වැව් තාවල්ලත් කට්ටි කර විකුණති | Page 2 | සිළුමිණ

වැව් තාවල්ලත් කට්ටි කර විකුණති

මේ ඉඩම් ඇල්ලීම නීති විරෝධියි

අප ළඟදීම නීතිය මගින් ක්‍රියා කරනවා

 පුත්තලම අතිරේක දිසාපති

විලුක වැව පිහිටා ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 606 මනල්තිව් ග්‍රාම නිලධාරි වසමේය. වසර 1500ක් පමණ පැරැණි මෙම වැව අක්කර 150ක පමණ භූමි වපසරියකින් සමන්විතය. වැව් හතක පිටාර ගලන වාන් ජලය ගබඩා කර තබා ගන්නා එකම වැව මෙම වැව බවත් ඒ නිසා මෙම වැව ජනප්‍රවාදයේ විල්ලුක ලෙස හැඳින්වී පසුකාලීනව විලුක ලෙස භාවිත කරන බවත් ගමේ පැරැණියෝ පවසති. වැව යටතේ ගොවීන් විශාල සංඛ්‍යාවක් කුඹුරු අස්වද්දන අතර ව්‍යාජ පිඹුරුපත් සකසමින් පුත්තලමේ ඇතැම් පුද්ගලයන් වැව් රක්ෂිතය අත්පත් කරගෙන ඇති බවට ප්‍රදේශවාසීහූ චෝදනා කරති.

මේ ඉපැරැණි වැව එකල රජ දවස ඉදිකරවූවක් බවට ප්‍රදේශවාසීහූ මත පළ කරති. නමුත් එහි වත්මන් තත්ත්වය මේ වන විට උඩු යටිකුරුවී ගොසිනි. පුත්තලමට බලපා ඇති දරුණු නියඟය හේතුවෙන් වැවේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැසීමත් සමඟ වැව් පිටිය පමණක් පැහැදිලිව දිස්වේ. පුත්තලමේ ප්‍රසිද්ධ හොර ඉඩම් සක්විතිලා පිරිසක් ඇතැම් දූෂිත නිලධාරීන්ගේ ද සහාය ඇතිව අදාළ වැව් පිටිය ඉතාමත් සූක්ෂමව ව්‍යාජ ඔප්පු හදා පුත්තලම ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයින්ට අත්පිට මුදලට විකුණා ඇතැයි ගම්මු පවසති. වැව් රක්ෂිත ඉඩම මිළට ගත් අදාළ ව්‍යාපාරිකයන්ඩෝසර් යන්ත්‍ර උපයෝගී කරගනිමින් ඉඩමේ සංවර්ධන කටයුතු සිදුකරන බවට ද ඔවුන් අදාළ අංශවලට පැමිණිලි කර තිබේ.

ප්‍රදේශයේ කුඹුරු අක්කර 250කට පමණ යල මහ දෙකන්නයෙහිම නොකඩවා ජලය සැපයෙන මේ වැවේ ප්‍රදේශයේ බහුතරයක් සුළු පන්න ධීවරයෝ ධීවර කටයුතුවල නිරතව සිටිති. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය මගින් නඩත්තු කරනු ලබන මෙවන් වැවකට අත්ව ඇති ඉරණම පිළිබඳ ධීවරයෝ සිය කනගාටුව පළ කරති.

මේ වන විට වැව් තාවුල්ලේ පොල් පැළ වගාකර ඉදිකිරීම්ද සිදු කර ඇත්තේ එම ඉඩම් වැව් රක්ෂිතයට අයත් භූමිය බව නොදැනදැයි ඔව්හූ ප්‍රශ්න කරති. තවද මේ අකටයුතුවලට විරෝධය පළ කරන ජනතාව බියවද්දවන මේ ඉඩම් මිළට ගත් අය වැව් රක්ෂිතයේ පිහිටා ඇති දුර්ලභ ගණයේ කලපු අන්දර, කීරියා සහ හැළබ වැනි ශාක දම්වැල් කියත් ආධාරයෙන් කපා විනාශ කර දැව කම්බි කණු සඳහා යොදා ගෙන ඇත්තේය.

සිය වැවට සිදුව ඇති ව්‍යසනය ගැන අප හා තොරතුරු හෙළි කළ විලුක ධීවර සමිතියේ සභාපති කේ.ධර්මදාස මහතා මෙසේ පැවසීය.

“ මේ වැව අපේ මුතුන් මිත්තන්ගෙ කාලෙ සිට තියෙන වැවක්. අද මේ වැවට කොහෙවත් යන අය එකතු වෙලා අයිතිවාසිකම් කියලා අත්පත්කර ගන්න හදනවා. වගකිව යුතු ඇතැම් අයත් දැක්කා නොදැක්කා වගේ ඉන්න එක අපිටත් පුදුමයි. ඒ අය කියනවා ගමේ අපි දැනගන්න ඕනෑලු මේවා නවත්වන්න. මේ ඉඩම් කිසිම එකකට ඔප්පු නැහැ. මෙව්වා සේරම හොර ඔප්පු ඒ නිසා කරුණාකාරලා මේ ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීම නවත්තලා දෙන්න කියලා අපි ප්‍රාදේශීය ලේකම්ගෙන් ඉල්ලා සිටිනවා.”

රෝහණ ලක්ෂමන් මහතා ගමේ දිගු කාලීන පදිංචිකරුවෙකි.

“අපි උගත් මිනිස්සු නෙවෙයි එදිනෙදා කුලියක් මලියක් කරලා ජීවත් වෙන අය. අපි කුඹුරක් කොටලා නැත්නම් වැවෙන් මාළුවෙක් අල්ලගෙන තමයි අපි ජීවත් වෙන්නෙ. ඒකටත් වින කටින්න මේ අය ඇවිල්ලා වැවටත් අයිතිවාසිකම් කියද්දි තව මොන කතාද? නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියලා කියද්දි මේ අවනඩුව අපි කාට කියන්නද? අපි මෙයට සම්බන්ධ නිලධාරීන්ට කියන්නේ අසරණ ජනතාව බිල්ලට දීලා රුපියල් දෙතුන් දාහකට ගමක් පවා දෙන්න එපා කියලයි.”

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගමේ පදිංචිකාරියක වන ශ්‍රියාණි මහත්මිය, මේ ගම්වල හොරා කන නඩය ඇල්ලුවේ නැත්නම් ගමේ එදිනෙදා හම්බ කරගෙන ජීවත් වෙන ජනතාව ජීවත් වෙලා හමාරයි යනුවෙන් පැවසුවාය. ගම්මුන්ගෙන් නැඟෙන චෝදනාව සම්බන්ධයෙන් අපි මේ කියන ඉඩමක් මිලදී ගත් බව පවසන ව්‍යාපාරිකයකුගෙන් ද දුරකථනය ඔස්සේ වීමසීමු.

“මම ඔය ඉඩම ගත්තෙ ඔප්පුවෙ අක්කර පහක් කියලා තියෙන නිසා. ඉස්සර මේක ලොකු කැලයක් එතකොට මම අක්කර දෙකක් විතර කපලා සුද්ධ කරලා පොල් පැළ හිටෙව්වා. නැවතත් මම සුද්ධ කළා. එතකොට ඒක ලොකු ඉඩමක් වගේ පේනවා.

මම මේකට ලක්ෂ තුනහමාරක් දීලා ඔප්පු ලියලා ගත්තෙ. ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මේ ඉඩමේ මුල්පිටපත තියෙනවා. (මව් ඔප්පුව) මේක අපිට රජයෙන් ලබා දීලා තියෙන්නේ”

නැගෙන චෝදනාව සම්බන්ධයෙන් දුරකථනය ඔස්සේ කළ විමසීමකදී පුත්තලම අතිරේක දිසාපති (වැඩබලන ප්‍රාදේශීය ලේකම්) ඩබ්ලිව්.එම්.සී.කේ. වන්නිනායක මහතා මෙසේ පැවසීය.

“මේ සම්බන්ධව මාධ්‍ය මගින් අප දැනුම්වත් කිරීමක් සිදු කළා. ඒ සමඟම මේ ගැන සොයා බලද්දී එය නීති විරෝධියි කියන එක යම්තාක් දුරට අපිට අනාවරණය වුණා. ඒ සමඟම අපි අදාළ අයට වහාම ක්‍රියාත්මක වන පරිදි වැට සීමාව ඉවත් කරන්න නියෝග කළා. මේ කටයුත්ත නිතී විරෝධි ක්‍රියාවක්. ඒ නිසා ඉදිරියට නෛතික හා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට අපි කටයුතු කරනවා.”

නැගෙන චෝදනාව සම්බන්ධයෙන් 606 මනල්තිව් වසම බාර ග්‍රාම නිලධාරි ජුනෙයිදීන් මහතාගෙන් ද අපි විමසීමක් කළෙමු.

තමා මේ ගැන ක්ෂේත්‍ර පරික්ෂාවක් සිදු කළ බවත් මෙය වැවක් තුළ සිදු කරන අනවසර ඉදිකිරීමක් බව අනාවරණය වූ බවත් ඒ සම්බන්ධයෙන් දැනටමත් ඉහළ නිලධාරින් දැනුවත් කර ඇති බැවින් ළඟඳීම අවශ්‍ය නීතිමය පියවර ගැනීමට අධිකරණයට කරුණු වාර්තා කිරීම සිදු කරන බවත් ඒ මහතා පැවසීය.

Comments