බටහිර ලෝකයෙත් කට කතා හැදෙනවාලු | Page 2 | සිළුමිණ

බටහිර ලෝකයෙත් කට කතා හැදෙනවාලු

ගැහැනු පිරිමි සබඳතාවන් පිළිබඳ විවිධ කටකතා ඕපාදූප හෝ ගැටුම් ඇති වෙන්නේ අපේ රටේ පමණක් නොවෙයි. ඇමෙරිකාව වැනි රටවල පවා පිරිමි - ගැහැනු සබඳතා පැවැත්වීම පිළිබඳව ස්ත්‍රී පුරුෂ දෙපිරිසම තවමත් විමසිලිමත් වෙන බව මෑතදී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මඟින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

ස්ත්‍රීන් හා පුරුෂයින් අතර ඇතිවන පෙම් සබඳතාවලදී හැර ‍වෙනත් හමුවීම්, සමාජීය හෝ කාර්යාලීය හමුවීම් වලදී තවමත් ඔවුන් ප්‍රවේසම් වීමට වග බලා ගන්නා බව එමඟින් හෙළිවී තිබෙනවා. පසුගිය මැයි මාසයේ එරට පුද්ගලයන් 5300 ක් සම්බන්ධ කරගෙන මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා.

තමන්ගේ සහකාරිය නොවන පිටස්තර කාන්තාවන් තනිවම හමුවීමට තවමත් එරට බොහෝ පිරිමින් පැකිලෙන බවත් පිටස්තර කාන්තාවන් සමඟ මුහුණට මුහුණ හමුවීමේ අවස්ථා හැකි තාක් මඟ හැර සිටීමට කැමති බවත් මෙහිදී බොහෝ පිරිමින් ප්‍රකාශ කර තිබෙනවා. මෙම සමීක්ෂණයට සහභාගි වූවන්ගෙන් 1/4 ක්ම පවසා ඇත්තේ විරුද්ධ ලිංගිකයන් සමඟ තනි හමුවීම් එතරම් සුදුසු නොවන බවයි. කාර්යාලීය කටයුතුවලදී එවැනි අවස්ථා උදා කර ගැනීමෙන් මිනිසුන් අමතර අවධානමක් උදා කර ගන්නා බවත් ඔවුන් පවසනවා. කාන්තාවන්ගෙන් බහුතරයක් මෙන් ම පිරිමින්ගෙන් අඩක්ම පැවැසුවේ පිටස්තර පුද්ගලයකු සමඟ රාත්‍රී කෑම හෝ බීමට යාම අනවශ්‍ය ගැටලුවකට මුල් විය හැකි බවයි.

සම තැනක් නැත

මෙවැනි හමුවීම් සඳහා කාන්තාවන්ට තවමත් පිරිමින්ට තරම් අවස්ථාවන් උදා නොවන බවද එමගින් පෙන්වා දෙන අතර ‍‍‍ගොල්ෆ් පිටියේ මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් ශාලාවේදී කාන්තාවන්ට සම තැනක් හිමි නොවන බවත් පෙන්වා දෙනවා. කාර්යාලීය ‍‍හෝ වෙනත් අවශ්‍යතාවක් සඳහා මෙවැනි හමුවීම් සිදු වුවද බොහෝ විට ඒවා කාන්තාවන්ට අවමන් කිරීමට අවි ලෙසින් යොදා ගන්නා බවද එමඟින් කියැවෙනවා. මෙය කාර්යාලීය හිංසනයේ ම කොටසක් බව බොහෝ දෙනාගේ අදහස වී තිබෙනවා. කාන්තාවන්ගේ මෙන් ම පිරිමින්ගේ ද කීර්ති නාමයට කැලලක් වන ආකාරයේ කතා පතුරුවන්නන්ට මෙය කදිම අවස්ථාවක් සපයන බවද සමීක්ෂකයන් කියනවා.

ඇමෙරිකා කාර්යාල සේවිකාවන්ට ද සිය තනතුරු උසස් වීම් හා වරප්‍රසාද ලැබීමේද යම් යම් ලිංගික අල්ලස් ලබා දීමට සිදුවන බවද එම සමීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා. රැකියාව සම්බන්ධ කටයුත්තකදී මෙලෙස ලිංගික අල්ලස් පැතීම නීතියෙන් දඬුවම් ලැබය යුතු වරදක් වන අතර ස්ත්‍රි - පුරුෂ සමාජභාවය මත සිදු කරනු ලබන හිංසනය යටතේ ඊට දඬුවම් ලබා දෙන බව එරට කම්කරු නීති පිළිබඳ විශාරදයකු වන පීටර් රේබර් පවසනවා.

ලිංගික අල්ලස්

විරුද්ධ ලිංගිකයකු සමඟ පවත්වනු ලබන කාර්යාලීය හමුවීම් සුදුසු බව ප්‍රකාශ කර ඇත්තේ සමීක්ෂණයට සහභාගි වූවන්ගෙන් තුනෙන් දෙකකටත් වඩා අඩු පිරිසක්. පශ්චාද් උපාධිධාරී කාන්තාවන්ගෙන් 16%ක් හා පිරිමින්ගෙන් 18% ක්ම පැවැසුවේ එවැනි හමුවීම් අනවශ්‍ය වන බවයි.

සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා කාන්තාවන් මෙවැනි හමුවීම් නොසුදුසු බව පවසා තිබෙනවා. රිපබ්ලිකන් පාක්ෂියෝද ගම්බද වාසීන්ද, අඩු අධ්‍යාපනයක් ලද මෙන් ම ඉවැන්ග්ලිකානු භක්තිකයන් වැනි දැඩි ආගම්ධාරීන්ද ඒ මතයෙහිම පිහිටා සි‍ටියෝය.

කාන්තාවන් හා පුරුෂයන් අතර භේදයක් නැතැයි අපට කියා දුන්නත් අවස්ථාව ලද තැන කාන්තාවන් හිරිහැරවලට ලක් වෙනවා. නොදන්නා පිරිමින් හා තනිවන බොහෝ අවස්ථාවල අපිට අපේ ආරක්ෂාව සඳහා බොහෝ කල්පනා‍කාරී වන්නට සිදු වෙනවා යැයි 34 හැවිරිදි රේවන් මිය පවසනවා. තමන්ගේ නීතිමය බැඳීම් පිළිබඳ විවිධ සංවිධාන බෙහෙවින් උනන්දු වෙනවා. ඒත් කාර්යාලීය හිංසනය නතර කිරීම සදහා කිසිවකුගේ අවධානයක් යොමු වී නැතැයි පෙනෙන්නේ යැයි ලිංගිකත්වය හා කාර්යාලය - ස්ත්‍රී පුරුෂ ලිංගික බැඳීම් යන කෘතියෙහි කර්තෘ කිම් එල්සෙසර් පවසනවා. එරට කාර්යාල ජීවිතය ස්ත්‍රී - පුරුෂ භේදය නිසා දෙකඩ වන බවද ඔහු කියනවා.

සෞඛ්‍ය සේවා විශේෂඥවරියක වන හැනා ස්ටැක්විට්ස් පවසන්නේ පිරිමි - ගැහැනු අතර එකිනෙකා හමුවීම් නොපවත්වා සිටින්නේ කෙසේදැයි ඇයට නම් සිතා ගැනීමට නොහැකි බවයි. ඇය මෙන්ම ඇගේ සැමියාට ද දිනපතා එවැනි හමුවීම්වලට සහභාගී වීමට සිදු වූවත් එය ඔවුන්ගේ පුද්ගලික දිවියට බාධාවක් නොවන බව ඇය කියනවා.

කෙසේ වුවත් වත්මන් කාර්ය බහුල ලෝකයේ මෙවැනි හමුවීම් මඟ හැර සිටීමද එතරම් පහසු කටයුත්තක් නොවෙයි. දැඩි ආගමික හා සංස්කෘතික බැඳීම්වලින් යුතු අප වැනි රටවල පමණක් නොවෙයි මේ තත්ත්වය බටහිර හා යුරෝපා රටවලටත් බලපාන පොදු කාරණාවක් වී ඇති බවයි එම සමීක්ෂණයෙන් පෙනීයන්නේ.

අන්තර්ජාලයෙනි

Comments