෙම වැරැද්දක් කළ විට වැරැදිකරුවන්ට දඬුවම් ලබා දීම බුදු දහමට එ‍කඟයි. කුමන හේතුවක් මත වුණත් වැරැද්දක් සිද්ධ වුණාම වැරදිකරුවන් නිදොස් කිරීමේ හේතු දැක්වීම අනුචිතයි.

සිල් රෙදි බෙදාදීමට අදාළ නඩු තීන්දුවෙන් පසුව විවිධ පාර්ශ්ව විවිධ මත පළ කරනවා. සමහරු ‍මේ තීන්දුව අසාධාරණ බව කියනවා.‍ ඉතිහාසය පුරා මෙවැනි වැරදි සිදුවී ඇති නිසා, දෙදෙනකුට පමණක් දඬුවම් දීම හරිද යන ප්‍රශ්නය සමහරු ඉදිරිපත් කරනවා.

ලලිත් වීරතුංග මහත්තයා ගැන අප තුළ තිබුණේ හොඳ චිත්‍රයක්‍, දීර්ඝ කාලයක් හොඳ සේවයක් කළ පරිපාලන නිලධාරියකු හැටියට. එහෙම කෙනකු අතින් වුණත් සිද්ධ වෙලා තිබෙන්නේ වැරැද්දක් නම්, පවතින නීතිය අනුව දඬුවම් ලැබීම අප කලබල විය යුත්තක් නොවෙයි.

රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන බලපෑම් මත ඇතැම් විට තීන්දු ගන්න සිද්ධ වෙනවා. ‍එහිදී ඔහු තීන්දු ගත යුත්තේ එය නීත්‍යනුකූලද නැද්ද යන කාරණය අනුවයි. රාජ්‍ය නිලධාරීන් නීති රෙගුලාසි රැසකට යටත්වයි කටයුතු කරන්නේ. දේශපාලන බලය තාවකාලිකයි. කවදා හෝ ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන්නේ නිලධාරීන් හටයි.

මේ ගැටලු පරිපාලන ක්ෂේත්‍රයේ පමණක් නොවෙයි. හැම ක්ෂේත්‍රයකම තියනවා. හැබැයි විවිධ ගැටලු මැද්දේ අවංකව නීතියට එකඟව කටයුතු කරන පිරිසකුත් ඉන්නවා. මෙවැනි අවස්ථාවක දී ඔවුන් කළ යුත්තේ සාමූහික ශක්තියක් සඳහා කටයුතු කිරීමයි.

රාජ්‍ය නිලධාරීන් බලපෑම්වලට යටත් වී වැරදි තීන්දු ගත් අවස්ථා මෙන්ම බලපෑම්වලට එරෙහිව කටයුතු කිරීමේ ඉතිහාසයකුත් තිබෙනවා. මෑත අවධියේ උමා ඔය ව්‍යාපෘතියෙන් සිදු වන හානිය ගැන හිතලා ඉංජිනේරුවරයකු එයින් ඉවත් වුණා. සුනිල් සාන්ත කියන්නෙ සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙක්. ඔහුද බලපෑම්වලට එරෙහිව සේවය හැරදා ගිහින් දුක්ඛිත ජීවිතයක් ගත කළා. මා එයින් අදහස් කරන්නේ, දුක් විඳිය යුතු බව නොවේ. මා හිතන්නේ රටේ සෑම ක්ෂේත්‍රයකම අවංකව ස්වාධීනව නීතිය හා මූල්‍ය රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන නිලධාරීන් හුදෙකලා අරගලයක නිරත නොවී එක මිටකට ආ යුතු බවයි.

ස්වාධීනව නීති ගරුකව කටයුතු කරන නිලධාරීන් විවිධ තර්ජනවලට රැකියා අවදානමකට මුහුණදෙන අවස්ථා තිබෙන බව ඇත්ත. ඒ නිසා අලුතින් එන නිලධාරීන් පවතින තත්ත්වයට අභියෝග නොකර වැරැද්දට අනුගත වීම සාධාරණ බවට සමහරු තර්ක කරනවා. මෙය අප ධනාත්මකව කල්පනා කළ යුතුයි. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පරමාදර්ශී අයුරින් කටයුතු කළොත් කනිෂ්ඨ නිලධාරීන් එයින් ශක්තිය ලබනවා. ඒ නිසා, මෙහිදී වැදගත් වන්නේ තමන් කෙරෙහි විශ්වාසය තබාගැනීමයි. මේක අමාරු වැඩක්.

මේ නඩු ත‍ීන්දුව ආශ්‍රයෙන් සබුද්ධික කතිකාවක් ගොඩනැඟීම වැදගත්. තීන්දුව සම්බන්ධයෙන් ඇපෑලක් ඉදිරිපත් කරන බව කියා තිබෙනවා. ඒක සාමාන්‍ය පිළිවෙත යි. ඒකෙ තීන්දුව ලැබෙන්න තව කලක් යයි. එය විවේචනය කිරීමේ හැකියාවක් අපට නැහැ.

මෙවැනි තීන්දුවක් ලද පමණින්ම ලංකාවේ අධිකරණය සම්බන්ධයෙන් තිබෙන අඳුරු චිත්‍රය මුළුමනින්ම වෙනස් වන්නේ නැහැ. එය පූර්ණ වෙනසකට ලක් විය යුතුයි. තවත් වැදගත් නඩු ගණනාවක් දිග්ගැස්සෙමින් විභාග වෙමින් පවතිනවා.

සිල් රෙදි බෙදීම සම්බන්ධයෙන් ආගමික පාර්ශ්වවල ආකල්පය ඔස්සේ පෙනෙන පසුගාමිත්වයත් මෙහිදී සැලකිය යුතුයි. ඔවුන් කිසිම අවස්ථාවක රාජ්‍ය මුදල් අවභාවිතයෙහි වැරැද්ද පෙන්වා දුන්නේ නෑ. එමෙන්ම ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම විවේචනය කරන මට්ටමට ඇතැම් ආගමික පාර්ශ්ව දුෂ්ට වුණා.

අධ්‍යාපනය, අධිකරණය, දේශපාලනය, සංස්කෘතිය, කලාව යනාදි හැම ක්ෂේත්‍රයකටම ආගමික පාර්ශ්වවල බලපෑම නරක විදියට පෙනෙනවා. ඔවුන් කිසිම ඉදිරිගාමි පියවරකට ඉඩ දෙන්නේ නෑ. ඇතැම් පාර්ශ්ව තමන්ට දාන වේල ලබා දෙන අහිංසක මිනිසුන් අවිචාරයට යොමු කරනවා; උසි ගන්වනවා. සිල් රෙදි නඩු තීන්දුව සම්බන්ධයෙනුත් ඔවුන්ගේ ප්‍රතිචාර දැන් දැන් පෙනෙන්නට පටන් අරන්.


හෘදයසාක්ෂියට එකඟව වැඩ කරමු - ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී ලයනල් ප්‍රනාන්දු

මා පරිපාලන සේවයට ආවේ 1960 දී. ඩීආර්ඕ කෙනෙක් හැටියට. ඒ අනුව මේ වන විට සේවා කාලය වසර 56ක්. රාජ්‍ය පරිපාලන සේවයේ සම්ප්‍රදායන්, නීති හා රෙගුලාසි අනුව. හෘදයසාක්ෂියට එකඟව මා කටයුතු කළා. එසේ කටයුතු කිරීම අපහසු වූ අවස්ථා කිහිපයක ගෙදර ගියා. එහෙම නොකර හෘදයසාක්ෂියට එරෙහිව කටයුතු කළා නම් මා අද කොහෙද ඉන්නේ? මේ රාජකාරිය කරද්දී පෙලඹීම් සහ පෙලඹවීම් යන දෙකම ඇති විය හැකියි. මේ දෙකම හොඳ නෑ.

හැබැයි මේ සඳහා පාර්ශ්ව දෙකක් අවශ්‍ය වෙනවා. තනි පාර්ශ්වයකට කරන්න බැහැ නේ. ආදරය කරන්න වුණත් දෙන්නෙක් අවශ්‍යයි. අන්න ඒ වගේ.

පරිපාලන නිලධාරීන් හැටියට වැඩ කිරීමේ ප්‍රතිපත්ති රාමුවක් තිබෙනවා. ජනතාවගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවත් ප්‍රතිපත්ති රාමුවෙන් පිටට ගිහින් වැඩ කළ යුතු නැහැ.

ජනාධිපතිවරයා හෝ ලේකම්වරයකු ඉදිරියේ දිවුරුම් දී වැඩ බාරගන්නේ ප්‍රතිපත්ති ගරුකව සද්භාවයෙන් වැඩ කිරීමටයි.

සමහර විට ප්‍රධානියාගෙන් යම් පෙලඹවීමක් සිදු වන්න පුළුවන්.‍ එහෙම අවස්ථාවක නිලධාරියාගේ වගකීම ඒ ගැන හිතා බලා තින්දුවක් ගැනීමයි. මේ පෙලඹවීම නිවැරැදිද මේ ගැන කාගෙන් හෝ උපදෙසක් ගත යුතුද? මෙය කෙළින්ම අනුමත කිරීම ප්‍රතිපත්තිවලට හා නීතියට එකඟද, හෘදයසාක්ෂියට එකඟව මෙය මෙසේ කිරීම හරිද යනාදී වශයෙන්. මෙවැනි අවස්ථාවල පූර්වාදර්ශ පිළිබඳ සිතා බැලීම වැදගත්‍. වැරදි තීන්දු නිසා ඇතිවූ ප්‍රතිවිපාකත් නිවැරදි තීන්දු නිසා ඇති වූ යහපතත් පිළිබඳ ඕනෑ තරම් නිදර්ශන තිබෙනවා.

නට්සීන් පරාජය වී මිත්‍රසේනා ජයගත් මොහොතේ නියුරම්බර්ග් නගරයේ ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියාත්මක වූ ආකාරය සිතා බලමු.

චූදිතයන් හට දඬුවම් දීමේ ක්‍රියාවලියේදී විවිධ පාර්ශ්ව විවිධ මත පළ කළා. එහිදී අධිකරණයේ නිගමනය වුණේ අපරාධ සඳහා පෙලඹවීම් ඇති වුණත් හෘදයසාක්ෂිය මත ක්‍රියාත්මක විය යුතු බවයි.

මෙවැනි කාරණාවලදී දේශීය නීතිය මෙන් ම අන්තර්ජාතික නීතියද සලකා බැලෙනවා. උසාවි පූර්වාදර්ශ සලකා බැලෙනවා. ඒ නිසා වර්තමානයෙහි රාජ්‍ය නිලධාරියකු යම් තීන්දුවක් ගන්නා විට වගකීමට සහ වගවීමට බැඳී සිටිනවා.

ටෙන්ඩර් කැඳවන ක්‍රමවේදය, මූල්‍ය රෙගුලාසි සියල්ල සලකා බැලීමෙන් පසුවයි අනුමැතිය ලබා දිය යුතු වන්නේ‍.

මේ ක්‍රමවේදය ඉංග්‍රීසින් අපට හඳුන්වා දුන් රාජ්‍ය පරිපාලන සේවයට ඇතුළත්ව සම්ප්‍රදායක් බවට පත්ව තිබෙනවා. අප විසින් සිදු කර ඇත්තේ එය වඩාත් මටසිලිටි බවට පත් කිරීමයි.

පරිපාලන රෙගුලාසි, මහජන සේවා විධි නියාම, විනය පටිපාටි යන මේවා නොසලකා කටයුතු කළ නොහැකියි. මූල්‍යමය හෝ වෙනත් කරුණක් සම්බන්ධයෙන් අනුමැතිය ලබා දුන් පසු පසුතැවිල්ලක් ඇතිවන ප්‍රතිපලයක් ලැබුණොත් එයින් පෙනෙන්නේ ලබාදුන් අනුමැතිය හෘදයසාක්ෂියට එකඟව නොදුන් එකක් බවයි.

රාජ්‍ය මුදල් භාවිතය සහ පින් අතේ වැඩ නිරනුකූලව අවබෝධ කරගැනීම ඕනෑම පාර්ශ්වයකට අදාළයි.

පන්සලකට ගියාම විවිධ දේවල් පූජා කරනවා. සමහරු ගෙදරින් මල් කඩාගෙන යනවා. සමහරු හොරෙන් මල් කඩාගෙන යනවා. මේ දෙවර්ගයම පූජා කරනවා. එයින් බරපතළ ගැටලුවක් ඇති වන්නේ නෑ‍. තවත් කෙනෙක් පහන් පූජාවට පොල් තෙල් බෝතලයක් හොරකම් කරගෙන යනවා. හැබැයි ඒකෙ ප්‍රතිඵල භයානකයි. ඒකෙ පිනක් සිද්ධ වෙනවා කියල කවුරු හරි කියනව නම් ඒක ලොකු මුසාවක්. පින් කරගන්නේ තමන්ට. එය තමුන් කළ යුතු වැඩක්. ඒකට කවුරුවත් ගාව ගන්න ඕනෑ නැහැනේ.

තිඹිරියාගම බණ්ඩාර 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.