අන්තෝ ජටා-බහි ජටා මැද ආණ්ඩුව ඉදිරියට යන විස්මය! | සිළුමිණ

අන්තෝ ජටා-බහි ජටා මැද ආණ්ඩුව ඉදිරියට යන විස්මය!

 ශ්‍රීලනිප 66 වැනි සංවත්සරයට එක් වීම සඳහා සිව් දෙසින් බොරැල්ල කැම්බල් පිටියට ඇදුණු ජනගඟ මෑත ඉතිහාසය තුළ කවර හෝ දේශපාලන සංවිධානයක් වෙනුවෙන් පැමිණි වැඩිම ජන සංඛ්‍යාව බව නිසැකය. වරින් වර ඇදවැටුණු වැස්සද නොතකා ඉමහත් උනන්දුවකින් හා උද්යෝගයකින් රැස් වූ ජනතාවගේ මුහුණුවලින් ප්‍රකාශ වූයේ ශ්‍රීලනිපය බලගැන්වීම සඳහා ඔවුන් තුළ වූ අපේක්ෂාවයි. රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය අවසන් මොහොත වන තෙක්ම නෝක්කාඩු කියමින් සිටියේ තමන්ට පක්ෂයේ සංවත්සරය සඳහා ඇරියුම් ලැබී නැති බවටය. එහෙත් ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා මෙන්ම සන්ධානයේ ලේකම්වරයාද ඒ කටයුත්තට මැදිහත්ව ආරාධනා පත අතටම ලැබෙන්නට සැලැස්වීමෙන් පසු ඔවුන් කියන්නට වූයේ ශ්‍රීලනිපය එජපය සමඟ සිටින තාක් කල් ඔවුන්ට එතැනට යෑම අකැප බවය. අද සැබෑ ශ්‍රීලනිපය තිබෙන්නේ තමා ළඟ බවත්, තමන් සදාකාලිකවම එජාපයේ දේශපාලන සතුරකු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර තිබිණි. එහෙත් එබඳු එජාප විරෝධයක් ලේ, මස්, ඇට, නහර අතර තිබෙන මේ සුපිරි ශ්‍රීලනිපවාදියා එදා එජාපයෙන් පැමිණි පිරිසක් සමඟ රට පාලනය කළේ කෙසේදැයි කිසිවෙක් පෙරළා ඔහුගෙන් ප්‍රශ්න කළ හොත් දෙන පිළිතුර කුමක්දැයි අපට කිව නොහැකිය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කොළඹ කැම්බල් පිටියේ සිට පාක්ෂිකයන්ට කීවේ මීළඟට ශ්‍රීලනිපයේ ආණ්ඩුවක් හැදීමට එක්සිත්ව එක්සත්ව ක්‍රියා කළ යුතු බවය. එහෙත් මාතර සිට හිටපු ජනාධිපතිවරයා කීවේ කුමක්ද? ඒකාබද්ධ පොදු පෙරමුණකින් මීළඟ මැතිවරණයට පැමිණෙන බවයි. එසේ කියන ගමන්ම එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සංවත්සර උලෙළකට සහභාගි වූයේ ඔහු නිවැරදි වනු ඇතැයි යන විශ්වාසයෙන් බවද හිටපු ජනාධිපතිවරයා කීවේයැයි මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ කතාව හැබෑවක් නම් තමන් තවමත් ශ්‍රීලනිප සභාපතියැයි හිටි හැටියේ කියන කථාව ගැනද පරස්පර විරෝධයක් තිබෙන බව වසන් කළ නොහැකිය. එසේම එදා පොදු ජන පෙරමුණ තිබිණි නම් තමන්ට ජය ගැනීමට හැකි වන බවද ඔහු සඳහන් කර තිබිණි. මේවා නිකම් දේශපාලන වහසිබස් විනා ගැඹුරු හෝ තර්කානුකූල පිළිතුරු ලෙස ගණන් ගත යුතු නැත. එසේම කෙනකු ඡන්දයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මුළා වූ විට ඔහු කෙරෙන් ප්‍රඥාව දුරු වන බව වටහාගැනීමට අමුතුවෙන් ටීකා-ටිප්පනි නැති බවද මතක් කළ යුතුය.

තවමත් නොතේ‍රෙන ඇත්ත

කෙසේ හෝ හිටපු ජනාධිපතිවරයාගේ මේ දේශපාලන තක්සේරුව අනුව, එදා මේ රටේ බහුතර ජනතාව තමන්ට යළී බලය නොදීමේ සැබෑ දේශපාලන කරුණු පිළිබඳ ඔහු තවමත් අවබෝධයකින් තොරව කතා කරන්නේද යන ප්‍රශ්නයද කෙනකුට ඇති විය හැකිය. 2015 ජනවාරි 08 වැනිදා මේ රටේ පැවැත්වුණු මැතිවරණය ඉතිහාසයට එක්ව තිබෙන්නේ දෙවරක් විධායක බලය හෙබවූ රාජ්‍ය නායකයා මෙන්ම දසක තුනකට අධිකව පැවතුණු කොටි බලය අවසන් කළ දේශපාලන නායකයාද බලයෙන් ඇදදැමූ විස්මිත ජනාධිපතිවරණය ලෙසය. එය තවත් ආකාරයකින් කිව හොත් තමාට විරුද්ධව “හ්ම්” හඬක් නැඟීමට ශක්තියක්, ධෛර්යයක් නොතිබූ මැතිඇමැති පිරිසකගේ සහාය පමණක් නොව, සියලු මාධ්‍යවල ආධාරය මෙන්ම රාජ්‍ය බලයේ ශක්තියද සහිතව තරග වැදුණු ප්‍රබල නායකයකුගේ ඇදවැටීමකි. සත්තකින්ම එය ඔහු හෝ ඔහුගේ අනුගාමිකයන් විසින් සිහිනෙන්වත් අපේක්ෂා නොකරන ලද පරාජයකි.

හිටපු ජනාධිපතිවරයා විසින් රටට කරන ලද සංවර්ධනය හා එල්ටීටීඊ පරාජය කිරීම වැනි සියලු සාධනීය දේවල්, දේශපාලන තරාදියේ එක පැත්තකට දමා ඒ කාලයේ සිදු වූ බව කියන මූල්‍ය වංචා, මහජන දේපළ හා මුදල් ගසාකෑමේ චෝදනා, ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය පිරිහී තිබෙන බවට වූ චෝදනා, මෙන්ම බලය අනිසි ලෙස යොදාගැනීමේ චෝදනාව ඇතුළු තවත් කරුණු ඒ තරාදියේ අනෙක් පැත්තට දැමූ විට බිමටම පාත් වූයේ චෝදනා තිබුණු පැත්තය. ජනමතය පොදු අපේක්ෂක මෛත්‍රී වෙතට නැඹුරු වීමට තවත් බලගතු හේතුද තිබිණි. ඒ අතර මෛත්‍රීගේ දේශපාලන සුජාතභාවය, ඔහුට විරුද්ධව දූෂණ, භීෂණ, වංචා, ඝාතන යනාදි චෝදනා කිසිම දෙයක් තිබුණේද නැත. එසේම මේ රටේ දෙමළ, මුස්ලිම් ආදි සුළු ජනතාව තුළද මෛත්‍රීගේ දේශපාලන භූමිකාව පිළිබඳ වූයේ නිර්මල හැඟීමකි.

මහින්ද පාලන සමය තුළ මේ රටේ අධිකරණයේ බලය හා ස්වාධීනත්වය නොතකා ක්‍රියා කිරීම හා ඒ සඳහා තිබෙන ව්‍යවස්ථාමය සම්ප්‍රදායන් බිඳ දැමූ බවටද බරපතළ චෝදනාවක් තිබිණි. බටහිර රටවලින්ද මේ තත්ත්වය පිළිබඳ චෝදනා නැඟිණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අපට බුරුලක් දීමට සූදානම්ව නොසිටියේද මේ පසුබිම තුළය.

දේශපාලන ශේෂ පත්‍රය

මෛත්‍රී ජනපති ලෙස පත්ව අගමැති ලෙස රනිල්ව නම් කිරීමත් සමගම අන්තර්ජාතික තලයේ අපට විශාල සුබදායක තත්ත්වයක් ඇති විය. දේශපාලන වාචාල කතාවලින් මේ මෛත්‍රී - රනිල් සුසංයෝගය පිළිබඳ අවලාද, අපවාද හා මුසාවාද කඳු ගැසුවත් ඇත්ත කථාව රට වෙනසකට යොමුව තිබෙන බව, ශ්‍රී ලංකාව අලුත් ඇරඹුමකට යොමුව තිබෙන බව විරුද්ධව චෝදනා නැඟූ රටවල් වටහාගෙන තිබීමය. අපරාධ හා ඝාතන සිදුවීම් පිළිබඳව පොලීසිය විමර්ශන කටයුතුවල නිරත නොවන හෝ දුර්වල ආකාරයට චුදිතයන් පිළිබඳ ප්‍රතිචාර දක්වන බවට මහජන විවේචනද එදා තිබිණි.

සමස්ත පාලන තන්ත්‍රයම විනයක් නැති ස්වරූපයක් ගෙන තිබිණි. යහපාලන ආණ්ඩුවට වසර දෙකක් ගත වී තිබුණත් දූෂණ, වංචා, හොරකම් ආදිය පිළිබඳ රටට දැනෙන හා ජනතාව අපේක්ෂා කළ ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට නොහැකි වූයේද මේ පසුබිමේය. හොරුන් ඇල්ලීමට භාර කළ ආණ්ඩුව හොරුන් විසින් අල්ලාගනු ලැබ ඇතැයි උසුළුවිසුළු කරන්නේද මේ කඩාවැටුණු නීතිය හා යුක්තිය පසිඳලීමේ ක්‍රමය නිසා බව ආණ්ඩුව කොපමණ කීවත් ජනතාව එය පිළිගැනීමට මැළි වන බව පෙනේ.

මෛත්‍රී - රනිල් සම්මුතියට වසර දෙකක් පිරෙන විට චෝදනා එල්ල වීම නිසා එජාපයට අයිති ඇමැතිවරුන් දෙදෙනකුට පමණක් සිය ධුරවලින් ඉවත් වීමට සිදු විය. එහිදී එක් අයකු ඉල්ලා අස් වූ අතර, අනෙක් අය අස් කිරීමට සිදු විය. එහෙත් මේ සිදුවීම්වලින් ජනතාව තෘප්තිමත් වී නැති බව පෙනේ.

ඒකාබද්ධ විපක්ෂය අද හිස කෙළින් තබාගෙන තමන්ට එල්ල කෙරෙන දූෂණ චෝදනා පිළිබඳ නොයෙක් කතා කියන බව රහසක් නොවේ. කොතැන හෝ තිබෙන අඩුවක් නිසා නොවේ නම් ඉතා සැලසුම් සහගතව කරන ලද වංචා, දූෂණ හා අක්‍රමිකතා නිසා තවමත් බොහෝ දෙනකු දෝෂාරෝපණ කරන්නේද මෛත්‍රී ජනපතිට හා රනිල් අගමැතිටය. ඒ මදිවාට ඇමැතිධුරයෙන් නෙරපූ විජයදාස රාජපක්ෂ කියන්නේ තමන්ට ඇමැතිධුරය අහිමි වූයේ නීතියට, අධිකරණයට බලපෑම් නොකළ නිසා බවය. එහෙත් අද ඔහු ඒ අදහස් පල කරන්නේ කොහි සිටද? කාගේ වේදිකාවලද? අද ඔහුගේ ගුණ ගයන්නෝ කවරහුද? විජයදාස රාජපක්ෂගේ දේශපාලන අරමුණ කුමක්දැයි අපට පැහැදිලි නැත. එහෙත් ඔහුගේ දේශපාලන ශේෂ පත්‍රය ආරක්ෂා කරගැනීම පිළිබඳව ඔහු බුද්ධිමත්ව සිතා බැලිය යුතුය. එය ඔහුට අයත් කාර්යයකි. දැන් යළිත් මෛත්‍රී ජනාධිපතිවරයා විසින් කැම්බල් පිටියේදී සිය පාක්ෂිකයන්ට මෙන්ම රටට දෙන ලද ප්‍රතිඥා මොනවාදැයි විමසා බලමු. ජනාධිපතිවරයා කී වැදගත් කරුණක් වූයේ පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යෑමේ වගකීම සමඟම රට පෙරට ගැනීමේ වගකීමද ඉටු කරන බවය. මේ කටයුත්තට හරස් වන්නේ මල්පොහොට්ටුව යටට වී ශ්‍රීලනිපය සුරැකීමට කතා කරන අය නොවෙත්ද? බණ්ඩාරනායකවරුන්ගේ පින්තූරද අද ඒ පක්ෂ වේදිකා පසුබිමෙහි ප්‍රදර්ශනය කෙරෙන බව පෙනේ. හැබැයි එදා බලයේ සිටියදී බණ්ඩාරනායකවරුන්ගේ කාර්යභාරය ගැන දැක්වූ සැබෑ ප්‍රතිචාරය කුමක්ද? බණ්ඩාරනායකවරුන්ට මේ රටේ පොදු ජනතාව ආදරය කළේ හද පත්ලෙනි. කොම්ප්‍රදෝරු ධනපති පන්තියේත් වැඩවසම් ප්‍රභූවරුන්ගේත් කුමන්ත්‍රණ නිසා එදා සහාසික වෙඩි පහරකින් පියවුණු ඒ උතුම් දෑස මේ රටේ ජනහදවත් තුළ දැල්වූ ආලෝකය කිසිදිනක නිවී නොයන්නකි. බණ්ඩාරනායක මහතා වෙනුවෙන් ගොඩනැංවූ සිහිවටන, ඉදි කිරීම් කොතරම් ස්වල්පද? බණ්ඩාරනායක මැතිඳුන් මිය යන විට ඔහු සතුව තිබුණු රොස්මීඩ් නිවෙසද උකසක බැදී තිබිණි. මැතිනියට හා දරුවන්ට එය බේරා දෙන ලද්දේ සර් ජෝන් කොතලාවල මහතාගේ මැදිහත් වීමකින් බවද කියති. එහෙත් රාජපක්ෂ පාලන සමය තුළ වත්කම්, හිමිකම් ලද අය කොපමණ සිටිත්ද? අද ඒ වෙනුවෙන් නැඟෙන චෝදනා තහවුරු වී නැති බව ඇත්තය. එහෙත් එසේ වූ පමණින්ම ඒ සියල්ල හුළඟේ පාවී යනු ඇතැයි සිතිය හැකිද? එනිසා මේ රටේ පොදු ජන යුගයක් උදා කළ බණ්ඩාරනායකගේ පක්ෂය හිමි විය යුත්තේ එදාත් පක්ෂයේ පදනම වූ පංච මහා බලවේගයටත් එයට අලුතින් එක්ව සිටින රණවිරුවන් ඇතුළු පොදු ජනයාට බවත් අවධාරණය කළ යුතුය.

ශ්‍රීලනිපයට රජරටින් එක් වූ නායකයා අද ඒ පක්ෂයේ සභාපති වීම නුරුස්සන පිරිසක් සිටිති. ශ්‍රීලනිපයේ මහලේකම් ධුරය දිගු කලක් හෙබවූ ගොවියකුගේ, රණවිරුවකුගේ සුජාත පුත්‍රයකු ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පක්ෂය මෙහෙයවීම වරප්‍රසාද ලත් පන්තියට දිරවාගත නොහැකි බව ඇත්තය. අදත් ඔහුගේ අරගලය ශ්‍රීලනිපය ගොඩදාගැනීමය.

මෛත්‍රී ශෛලිය

අද පක්ෂය තුළ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර තිබේ. නායකත්වය අබියස හික්මීයන් සේ කරබා ගත යුතු නැත. සවන් දීම, පිළිතුරු දීමට තිබෙන අයිතිය අද ශ්‍රීලනිපයේ දැකගත හැකිය. එනිසා බණ්ඩාරනායක ප්‍රතිපත්ති තිබෙන්නේ කොතනද? යන්න ජනතාවට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දිය යුතු නැත. එපමණක් නොව මෛත්‍රී සමග සිටින දවල් මිගෙල් රෑ දනියෙල් චරිත ගැනද ජනතාව දනිති. මහින්දගේ ශෛලිය හා මෛත්‍රීගේ ශෛලිය සමාන නැත. මෛත්‍රී හොරකම, දූෂණය අනුමත නොකරන නායකයෙකි. එයට හොඳම නිදසුන මහ බැංකු මගඩිය ගැන රටට හෙළි කිරීමට ගත් පියවරය. මේ කොමිසමේ සාක්ෂිවලින් දැනට හෙළි වී තිබෙන දේවල් වුවද සුළුපටු නැත. එහෙත් ඒවා මතු යම් දිනක ඔප්පු වන තෙක් හොරුන්ට නිදහසේ සිටිය හැකිය. තමන්ගේ ආණ්ඩුවේම පාර්ශ්වයක් සබඳතා ඇති පිරිසක් මෙන්ම ආර්ථික, සමාජ, බලය සහිත වරප්‍රසාද ලත් ප්‍රධානීන්ගේ නම්ද ඈඳුණු සැකමුසු ක්‍රියා දාමයක් පිළිබඳ විමසා බැලීමට ශක්තියක් තිබෙන රාජය නායකයකු අද ශ්‍රීලනිපයේ නායකයා බවට පත්ව සිටීම ගැන ශ්‍රීලනිපයට ආඩම්බර විය හැකිය. හොරුන්, දූෂිතයන්, ඝාතකයන් වෙනුවෙන් පෙනී සිටි ශ්‍රීලනිපය අද පිරිසුදු කිරීම ඒ තරම් පහසු නැති වුවද මෛත්‍රීගේ කාර්යභාරය නිසා ඔහුට මේ රටෙන් ලැබෙන ගෞරවය, වටිනාකම විශිෂ්ට එකක් බව සඳහන් කළ යුතුය.

රණවිරුෙවා්

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එදා කැම්බල් පිටියේදී කළ කතාවේ ප්‍රබල හා අභීත අවධාරණයන් කීපයක්ම තිබිණි. ඒ අතරින් තමා මේ රටේ නායකයා ලෙස සිටින තාක් යුද්ධයට නායකත්වය දුන් හමුදාපතිවරුන්, වෙනත් නිලධාරීන් හා කිසිදු රණවිරවකුට අනතුරක් වීමට ඉඩ නොදෙන බවට කළ අවධාරණය ඉතා ප්‍රබලය. ඇත්ත වශයෙන්ම මේ මොහොතේදීත් රණවිරුවන් පාවා දීම ගැන නොයෙක් චෝදනා, ඇඟිලි දිගු කිරීම් ආණ්ඩුව වෙත එල්ල වෙමින් තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ මහින්දගේ කටහඬ බවට පත්ව සිටින අය මේ රණවිරුවන් පාවා දීමේ චෝදනාව ජනතාව අතර පා කරමින්ද සිටිති. එය ඔවුන්ගේ හොඳ දේශපාලන තුරුම්පුවක්ද වේ. එහෙත් මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිවරයා මෙන්ම රනිල් අගමැතිද පුනපුනා කියන්නේ එබඳු දෙයකට කිසිසේත්ම ඉඩ නොදෙන බවය.

රාජපක්ෂ පාලන සමයේදී යුද හමුදාපතිවරයාව සිටි සරත් ෆොන්සේකාට කළ සැලකිල්ල ජනතාවට මතක තිබිය යුතුය. හමුදා අධිකරණයකින් ඔහුට දඬුවම් දුන් බව කීහ. එදා එයට එරෙහිව අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් හඬ අවදි කළ අයුරු අපට මතකය. “අනේ කරුණාකරල ඒ උතුම් රණවිරුවා නිදහස් කරන්න. අවශ්‍ය නම් ඔහු වෙනුවට අපි හිරබත් කන්නම්” මේ සෝභිත හිමියන්ගේ වචනය. රටක් එක් සේසත් කළ රණවිරු නායකයා මෙන්ම එල්ටීටීඊ ප්‍රහාරයකින් යන්තම් පණ බේරාගත් ඒ අභීත රණවිරුවා ගැන හඬක් නොනැඟූ අය අද රණවිරුවන් ගැන කතා කිරීම පුදුම සහගතය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද වරක් නොව කීප වරක්ම කොටි ප්‍රහාරවල ඉලක්කයක් විය. එසේම ඔහුට රණවිරුවන් ගැන පහදා දීමට අටුවා ටීකාද වුවමනා නැත. ඔහුගේ පියා පළමුව ගොවියෙකි. දෙවනුව යුදබිමට ගිය රණවිරුවෙකි. ගොවි පුතෙකු මෙන්ම රණවිරු දරුවකු ලෙස ගම්භීර හැඟීම් සමුදායක් තිබෙන පන්ති හැඟීමෙන්ම ඒ දෙස බලන නායකයකු ලෙස ඔහුගෙන් කිසිදිනක රණවිරුවන්ට අගතියක් නොවන බව මේ රටේ ජනතාව දනී. එදා මර බියේ මැත දෙඩවූ විදුලි පුටුව, යුද්ධාධිකරණ භීතිය ඉවත් කර ඒ මරු හීන දුටු අයට නිසන්සලේ නිදඳාගැනීමට ඉඩ සලසා දුන්නේද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම නොවේද? අද ඔවුන් නින්දෙන් තිගැස්සෙන්නේ වෙනත් හේතු නිසා විය හැකිය.

මේ නිසා ජගත් ජයසූරිය ගැන ඒකාබද්ධ විපක්ෂය කලබල විය යුතු නැත. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ඇතැම් කථා, දෝෂාරෝපණ ගැන අපට එකඟවිය නොහැකිය. එහෙත් ඔහු ඉතිහාසයට එක් වූ මිනිසෙකි. ඔහුගේ නම ඉතිහාසයෙන් කටුගාදැමීමට සැලසුම් කළෝ කවරහුද? මහින්ද පාලන සමයේ ඔහුට එරෙහිව යුද අධිකරණය ක්‍රියාත්මක වූයේ ජගත් ජයසූරියගේ වුවමනාවට නොවේ. ඔහු කළේ එවක සේනාධිනායකයාට අවශ්‍ය වූ දේ බව පැහැදිලිය. හමුදාවෙන් විශ්‍රාම ගෙන තානාපති සේවයට වරම් ලද හමුදාවේ ඉහළම නිලධාරීන්ට අන්තර්ජාතික විරෝධයක් ගොඩනැඟුවේ දෙමළ ඩයස්පෝරාවය. ඒ චෝදනා අනුව මහින්ද පාලන යුගයේදීත් සමහරුන් මවුබිමට කැඳවීමට සිදු විය. ජගත් ඩයස් එයට මුහුණ දුන් අයෙකි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ජගත් ජයසූරිය ගැන අවුලක් තිබිණි නම් ඔහුට සිය ධුර කාලය නිම වන තුරු තානාපතිකම් කිරීමට ඉඩ නොලැබෙන බවද මතක් කළ යුතුය. ජගත් ජයසූරිය මේ යථාර්ථය නොදන්නවා නොවේ. එහෙත් ඔහුගේ මාර්ගයෙන් හෝ තව ගින්නක් ඇවිළවීමට පිරිසකට වුවමනා කර තිබෙන බව පෙනේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ දෙමළ ඩයස්පෝරාව ගැන මෙන්ම ඔවුන්ගේ සල්ලිවලින් දුවන ඇන්ජීඕකාරයන් ගැනද හොඳින් දනී. එදා කැම්බල් පිටියේදී ජනාධිපතිවරයා බොහොම උද්වේගයකින් කියා සිටියේ තමන් එබඳු බලවේගවලට යට නොවන බවය. ජනාධිපතිවරයාගේ ඒ කථාව දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් පෙනී සිටින ඇන්ජීඕකාරයන් කුපිත කරවන එකක් බව නිසැකය. ‍ෆොන්සේකා ඇමැතිවරයා යුද්ධය ගැන දන්නා ප්‍රමාණය දේශපාලනය සම්බන්ධයෙන් දන්නේ නැති බව පෙනේ. එහෙත් ඔහුගේ මුවින් ගිලිහෙන (සාධාරණ) ආවේග සතුරන්ට අවි මුවහත් කිරීමට උරගලක් වීම ආණ්ඩුවට හොඳ නැත. එදා ලංකාවේ යුද අපරාධ ගැන සෙවීමට දරුස්මාන් කොමිසමට එක්වූ යස්මින් සූකා වැනි චරිත අදත් සක්‍රීය වී සිටින බව මතක තබාගත යුතුය.

V - 2025

මේ අතර මෛත්‍රී - රනිල් සම්මුති ආණ්ඩුවේ කාලය අවසන් වී තිබෙන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි. ඒ නිසා ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව අඩු කළ යුතු බවද ඔහු කියා ඇත. පළාත් පාලන හා පළාත් සභා ඡන්දය පිළිබඳ අවුලද තවමත් ලිහී නැත. 20 වැනි සංශෝධනය පිළිබඳ ඇත්තේ විවාදාත්මක තත්ත්වයකි. පළාත් සභා සතු බලය පාර්ලිමේන්තුවට ඩැහැගැනීමට ඉඩ දීමට බැරියැයි ඒ සංශෝධනය ගැන විවේචනය කරන අය කියති. උතුරේ මහ ඇමැතිවරයාද ඒ ස්ථාවරයේ සිටම වෙනම බලයක් ඉල්ලන අයෙකි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත් එක්ව ඉදිරිපත් කළ විශේෂ ආර්ථික හා සමාජ සංවර්ධන යෝජනාවලියක් ‘V- 2025‘ නමින් පසුගියදා ප්‍රකාශයට පත් කර තිබුණේද මේ ජරමර අස්සේය. “පොහොසත් රටක් - සවිමත් හෙටක්” යන තේමාව යටතේ ඉදිරිපත් වූ ඒ සැලැස්ම ගැන ජනතාවට අලුත් බලාපොරොත්තුවත් ලබා දීම ආණ්ඩුවේ අරමුණ බව පෙනේ. කොහොමටත් මේ රටට වුවමනා ආණ්ඩු මාරු වෙන විට වෙනස් වන ආර්ථික ප්‍රතිපත්තියක් නොවන බව දැන් කලක සිට ඇසෙයි. රටකට ස්ථාවර, ආර්ථික හා විදේශ ප්‍රතිපත්තියක් තිබිය යුතු බවට විවාදයක් නැත. එය මේ නායකයෝ දෙදෙනාම තේරුම් ගෙන සිටිති. කවුරුන් කෙබඳු විවේචන කළත් අද මේ ආණ්ඩුව නොවැටී තිබෙන්නේ ‍මෛත්‍රී ජනාධිපති නිසාය. ‘අන්තෝ ජටා බහි ජටා‘ මැද වුවද එජාපයට ‘ටටා’ නොකියා ආණ්ඩුව අල්ලාගෙන සිටීමද දේශපාලන විශ්වකර්ම වැඩක් බවද නොකියා බැරිය.

එදා කැම්බල් පිටියේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව කියා සිටියේ මේ ආණ්ඩුව පෙරළීමට තිබෙන එකම ක්‍රමය “කුමන්ත්‍රණයක්” බවයි. මේ ආණ්ඩුවේ තිබෙන රොඩු බොඩු විසී කරදමා පිරිසුදු ආණ්ඩුවක් හැදීම කළ නොහැකි බවද ජනාධිපතිවරයා දනී. එසේ නම් ඒ සඳහා තිබෙන එකම විකල්පය ශ්‍රීලනිපය පිරිපහදු කරගෙන විනයක් සහිත පක්ෂයක් ගොඩනඟා, විනයක් සහිත රටක් ගොඩනැඟීම බවද ජනාධිපතිවරයා නිවැරදිව වටහාගෙන සිටියි. එහෙත් ඒ සඳහා අවශ්‍ය හෘදයසාක්ෂියක් සහිත දේශපාලනඥයෝ කී දෙනෙක් සිටිත්ද?

සුමේධ ජයබාහු

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.