එයාගෙ අතේ හැමවිට ම සුදු රෝස මලක් තිබුණා | සිළුමිණ

එයාගෙ අතේ හැමවිට ම සුදු රෝස මලක් තිබුණා

රෝජා සඳපාණිගෙන් ලත් ඉක්මන්කාරී දුරකථන ඇමතුම නරේන්ද්‍රට විශ්වාස කළ නොහැකි, අදහාගත නොහැකි ඇමතුමක් විය. ඇය කියන්නේ වහා පැමිණ ඇය හමුවන ලෙසටය. තනිව ඒමට නොහැකි නම් රාජඍෂි කැටිව එන්නැයි කී තරුණිය දුරකථනය විසන්ධි කළාය.

දුව තාත්තා ගෙදර ඉන්නවද?”

ඔහු අසන විටත් ඇය දුරකථනයෙන් මැකී ගොස් අවසානය. ඇය පවසන පරිදි ඇගේ නිවෙසට තනිව නොයෑමේ නොහැකියාවක් තමාට නැතැයි සිතූ නරේන්ද්‍ර එය කියන තුරු හෝ තරුණිය දුරකථනයේ රැඳී නොසිටීම අනතුරක සේයාවක් සේ සිතන්නට විය.

මේ මොහොතේ රාජඍෂි කැටිව යෑමට උත්සාහ ගැනීම නිෂ්ඵලය. නරේන්ද්‍ර එය දනී. ඔහු මෙදින මව හා තේ කර්මාන්තශාලාවට යෑමට නියමිතව තිබිණි. සහෝදරිය තේ කර්මාන්තශාලාවට ගිය විට ගොඩනැඟිල්ලේ අස්සක් මුල්ලක් නෑර පරීක්ෂාවේ යෙදෙයි. රාජඍෂි ඇය පසු පස යා යුතුමය. නිලධාරින් කැඳවා අඩු පාඩු පෙන්වා දෙයි. හරි වැරැදි කෙසේ වුණත් රාජඍෂි මවට පක්ෂව කතා කළ යුතුමය. හිංසාකාරී ලෙස සේවකයන් ඇමතීම රාජඍෂි අනුමත නොකරන්නක් වුණත් මව හමුවේ හෘදය සාක්ෂිය සඟවා ගෙන සිටී. ආපසු පැමිණි පසු සියලු සිදුවීම් කතා බහ නරේන් මාමාට කියන්නේ චිත්ත පීඩාව සනසා ගන්නට මෙනි.

“රාජඍෂි නැතුවට කමක් නැහැ. මං පිළියන්දලට ගිහින් එනවා. අද පාර්ලිමේන්තුවට යන්න පැයක් දෙකක් පරක්කු වුණාට කමක් නැහැ. මොකක් හරි ලොකු ගැටලුවක් මේ ගෑනු ළමයට.”

නරේන් වහ වහා හැද පැලඳ ගත්තේය. ඒ වේගයෙන් ම මෝටර් රථය වෙත ගියේ ගේට්ටුව අරින්නැයි නිලන්තට නියෝගයක් දෙමිනි.

ගේට්ටුව වෙත පැමිණි නිලන්ත තම ස්වාමියා වූ නරේන්ද්‍ර මන්ත්‍රිවරයාගේ මේ කලබලකාරී ඉක්මනට හේතුව කුමක්දැයි සිතමින් දෙපියන් ගේට්ටුව දෙපසට තල්ලුකර හැරියේ වත්මන් දේශපාලන සමාජ පසුබිම මහත් සේ කලබලකාරී යැයි දොම්නස් හැඟීම් ද ඇතිවය. පක්ෂය විසින් කැඳවනු ලබන හදිසි රැස්වීමකට වුවද මන්ත්‍රිවරයා යන්නේ සුදු ඇඳුමෙනි. එසේ නම් මෙය පක්ෂ රැස්වීමක් නොවිය යුතුය. සිහින් රතු ඉරි සහිත කමිසයක්, ඊට ගැළපෙන පරිදි පාමුල රතු ඉරි සහිත සරමක් මන්ත්‍රිවරයාගේ වියපත් කඩවසම් බවට ආලෝකයක් ගෙන දී ඇත. ගේට්ටුව විවෘත කළ නිලන්ත නරේන්ද්‍ර දෙස බලා සිටියේ විමතිය පළ කරන දෙනෙතිනි.

“මොකද මනුස්සයො කවදාවත් දැකලා නැති අරුම පුදුම සතෙක් දිහා බලනවා වගේ මං දිහා බලාගෙන ඉන්නෙ?”

නරේන්ද්‍ර ඇසුවේ නොසතුටෙනි. මෙවන් අසතුටු කතා සේවක තරුණයින් දෙදෙනාට ම හුරු පුරුදුය. මොහොතක නොසතුට ක්ෂණයකින් සොම්නසක ස්වරූපයක් ගනී.

“සර් ‍රාජනී මැඩම් හරි මාධවී මැඩම් හරි ඇහුවොත් සර් කෝ? කොහෙද ගියෙ? කියලා.”

“කියනවා තොටිල්ලෙන් බිමට පැනලා, කඩුල්ලට පයින් ගහලා, කිරි බෝතලේ පොළොවෙ ගහලා පාර දිගේ දිව්වා කියලා.”

නිලන්තට නරේන්ද්‍රගේ පිළිතුරෙහි ඇති උපහාසයට හෝ හාස්‍යයට සිනාසීමට නුපුළුවන. ඔහු මන්ත්‍රිවරයා දෙස බලා සිටියේ තවත් මොනවා කියනු ඇද්දැයි සිතමිනි.

“නිලන්ත කවුරු ඇහුවත් කියනවා කොහෙ ගියාද දන්නෙ නැහැ කියලා.”

“රාජනී මැඩම් අපිට බණීවි.”

“ඉතින්? බැණුම් අහනවා. පුරුදු වෙන්න බණිනවත් නෙමේ, පුරුදු වෙන්න බැණුම් අහනවත් නෙමේනෙ.”

නිලන්ත නිහඬ විය. රාජනී මැතිනියගේ ලොකු ම දෝෂාරෝපණය මන්ත්‍රිවරයාගේ සියලු හොරවැඩ හොර ගමන් බිමන් තරුණ සේවකයින් දෙදෙනා තමාගෙන් වසන් කර ගන්නේ ඔහු දේශපාලන අගාධයකට වැටී විනාශ වනවා දකිනු රිසියෙන් බවයි.

අවිවාහක සොහොයුරා තමාට අභිමත ලෙස හැසිරවීමට සොහොයුරියන් දෙදෙනා තුළ ම දෙදෙනාට අභිමත ප්‍රාර්ථනා ඇත. නරේන්ද්‍ර පමණක් නොවේ. සියලු ඥාති මිත්‍රාදීන් මේ නිහඬ සීතල දැඩි තරගය ගැන නොදන්නවා නොවේ. න‍රේන්ද්‍රගේ මෝටර් රථය නොපෙනී ගිය පසු ගේට්ටු දෙපියන් එක් කළ නිලන්ත නි‍ෙවස දෙසට එස වූ පය ආපසු ගත්තේය.

“නිලන්ත පොඩ්ඩක් ඉන්න.”

මන්ත්‍රී කාර්යාලයේ සිට නිවෙස දෙසට වේග ගමනින් එමින් සිරිමෙවන් ලේකම්වරයා තමා අමතනු නිලන්තට ඇසිණි.

“සර් ගියාද?”

ලේකම්වරයා දුර සිට ම ප්‍රශ්න කළේය.

“ගියානෙ.”

“කොහෙද?”

“කොහෙද ඇහුවොත් තොටිල්ලනේ බිමට පැනලා, කඩුල්ලට පයින් ගහලා, කිරි බෝතලේ පොළොවෙ ගහලා පාර දිගේ දිව්වා කියලා කියන්න කිව්වා.”

“සූප්පුවත් කටේ ගහගෙන ද දිව්වෙ? විකාර නැතුව කියනවා මන්ත්‍රීතුමා කොහෙද ගියෙ?”

සිරිමෙවන් ලේකම්වරයා නිලන්තට බැණ වදින්නට විය.

“ඉතින් මං මොනවා කරන්නද ලේකම් සර්?”

“මොනවා කරන්නද? මං ඔහෙට කියලා තියෙනවානෙ මන්ත්‍රිතුමා ඔෆීස් එකට නෑවිත් කොහේ හරි යන්න ලෑස්ති වුණාත් වහාම මට කියන්න.”

“මං දන්නෙ කොහොමද සර් කොහෙ යන්න ලෑස්ති වෙනවද කියලා...”

“කාර් එකට නගින කොට තේරෙන්නෙ නැද්ද? මන්ත්‍රිතුමාට දාහක් වැඩ. අමතක වෙනවා. අපි ඉන්නෙ උදව් කරන්න.”

නිලන්ත බුම්මාගත් මුහුණින් ලේකම්වරයාට පිටුපා නිවෙස දෙසට යන්නට විය. මන්ත්‍රිවරයාගේ සමහර හිතුවක්කාර ගමන් බිමන් සේවක නිලධාරි දෙපිරිස ම අතරමං කරන්නට සමත් වෙයි. ඔහුට නම් එය විටක විනෝදයකි. සිරිමෙවන් ලේකම්වරයා සිතන්නට විය. මෙදින ඇති පක්ෂ රැස්වීමට සියලු ම පාක්ෂික මන්ත්‍රිවරුන්ගේ සහභාගීත්වය අනිවාර්ය බව පක්ෂ ලේකම්වරයා දුරකථනයෙන් පැවසුවේය. විද්යුත් තැපෑලෙන් පණිවිඩය දුන්නේය. එයින් නොනැවතුණු ඔහු උදෑසන ද සිහි කැඳවීමක් කළේය.

මේ සියල්ල දැන දැන ම නරේන්ද්‍ර මන්ත්‍රිවරයා කොහේ පැන ගියේ ද?

පවතින්නාවූ දේශපාලන සමාජය ඔහුට හිතකර නොවන බව ඔහුගේ අදහසයි. තමා කෙරෙහි විශ්වාසය තබා තමාට මනාපය දුන් ඡන්දදායකයින්ට පිටුපා ස්වාර්ථය වෙනුවෙන් පෙනී සිටීමට ද ඔහුට නුපුළුවන. මිනිස්සු ඔහුට හිතැතිය. ඔහු ද අසීමිත ලෙස මිනිසුන්ට හිතැතිය.

“මොකක් හරි වැදගත් වුවමනාවකට හදිස්සියෙ ම යන්න ඇති.”

සිරිමෙවන් ලේකම්වරයා සුපුරුදු ලෙස මන්ත්‍රිවරයා නිදොස් කිරීමේ උත්සාහයක් ගත්තේය.

** ** ** ** **

විදුලි සීනුවේ කුරුලු හඬ ගෙතුළ පුරා රාව ප්‍රතිරාව නංවන්නට විය. රෝජා සඳපාණි වහා පැමිණ දොර ඇරියාය.

“එන්න න‍රේන් මාමා.”

දොර අභියස සිටි නරේන්ද්‍ර විමසිලිමත් දෙනෙතින් තරුණිය දෙස බලමින් නිෙවස තුළට පිවිසුණේය.

“කෝ තාත්තා නැද්ද?”

එවර ඔහු වටපිට බලමින් ඇසුවේ මේ ඇරියුමේ අග මුල ගැන සිතමිනි.

“තාත්තා හදිසි ඔපරේෂන් එකකට ගියා. තාත්තා තමා මට කිව්වෙ නරේන් මාමා එක්ක මේ ගැන කතා කරන්න.”

නරේන්ද්‍ර අසුන් ගත්තේය. මේ කුමන කතා බහක ආරම්භය වුණත්, එය පියාටත් දියණියටත් දෙදෙනාට ම පොදු වී ඇත.

“රෝජා, මොනවා ගැනද මේ කතාව?”

“නරේන් මාමා අපි හොය හොයා හිටපු එක් කෙනෙක් මුණ ගැහුණ...”

තරුණිය මඳ සිනාවක් රැඳි දෙතොලින් වදන් පිට කළත් සැහැල්ලුවෙන් නොවේ.

“ප්‍රියදෝණි මහ මායා?”

ප්‍රශ්නයක් සේ නරේන්ද්‍ර මුවින් අතීතය කඩා පැන්නේ තරුණිය නොසංසුන් කරවමිනි. මේ කුමන අරුමයක්ද? ඔහු තවමත් ඇය ගැන බලාපොරොත්තුවෙනි. ඒ ප්‍රියදෝණි මහමායා නොවේ යැයි කියන්නට ඇය හිස දෙපසට සැළුවාය. නරේන්ද්‍රගේ සිතෙහි ලජ්ජාව පුපුරු ගසන්නට විය.

“නෑ දෝණි මං නිකමට ඇහුවෙ. මට හිතුණ දෝණිගෙ කලබලේ දැක්ක ම එයා වෙන්නැති කියලා.”

“නරේන් මාමා තාමත් කැමතියි එයා මුණ ගැහෙනවා නම්..?”

“ඔව්. අපේ ධර්මයේ හැටියට නිවන් දක්නා ජාති දක්වා උපනුපන් ආත්මවල.”

“ඔය තරම් හිතේ තෘෂ්ණාවක් තියාගෙන නිවන් දකින්නෙ කොහොමද? ඒ ගැන පස්සෙ කතා කරමු. දැන් අහන්නකො කවුද මුණ ගැහුණේ කියලා.”

නරේන්ද්‍ර තරුණියගේ මුහුණ බැලුවේ ප්‍රශ්නාර්ථයෙනි. ඒ ඇය නොවේ නම් කවුරුන් වුව කමක් නැත.

“ඉන්ද්‍රජිත්. යාපනේ ඉන්ද්‍රජිත්. එයා ඉන්නවා.”

එම පුවත විශ්වාස කළ නොහැකි යැයි න‍රේන්ද්‍රට දැනුණේ නැත. එය තරමක පුදුමයක් පමණි. නරේන්ද්‍ර ඇසපිය නොහෙළෙන දෙනෙතින් මොහොතක් නිහඬව සිටියේය.

“මං දන්නවා ඔයාල අන්තර්ජාලය පීර පීරා හිටියා ඉන්ද්‍රජිත් හොයන්න. හොයා ගත්තා වගේ නෙමේ හුඟක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි. කොහොමද මුණ ගැහුෙණ් කියන්න‍කො.”

රෝජා සඳපාණි චන්දිරම් මඟින් ඉන්ද්‍රජිත් සොයා ගත් සැටි සෙෙමන් පහදා දෙන්නට වූවාය. ඔහු ස්කයිප් තාක්ෂණය ඔස්සේ මනෝහාරි සහ වචනයක් දෙකක් කතාකරන විට මනෝහාරිගේ මුහ‍ුණේ වූ දුක්බර වේදනාව රුක්නාද්ට මෙන් ම තමාට ද අතිශයින් සංවේදී කරුණක් යැයි පවසන විට රෝජා වඩාත් හැඟීම්බර වූවාය. ඇගේ නිල් දෙ‍නයන කඳුළකින් පිරී ගියේ නරේන්ද්‍ර ගේ සිත ද සසල කරවමිනි.

“ඉන්ද්‍රජිත් අද උදේත් මට කතා කළා. එයා හෙට අනිද්ද ම ලංකාවට එයි. හැබැයි නරේන් මාමා එයාට නවතින්න හොඳ හොටෙල් එකකින් කාමරයක් හොයා ගන්න ඕන.”

ඉන්ද්‍රජිත්ට නැවතීමේ පහසුකම් සැලසීමේ කාර්යය නරේන්ද්‍රට බාර කරන්නාසේ තරුණිය කීවාය.

“හෝටල් කාමර ඕනෙ නැහැ. අපේ ගෙදර ඉන්න පුළුවන්.”

“එපා මාමා. ඒක කරන්න බැහැ. තියෙන චෝදනා මදිවට නරේන් මාමාට තව තව චෝදනා එයි. තාත්තා කිව්වෙත් හෝටලයක කාමරයක් වෙන් කර ගමු කියලා. ඉන්ද්‍රජිත් කැමතිත් නෑ ගෙදරක නවතින්න.”

“එන දවස හරියට ම දැනගෙන කියන්න. මං ඒක කරන්නම්.”

“හැබැයි ටිකක් දුර පළාතකින්. ගස් කොළං තියෙන පිරිසුදු වතුර පහසුකම් තියෙන සද්ද බද්ද අඩු. එයාර්පෝට් එකේ ඉඳන් කෙළින් ම හෝටලේට.”

“මේ ඔයාගෙ යෝජනාද? නැත්නම් ඉන්ද්‍රජිත්ගෙ යෝජනා ද?”

රෝජා සඳපාණි නරේන්ද්‍රට පිළිතුරු දුන්නේ නැත. මේ ඉන්ද්‍රජිත්ගේ ඉල්ලීම් සහ යෝජනා ය. තමාගේ පැමිණීම කිසිවෙකුට නොපවසන්න යයි ඔහු කළ ඉල්ලීමට පමණක් රෝජා එකඟ නොවූවාය. ඔහු එන්නේ මනෝහාරි හමුවීමටය. මනෝහාරි පිහිටක් පැතිය යුත්තේ නරේන් මාමාගෙන් පමණකැයි රෝජා සඳපාණි විශ්වාස කරන්නීය. ඔහුටත් රවිහාරිටත් එය රහසක්ව තිබෙනු දැක්මට තරුණිය සිත සතුටක් නැත. රවිහාරිගෙන් රහස රහල්ට ගියද නරේන් මාමාගෙන් රාජඍෂිට ගියද ගැටලු මතු නොවනු ඇත.

“ඉන්ද්‍රජිත් මොකද කියන්නේ?”

මඳ වේලාවක් නිහඬව සිටි නරේන්ද්‍ර ඇසුවේ කල්පනාබර හඬකිනි.

“වැඩිය කතා කරන එක්කෙනෙක් නෙමේ. වචනයයි දෙකයි. ඒ හැමවෙලේ ම සුදු රෝස මලක් අතේ තිබුණා. සමහරවිට එයා ම‍නෝට කතා කරනවා ඇති.”

“ඔයා නම් රෝජා මන්තරකාරියක්. මනෝහාරිට මුණගැහුණු හොඳ ම යාළුවෙක්. කොහොම හරි පොඩි කොල්ලව හොයා ගත්තා.”

“එයා පොඩි නැහැ දැන්. බොහොම ප්‍රිය මනාප සුන්දර මනුෂ්‍යයෙක්. මාත් එක්ක දවස් තුනක් කතා කළා. ඒ දවස් තුනේ ම කළු කණ්ණාඩියක් දාලා හිටියා. හැඩයි එයා හුඟක් හොඳ කෙනෙක් වගේ. මට මනෝ අක්කා ගැන දුකයි.”

“ඇයි දුක් ‍වෙන්නෙ?”

“ඒ ගැන මට කියන්න තේරෙන්නෙ නැහැ.”

“ඔයා වගේ මායාකාර යාළුවෙක් මට නැහැනෙ. එහෙම හිටියා නම්...”

නරේන්ද්‍ර එපමණකින් නිහඬව හුනස්නෙන් නැඟී සිටියේය.

“නරේන් මාමා මං ඔයාගෙ හොඳම යාළුවෙක් නෙමේද?”

“අපොයි නෑ. ඔයත් මායාකාරියක්. මට අද පක්ෂ රැස්වීමක් තියෙනවා. මං යනවා.”

“නරේන් මාමා දෝෂාරෝපණය කරන විදිහට මට දුක හිතෙනවා.”

නරේන්ද්‍ර කිසිවක් කීවේ නැත. ඔහු සෙමින් දොර එළිපත්ත පසු කළේ තමා පසු පසින් තරුණිය එන බව නොදන්නා අයුරෙනි.

ඉන්ද්‍රජිත්ගේ පුනරාගමනය යහළු යෙහෙළියන් අමන්දානන්දයට පත් කරන්නක් විය හැක. ජීවතුන් අතර නැතැයි නොව ඇතැයි විශ්වාස නොකළ කුඩා යහළුවෙකු මහා මිනිසකු වී කුඩා කල සිටි මිතුරන් දකින්නට ඒමේ සූදානමිනි. ඔවුන්ගේ මිතුරු දම යාපනේ විදුලි පහන් කණ‍ුවේ ගැසූ කොන්ක්‍රිට් ඇණයටත් වඩා ශක්තිමත්ව අතීතයෙන් වර්තමානයට පැමිණ ඇත. දුක පිරුණු අතීත බැඳීම්වල සිහින මතකයන්ට වර්තමානයේදී මෙසේ ජීවිතය ලැබීම සතුටක් නොවේ යයි කෙසේ කියන්නද? 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.