මේ දේශපාලන ගතිකය වෙනස් කරන්නට හුදෙකලා දේශපාලකයන්ට බෑ | සිළුමිණ

මේ දේශපාලන ගතිකය වෙනස් කරන්නට හුදෙකලා දේශපාලකයන්ට බෑ

 ජනාධිපති ලේකම් කෙනකුට වුවත් තමා කළ වරදකට දඬුවම් ලැබ සිපිරි ගෙදරට යන්නට සිදු වන බව පසුගිය බදාදා යමකු කීවා නම් ඔහු බරපතළ හාස්‍යට ලක් වනවා නොඅනුමානය. එසේම ඔහු එක්කෝ ආණ්ඩුවේ අපුල්ලන්නකු එහෙමත් නැත් නම් මන්ද මානසිකත්වයෙන් පෙළෙන්නකු ලෙසද සමාජය විසින් ගරහනු ලබනවා නොඅනුමානය. එහෙත් පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේම ලෝකයාටම දැනගන්නට ලැබුණේ කළ වරදකට මේ රටේ ජනාධිපති ලේකම්වරයකුට වුවද වගකියන්නට සිදු වන බවය. එසේම ඊට වරදකරු වුව හොත් සිපිරි ගෙදර තපින්නට වන බවය.

කළ වරදකට තමන්ගේ වගවීම පිළිගෙන රජයේ ප්‍රබල ඇමැතිවරයකුට වුවද ඉල්ලා අස්වන්නට සිදු වන බව මෑත මෙරට ඉතිහාසයේ ආදර්ශයක් ගන්නට නැත. විශේෂයෙන් 1977න් පසු උදා වූ යුගය තුළ ආණ්ඩුවේ ඇමැතිවරයකු කළ වරදකට ඉල්ලා අස් වන බව හීනෙන් වත් හිතන්නට නොහැකි විය. එහෙත් දැන් දැන් එයද සිදු වෙමින් පවතී. සමහර විට කළ වරදකට ඉල්ලා අස් නොවන තැන දේශපාලන ශක්තියේ බිඳ වැටීම නොසලකා ඇමැතිවරයා ඉවත් කිරීමක් මීට කලින් හීනෙන් වත් හිතන්නට නොහැකි විය. එහෙත් දැන් දැන් එයද සිදු වෙමින් පවතී.

සම්මුතික ආණ්ඩුව බිහි වූ පසුව නීතිය හා සාමය පිළිබද අමාත්‍යවරයා වූ තිලක් මාරපන මහතා විසින් කරන ලද ප්‍රකාශයක් නිසා තනතුර හෑල්ලුවට ලක් වීමක් සිදු විණි. ඒ සම්බන්ධව දේශපාලන අවකාශය තුළ ඇති වූ සංවාදයේදී අමාත්‍යවරයා ඉල්ලා අස් විය යුතු බවට ප්‍රබල හඬක් මතු විණි. අවසානයේ තිලක් මාරපන කොතරම් ශක්තිමත් දේශපාලකයකු වුවද කොතරම් ශක්තිමත් එක්සත් ජාතික පාක්ෂිකයකු වුවද ඉල්ලා අස්වීම නොකර බැරි විය.

රජයේ ප්‍රබලම අමාත්‍යධූරය වූ මුදල් අමාත්‍ය ධූරය දැරූ රවී කරුණානායක මහතාට සිදු වූයේද එවැන්නකි. මහ බැංකු බැඳුම්කර සිද්ධියට ඔහුගේ නම සම්බන්ධයැයි සාක්ෂියක් ඉදිරිපත් වීමෙන් පසු දේශපාලන අවකාශය තුළ අමාත්‍යවරයා ඉල්ලා අස් විය යුතු බවට මතු වූ හඬ ශක්තිමත් විය. එය නොතකා හරින්නට එක්සත් ජාතික පක්ෂයටත් සම්මුතික ආණ්ඩුවටත් නොහැකි විය. රවී කරුණානායක කොතරම් ශක්තිමත් එක්සත් ජාතික පාක්ෂිකයකු වුවද ඉල්ලා අස්වීම අනිවාර්ය විය.

අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යධූරය දැරූ විජේදාස රාජාපක්ෂ මහතාට සිදු වූයේද එවැනි තත්ත්වයකි. ඔහු කළ ප්‍රකාශ ගණනාවක් නිසාත් ඔහුගේ දේශපාලන හැසිරීම නිසාත් ඔහුට එරෙහිව ඉල්ල වූ ප්‍රබල විරෝධය නොතකා හරින්නට ආණ්ඩුවට නොහැකි විය. වෙනදා මෙන් නොව මෙවර විරෝධය එල්ල වූයේ ආණ්ඩුව අභ්‍යන්තරයෙන්මය. ඒ විරෝධය තුළ ඉල්ලා අස්වීමකට හිත හදාගන්නට අමාත්‍ය විජේදාස රාජපක්ෂට නොහැකි වුවද ජනාධිපතිවරයා විසින් ඔහුව අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලදි.

ගිය බ්‍රහස්පතින්දා මහාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුවකින් හිටපු ජනාධිපතිවරයාගේ ලේකම් ඇතුළු ප්‍රබල රාජ්‍ය නිලධාරියකුට බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම විය. එසේම මිලියන අනූවක දඩයකටද ඔවුන් යටත් විය. මේ ඉහළම රාජ්‍ය නිලධාරීන්ට මෙසේ වගවීමට සිදු වූයේ ජන හදවත් තුළ නීතිය පිළබඳ අලුත් බලාපොරොත්තු ඇති කරවමිනි. මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයන් ගනු ලැබූ ජනතා විමුක්ති පෙරමුණද මේ මොහොතේ අමතක කළ නොහැකිය.

රාජ්‍ය පාලනයේදී දේශපාලකයකුගේ මෙන්ම රාජ්‍ය නිලධාරියකුගේ වගකීම මේ යුගය තුළ අතිශය වැදගත් වෙමින් පවතී. එය කලක් මහජන සංවාදයෙන් ඈත් වී තිබුණ අතර, දේශපාලකයන් හා රජයේ ඉහළ නිලධාරීන් කරන්නා වූ නීති විරෝධී ක්‍රියා නොතකා හරිමින් තිබිණි. විශේෂයෙන් ඉහළ රාජ්‍ය නිලධාරීන් සිදු කරන්නා වූ නීති විරෝධි ක්‍රියාවන්ට එරෙහිව පියවර ගැනීම රාජ්‍ය සේවය දුර්මුඛ කිරීමක් ලෙස ඇතැම් බලලෝභි දේශපාලන කොටස් විසින් අර්ථ දක්වන ලදි. එසේ කරන්නට ඔවුන් පෙලඹුණේ තමන්ගේ මජර ආශාවන් සංසිඳුවාගැනීමට කොන්ද කැඩුණ රාජ්‍ය සේවයක් අවශ්‍ය බැවිනි. එහෙත් ඒ සංස්කෘතිය දැන් අවසන් වෙමින් පවතී.

සමහර විට තවමත් ජනහදවත් තුළ ඇත්තේ "ඕව වෙන්නෙ නෑ" යන හැඟීමකි. රවි කරුණානායක අමාත්‍යවරයා ඉල්ලා අස්වීම සිදු කළ දිනට පෙරදින අයෙක් කැට තබමින් කීවේ එවැනක් සිදු නොවන බවයි. සිල් රෙදි නඩුව ඇදෙමින් පවතින කාලය තුළ බොහෝ දෙනෙක් කීවේ ජනාධිපති ලේකම්වරයකුට සිරදඬුවම් නොලැබෙන බවයි. ජන මනස තුළ ලැගුම්ගෙන ඇත්තේ එවැනි ආකල්පය. දීර්ඝ කාලයක් තිස්සේ සිදු නොවූ දෑ පිළිගන්නට ඔවුන් අකැමැතිය. ශ්‍රී ලාංකික සමාජය තුළ කාලයක් තිස්සේ මුල් බැසගෙන තිබුණේ නීතිය අදාළ වන්නේ සොක්කන්ට පමණක් බවය. එය තවමත් සත්‍යයක් වුවත් ප්‍රවණතාව වෙමින් පවතින්නේ අප සිහිනෙන් පවා නොසිතන දෑ සිදු වෙමින් පවතින බවත්, සිදු වෙන්නට ශක්‍යතාවක් පවතින බවත්ය.

ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය අනුව දේශපාලකයන් හා රජයේ ඉහළ නිලධාරීන් කළ වරදකට වගවීමක් බලාපොරොත්තු නොවේ. එසේම වරදට දඬුවමක් හෝ දෙන්නේ නැත. මේ නිසා දේශපාලකයන් තුළ ද නිලධාරීන් තුළද නීතියේ ආධිපත්‍යයට පැවතිය යුතු බිය පහව ගොස්ය. එනිසා කිසිම චකිතයකින් තොරව නීතිය කඩ කරති. ඒ එක්කෝ දේශපාලකයන්ගේ අවශ්‍යතාවටය. එසේත් නැත් නම් තමන්ගේ සුඛවිහරණයටය. රාජ්‍ය යන්ත්‍රණයේ පවතින මේ සංස්කෘතියට දැන් දැන් කණකොකා හඬමින් සිටීම සතුටට කරුණකි.

දේශපාලන සංස්කෘතියේ මේ වෙනස දේශපාලකයන්ගේ අවශ්‍යතාව නොවන බවට සැකයක් නැත. පවතින පාරිභෝජනවාදි සමාජ ක්‍රමය තුළ බොහෝ පිරිස් දේශපාලනයට එන්නේ කීයක් හෝ හොයාගන්නටය. එහෙත් දැන් සමාජ කතිකාවක් තුළින් බිහි වූ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වෙමින් තිබේ. එය මහජන අවකාශය තුළ අතිශයින් වැදගත් සංස්කෘතියකි. තවදුරටත් තමන් කරන්නා වූ නීති විරෝධි හා අගතිගාමි ක්‍රියා සම්බන්ධයෙන් දේශපාලකයන්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ටද වගවීමකින් තොරව සිටින්නට නොහැකිය. ඔවුන් කරන්නා වූ සියලු ක්‍රියාවන් දැඩි ලෙස නිරීක්ෂණය කරන යන්ත්‍රණයක් මෙන්ම ඒවාට වන්දි ගෙවිය යුතු යන්ත්‍රණයක්ද නිර්මාණය වෙමින් තිබේ.

දේශපාලන ලෝකය තුළ දීර්ඝ කාලයක් සිදු නොවෙමින් පැවති දෑ සමහර විට එක් රැයකින් සිදු විය හැකිය. ඊට හේතු වන්නේ යම් ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් හෝ තවදුරටත් ක්‍රමයේ පැවැත්මට අහිතකර වන්නේ නම් එය අවකාශය තුළින් බැහැර කිරීමට ලක් වීමයි. දේශපාලකයන් සිදු කරන වංචනික ක්‍රියා මෙන්ම දූෂණ හා මැර ක්‍රියාමාර්ගයන්ද තවදුරටත් දරාගැනීමට මේ දේශපාලන ව්‍යූහයට නොහැකි වී ඇත. එසේම රජයේ ඉහළ නිලධාරීන් තම වගකීම ඉටු නොකර දේශපාලකයන්ට එහෙයි කීමද මේ දේශපාලන ව්‍යූහයට තවදුරත් දැරිය නොහැකිය. මේ නිසා එවැනි අගතිගාමී ක්‍රියා මෙන්ම අගතිගාමී ක්‍රියාවල යෙදෙන්නන්ද අවකාශය තුළින් ඉවත් කිරීම අනිවාර්ය කරුණක්ව තිබේ. ඒ දේශපාලන අවශ්‍යතාව ඉස්මත්තට ආවේ හුදු ස්වයං ක්‍රියාකාරීව නොවේ.

දස වසරකට ආසන්න රාජපක්ෂ පාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධතිය මෙන්ම සමාජ හර පද්ධතියටද සිදු වූ හානිය අතිමහත්ය. මේ නිසා රාජ්‍යපාලනයේ යහපාලන සාරයන් විනාශ වී ගොස් තිබිණි. අපරාධකරුවන් නිදැල්ලේ හැසිරුණු අතර ජනාධිපතිවරයාම මැදිහත් වී අපරාධකරුවන්ට නීතියේ සහනය ලබාදෙමින් තිබිණි. නඩු සංශෝධනය කෙරිණි. බොහෝ නඩු ඉල්ලා අස් කෙරිණි. රාජපක්ෂ දේශපාලනයට පක්ෂපාත නම් කුමන අපරාධායක් කළද බේරිල්ලක් ලැබිණි. ජනාධිපතිවරයා ඝාතනය කරන්නට කොටි සංවිධානය සමග කුමන්ත්‍රණය කළැයි මහාධිකරණයේ චූදිතයකු වූ අපරාධකරුට පවා ජනාධිපති මැදිහත් වී රජයේ උසස් ඇමති තනතුරක් ලැබුණේ චූදිතයා රාජපක්ෂ දේශපාලනයට යටත් වීම නිසාය.

මේ කුණුගඳ ගසන දේශපලන සංස්කෘතිය පෙරළා දැමීමට ජවයක් ලැබුණේ රාජපක්ෂ දේශපාලනයේ අවසන් යුගය තුළ පෙළගැසුණ මහජන බලවේගය මඟිනි. 2015 ජනාධිපතිවරණය තුළ මහජන අභිලාශයන් නියෝජනය කළේ එම අවශ්‍යතාවයි. මේ අවශ්‍යතාව සම්මුතික ආණ්ඩුවේ ශක්තිමත් පදනමක් විය. සමහර විට දේශපාලකයන්ට අවශ්‍ය වුවත් ජනාධිපතිවරණයේ මහජන අභිලාශයන් පිටු දැක යන්නට නොහැකි වාතාවරණයක් උදා වී ඇත. ඊට හේතු වී ඇත්තේ නිර්මාණය වූ දේශපාලන ගතිකය සියලු දේශපාලන සංස්කෘතීන් පෙරළා දමා අලුත් සංස්කෘතියක් බිහි කිරීමට සමත්ව ඇති බැවිනි.

දැන් දේශපාලකයන්ගේ කකුල් වෙව්ලයි. ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ කකුල් වෙවුලයි. යහපාලනයක් බලාපොරොත්තු වූ මෙරට සමාජයට අවශ්‍ය වූයේ එයයි. අත්තනෝමතික ලෙස රෑ දකින සිහිනය සැබෑ කරගන්නට දවල් වෙහෙස වන දේශපාලකයන්ට හා රජයේ නිලධාරීන් වරක් දෙවරක් නොව බොහෝ වාර ගණනක් නැවත සිතිය යුතුව තිබේ. ඒ සංස්කෘතිය බිහි වූයේ පසුගිය ජනාධිපතිවරණයේදී නිර්මාණය වූ මහජන අභිලාශයන් සමඟය. එය සමාජය ලැබූ අලුත් ජයග්‍රහණයකි. දේශපාලන ගතිකය වෙනස් කිරීමට හුදෙකලා දේශපාලකයන්ට නොහැකිය.

[email protected]
කේ.ජී. පිලිප් ශාන්ත 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.