චෑහ්! තව දෙරියනක් තිබ්බනං | සිළුමිණ

චෑහ්! තව දෙරියනක් තිබ්බනං

 

පිනා හා උක්කුවා දෙන්නාම සවස් කරේ පන්සල් මායිමට ගෑටුවේ විටක් ඒදගන්ඩ ඕනෑ කරන අඩුම කුඩුම ටිකක් හොයා ගන්නයි.

පන්සලේ නායක හාමුදුරුවෝ හවස් කරේ මදක් සැතපෙන නිසා දෙන්න ම ටිකක් වැඩිපුර පන්සල් වත්තේ කරක් ගැහුවා.

“පිනා... පිනා... උක්කුවා... උක්කුවා”

ඔන්න ලොකු හාමුදුරුවො අවදිවෙලා. පිනයි උක්කුවයි හනිකට දුවගෙන ආවා.

“අවසර හාමුදුරුවනේ” පිනා අහපි.

“උඹල කතා පහය්යට පූට්ටු උනාම ගැරඬි ඇඳිරිය පාත් වෙලත් (හවස්වීම - ගැරඬියන්ට හවස ඇස් පෙනෙන්නේ නැත.) නිච්චි නැතුවා.

“හ්... ම්... මොකෑ ඔය මිටේ ගුලි කොරාන උක්කුවා”

“හාදුන්නේ මේ සාදික්කා පිංචක් විටක් එදන්ට”

“කහට පිටියේ නායක හාමුදුරුවෝ උපරතනගෙ ගුරු හාන්දුරුවෝ ඉන්දැදි, සාදික්කා කුට්ටි සාක්කු පහක් හයක් කඩවනවා ඔය ගහෙං. පිනා ඒ සන්දියේ ගස් බඩගාන්ට රුසියා නෙවැ.”

“එහෙමයි එහෙමයි”

“හැර ගහන්ටවත් තිබ්බා. උණ ගොබිලක් තියේනං”

“ඈ උක්කුවා අඩා කිතුලක්යැ හැර ගහන්ට” (උණ ලීයකට ලී කෑලි හෝ පොල් ලෙලි බැඳ කිතුල් ගසට නැඟීමට උණ ගහ සකස් කිරීම හැර ගැසීමයි.)

“එහෙමයි, එහෙමයි”

“පිනා කෙස් කළුව දුරුවං වෙනකං (කෙස් සුදුවීම) මේකේ ගස් බඩගෑවා. පිනයි සාදික්කා ගහයි හින්දා නෙවැ. මාඋස්සා කන්දේ නායකං කොන්න, උපරතන සාසනේ බබළවන්නේ. හීං සන්දියේ සිවුර අපෝ වෙච්චි උන්නාන්සේ දැං බලන්ට දුකේ බැරුවා. රට රාජ්‍ය හෙල්ලුං කාල බණ දෙසන උජාරුවට. කහපැං ඩිංගිත්ත (කුරුම්බා වතුර) වාගේ සීලෙත් ආරස්සා කොරාන.”

“අවසර ඩිංගිත්තක් ඔය සංගදිය කංකොටියේ ගැන්නුවානං”

“උඹටත් ඉතිං කතා පහය්යට අං කොං පාන්ට ත‍ියේ නං තිස් පැයක් මීක් නැතුව කෙළිං කටිං ඉඳියි.” (උක්කුටුකය) “එහෙමයි එහෙමයි හීං සන්දියේ දණ්ඩවාලකං අකා මකා වැටෙනවා අකුරු සාස්තරේ තුල් කුට්ටියේ පට්ටල් වෙනකොට.”

“හ්ම්... මහ ලන්දක් ඇදබාන්නේ නැතුවා. ඩිංගිත්තක් ඔය ගල් පොත්තේ හිප්පා තියා ගනිල්ලාකොයි ඇබිංදකට”

“ඕං උක්කුවා ඔය කහට පටියේ නායක හාන්දුරුවෝ මයෙත් ගුරුහාන්දුවෝ.”

“ඒ සන්දියේ වංගියක් දෙණියේ ගෙදර හත් දොහේ දානෙකට වැඩියකොට හේරත්ගේ හීං එකා මුලිච්චි වෙච්චි. චීව‍රේට සම පූට්ටු වෙන සැරීර ලස්සනෙයි. දාංගලෙයි ඇහැ වැටුණාම උන්නාන්සේට තන්නාසේ බැරුවා හීං එකා සෑසනේට පූට්ටු කොරාගන්ට.”

“ඉතිං ඉතිං අවසර” පිනා පත්තියං අල්ලනවා.

“දානේ කම්මුතු කොල්ල බණ ඩිංගිත්තක් වදාරනකොට උන්නාන්සේ මහ එවුංගෙ කැවුතු බිස්ස කිලිච්චි වෙන්ට කියාපෑවේ වරිගෙ එකෙක් සෑසනේට පූජා කොන්න කාරියේ තියෙන උජාරුව, සුරප්පට්ටුව හේරතාගේ කොල්ල සෑසනේට සම පූට්ටු වෙන්ට තිබ්බ පිං ලකුණුත් කියාපි.”

“අවසර මහ එවුං උරුට්ටු උණේ නැතුවා” උක්කුවට පුරස්නයක්

“නායක හාන්දුරුවෝ එක්ක උළිහිලිපාන්ට උඩප්පරං ගහන්ට එන්නේ නැතුවා.”

“උඹලගෙ අභිපරාවල් කෙළවන්ට බැරුවා. කොල්ලගෙ වේලා පත්කඩේ ලියවිලා තියෙන්නේ බුද්ධ චීවරේ දරන්ට. ඕකා ඔය සරංබෑය ගලවා දමල චීවරේ දරා ගන්නවා. මං මේ සහසුද්දෙම්මයි කියන්නේ. මෙහෙම කතිකාව නිමහං කොරාන පන්සලට වැඩියා. මහවට ආල්පුඩිච්චි උනේ නැතුවා... මේං තුං දොහකට පස්සේ දෙණියේ ගෙදර මහ එවුං දෙන්නා පෙනුමකුත් ඉස පිට තියාන, කොල්ලත් දොක්කාගෙන ආපි.”

“ඒක යසයි.” පිනා කියනවා.

“අම්ම අප්පගෙ සම්මෝතිය ලැබිච්චි. එකේ, නැකැත් සුද්ද බුද්ද කොරාන පද පහත්තියං කොරාන ඉබේම ආ ඊගාව පාළොස්වකට උපසේන බණ්ඩා මහණ කෙරුවා, උපතරන කියලා.”

“එහෙමයි එහෙමයි චීවරේ දාගෙන පැහිච්ච තියඹරා ගෙඩිය හේ අහට්ට මෙහෙට්ට නටා ගහනවා ඇති.” කියමින් උක්කුවා දෝතිම්ම තුනිංචිය කට ඇතුළටම රොක්කරා ගන්නවා.

“උපරතන හීං සන්දියේ හරි පෙරළි. මේක මුළුවස්සං දුවනවා, පෙල්ලනවා, දෙහෙදු කොන්නවා.”

“නායක හාන්දුරුවෝ පොලු පන්නන්නෙ නැතුවා.” උක්කුවට තවත් පුරස්සනයක්

“නායක හාන්දුරුවෝ දෙකනේ ගෝන ඇට හිරකොරාන අඟුල් වට්ටාන ඔහේ ඉන්නවා. හීං එකා සෑසනේ තියාගන්ට එපැයි.”

“එහෙමයි, එහෙමයි”

“ඔය අල්ල පනල්ලේ දෙණියේ ගෙදර මහ එවුන් දෙන්නා පාළොස්වකදා පන්සලට ආවෙ නැතෑ”

“වන්දනාමාන කොරන්ට වෙන්ටෑ”

“හ්ම්... එහෙම වෙන්ටෑ. නැතුව පන්සලට එන්නේ කොළ ගොං ‍ගහන්ටැයි, ගුටි පන්දු කෙළිංටැයි.”

“එහෙමයි, එහෙමයි සංගදිය කම්මුතු කොරන්ටකෝ” උක්කුවා පති උත්තර බඳිනවා.

“පොඩි නම අප්පගෙ අතේ පැටලීගෙන ගෙදර ගාටන්ට වෑයම. මහ එවුං යාප්පු වෙනවා නායක හාන්දුරුවෝ ඉලිප්පෙයි කියල බයට.”

නායක හාන්දුරුවෝ මේ හපටාචාරිය ඇහැවට්ටාන අහනවා. “පොඩි නම මොකෑ ඔය පය කුරුදන්නේ ගෙදර ය න්ටෑ. ම්... චීවරේට ගිහි ගේ කැප නැතුවා. අවස්ස කොමක් තියේනං කියන්ට. පිරිමහන්ට බැරුවායැ.”

“මං චීවරේ උනා තියල ගෙහුං හෙට ආපිට දාගඤ්ඤං” කියාපි.

“ම්... හ... ඒක කැප නැතුවා. බලන්ටකෝ පුර හඳ පායල, කිරි මුට්ටිය ඉහිරවා හැරියා හේ බොරදං මතුකොල්ල පන්සල මුළුවස්සං ලකේට තියෙන හැටි” නායක හාන්දුරුවෝ පිසෙණ්ඩු පානවා.

“හ්ම්... හෙනං මට අර හඳ ගෙඩිය කඩා දෙන්ට” කියාපි.

නායක හාන්දුරුවෝ පොඩි නමගෙ මේ ඉදිරෙස්ටු බහට තිබ්බීරි උණේ නැතෑ.”

“එහෙමයි... එහෙමයි...”

හනිකට මෙතෙන්ට අඩි කඩාපු පිනා “තමුන්නාන්සේ ඔය පිල් කොමුවට වෙලා බල බලා ඉන්ටකෝ. මං සුටුස් ගාල හඳ ගෙඩිය කඩා දෙඤ්ඤං. මයෙ මලයාට, ඒකා හීන් සන්දියේ ඕකෙං බෑවක්ම කඩා දුන්නා නෙවැ. ඔය සාදික්කා ගහට මුදුන් වෙනකොට මං වැඩේ කොරඤ්ඤං කියල සාදික්කා ගහේ තුම්මුදුනටම උඩි වෙච්චි.”

“අවසර ඉතිං ඉතිං” උක්කුවට තදියම

“නායක හාමුදුරුවනේ කුඩිත්තක් අත දිග මදි. දංගෙ හබඩ තියෙන ගොබිල දුන්නා නං වැඩේ කම්මුතුයි.” පිනා ගහ මුදුනේ ඉඳංකියාපි.

දෙණියේ ගෙදර හේරතා හනිකට ගොබිල ගෙනත් පිනාට දීපි. පිනා හති වට්ටාන ජාමයක් වීරිය කොන්නවා.

“නායක හාමුදුරුවනේ” චැ...හ් මේ ගොබිල තව දෙරියනක් ඉතර දිග තිබ්බනං යසට කඩා පාත් කොරාගන්නට තිබ්බා නෙවැ. චෑ...හ්... මේ ගොබිල... නොදකිං ඉතරක්. සාදික්කා ගහවත් ඩිංගිත්තක් උහ උනානං... තව දෙපෝයක් ඉතර පහු වෙනකොට නං යසට වැඩේ කොරාගත්තැකි මං බහින්ටද? එතකං මෙහෙමම ඉන්ටද?

“ඉන්තේරුවෙම්ම පොඩි නමටත් ඔහොම්ම ඉන්ට සිද්ද වෙනවා”

“බැහැපං බැහැපං. උන්නාන්සේ නිදිකිරා පාත් වෙනවා. ආවාසෙට වඩින්ටයි සූජානම”

“යසයි පිනාගේ උප්පරවැට්ටිය” කියමින් උක්කුවා දෝතිම්ම කටවහ ගත්තේ තුනිංචිය කටෙන් එළියට පනියි කියල හිතේ හැකේට.”

දැන් හේබෑවිලා හිටියට ඕං ඔහොමයි අපෙ පිංහාමි “සාසනෙයි පඬුහැලියයි දෙකම පරෙස්සං කෙරෙව්වේ” කියමින් චීවරේ ගසා බසා දාලා නැඟිට්ටේ ගොංමං අඳුරට ඉදුං හිටුං අවස්ස මෝසම ළං වූ බැවිනි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.