කාසි | සිළුමිණ

කාසි

මන්නාරම පැත්තෙ පිටිසර ගමක කනමණී කියලා පොහොසත් ආච්චි කෙනෙක් හිටියා. සල්ලියි රං රිදී බඩුයි ගොඩක් ගෙදර තිබුණා. තනියට හිටියෙ මුනුබුරෙක් විතරයි.

දවසක් රෑ නින්දට යනකොට පිළිකන්නෙ කසුකුසුවක් ඇහුණා. රෑට ගේ බිඳින්න හොරු වගයක් ඇවිත්, සල්ලියි රත්තරනුයිවලට වැඩිය ජීවිතේ වටිනවා කියල හිත හදාගෙන රත්තරනුයි සල්ලියි දාපු පෙට්ටිය මුනුබුරා අතට දීලා “ඔන්න ඔක්කොම වස්තුව මේ පෙට්ටි ඇතුළෙ. ඕන කෙනෙකුට ගන්න ළිඳට වීසි කරල වරෙන්” කියල හොරුන්ට ඇහෙන්න කිව්වා.

මුනුබුරත් පිළිකන්නෙ දොර ඇරගෙන ගිහින් “ජබුඃ” ගාල පෙට්ටිය ළිඳට දාලා ගෙට ආවා.

දෙන්නම ගැහි ගැහී ඉන්නකොට ළි‍ඳේ වතුර අදින සද්දයක් ඇහුණා. අන්තිමේ දෙන්නට ම නින්ද ගිහින් තිබුණා.

ආච්චි උදේ පාන්දර කුස්සියට ගිහින් “හොරු කාසි පෙට්ටිය විතරක් නෙමෙයි මිරිස් ගලත් අරගෙන ගිහින්” කියල ඉවසන්න බැරි තරම් දුකෙන් කිව්වා.

“බය වෙන්න එපා ආච්චියෙ, මම ළිඳට දැම්මෙ මිරිස් ගල, කාසි පෙට්ටිය දුම උඩ ඇති” කියල මුනුබුරා දුමට නැග්ගා.

දෙන්න ම ළිඳ ළඟට යනකොට ඒ පැත්තම මඩ වෙලා.

සිතුවම - සිබිල් වෙත්තසිංහ

අදහස්