එංගලන්ත ක්‍රිකට්-රග්බි ක්‍රීඩිකාවන් අගමැතිවරිය ගේ ඇගැයුමට | සිළුමිණ

එංගලන්ත ක්‍රිකට්-රග්බි ක්‍රීඩිකාවන් අගමැතිවරිය ගේ ඇගැයුමට

එංගලන්තයේ කාන්තා කණ්ඩායම් ක්‍රීඩා ක්ෂේත්‍රයට 2017 වසර සුවිශේෂිතය. ඒ ද්විත්ව ක්‍රීඩාවලින් ලෝක කුසලාන තරගාවලි අවසන් තරගවලට සුදුසුකම් ලැබීමට ඔවුනට හැකි වූ බැවිනි. ඒ ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩාය. මින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔවුනට ලෝක ශූරතාවයි. රග්බි ක්‍රීඩාවෙන් අනුශූරතාවයි.

මෙම සුවිශේෂි දස්කම් දැක්වූ එංගලන්ත ක්‍රිකට් සහ රග්බි ජාතික කණ්ඩායම්වල ක්‍රීඩිකාවන්ට උපහාර දැක්වීම පසුගියදා සිදුවිය. ඒ වත්මන් බ්‍රිතාන්‍ය අගමැතිනිය වන තෙරේසා මේ මහත්මිය විසින් මෙම ක්‍රීඩිකාවන්ට සුප්‍රකට ඩව්නින් වීදියේ පිහිටි අංක 10 දරන අගමැති නිල නිවසේ පැවැති විශේෂ පිළිගැනීමේ උත්සවයකට ආරාධනා කරමිනි.

60 හැවිරිදි මේ මහත්මිය 2016 වසරේ සිට බ්‍රිතාන්‍ය අගමැතිනිය ලෙස කටයුතු කරමින් සිටින්නීය. මෙම උත්සවයේදී ඇය එංගලන්ත ක්‍රීඩිකාවන්ගේ දස්කම් අගය කරමින් විශේෂ කතාවක් ද පැවැත්වූවාය.

"මෙම කණ්ඩායම්වල දක්ෂතා නිසා අපේ රටේ කාන්තා ක්‍රීඩාවන්හී විශේෂ පිබිදීමක් සිදුවූවා. ඔබලාව මෙසේ පිළිගැනීමට හැකිවීම උසස් ගෞරවයක් ලෙසට මම සළකනවා" මේ මහත්මිය එහිදී පැවසුවාය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අගමැතිනිය මෙසේද පැවසුවාය. "කාන්තා ක්‍රීඩා පිළිබඳ වෙන කවමදාකටත් වඩා මේ වන විට විශාල උනන්දුවක් ලොව පුරා ඇති වී තිබෙනවා. එහිදී තරග නරඹන්නට පැමිණෙන පිරිසත් වාර්තාගතව වැඩිවෙලා. සමාජයේ විවිධ ජන කොටස් අතර සිටින බාලිකා සහ කාන්තාවන් අතර ක්‍රීඩා පිළිබඳ තව තවත් වර්ධනය කර ගැනීමට මෙම අවස්ථාව උපයෝගි කර ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා."

එමෙන්ම මෙම එංගලන්ත ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩිකාවන් එරටේ තරුණියන්ට සහ බාලිකාවන්ට විශේෂ තානාපතිවරියන් වශයෙන් හඳුන්වා දීමට හැකි වීම ගැනත් තමන් දැඩි ලෙස ආඩම්බරයට පත්වන බවත් බ්‍රිතාන්‍ය අගමැතිවරිය තවදුරටත් පැවසුවාය.

ඉකුත් ජුනි සහ ජූලි මාසවලදී පැවැති කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තය හිමිකර ගත්තේ හෙදර් නයිට්ගේ නායකත්වය යටතේය. එහිදී ඔවුහු ලන්ඩන් නුවර සුප්‍රකට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී ඉන්දියාව ලකුණු 09 කින් පරාජය කිරීමට සමත් වූහ. එංගලන්තය ක්‍රිකට් ලෝක ශූරියන් වුයේ සිවුවන වරටය. මීට පෙර ඔවුන් 1973, 1993 සහ 2009 වසරවලදීද ලෝක ශූරතාව හිමිකර ගෙන තිබුණාහ.

මේ අතර අගෝස්තු මාසයේදී පැවැති කාන්තා රග්බි ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාව එංගලන්තයට හිමි විය. එහිදී නායකත්වය දරනු ලැබුවේ සේරා හන්ටර් විසිනි. එම අවසන් තරගයේදී නසීලන්තය විසින් ලකුණු 41 - 32 ක ජයක් ලැබීය.

එංගලන්ත රග්බි ක්‍රීඩිකාවන් මීට පෙර එනම් 1994 සහ 2014 වසරවල ලෝක ශූරියෝය. එමෙන්ම 1991, 2002, 2006 සහ 10 වසරවලදි අනුශූරියන්ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.