වාහන ගාල් කරන මුදල් යන්නේ කාටද? | සිළුමිණ

වාහන ගාල් කරන මුදල් යන්නේ කාටද?

 අපේ රටේ ආර්ථිකය හසුරවාලන පුදුමාකාර සැඟවුණු සාධකද එමට තිබෙන බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. අධික වාහන තදබදය නිසා වසරකට අහිමි වන ආදායම එකතු කළහොත් එයින් ග්‍රාමීය රෝහල් 60ක් පමණ ස්ථාපිත කළ හැකි බව පර්යේෂණයන්ගෙන් හෙළිව තිබේ. මේ අපේ රටේ අපතේ යන ආර්ථික දායකත්වයෙන් කොටසක් ලෙස පෙන්වා දිය හැකිය.

මේ වන විට විශ්වවිද්‍යාල සිසුන් විසින් සිදු කරනු ලබන පර්යේෂණයකින් හෙළිව ඇති කරුණක් වන්නේ අපේ රටේ මහා මාර්ග අයිනේ නවතා තිබෙන වාහනවලින් අය කර ගනු ලබන මුදලින් මසකට අපේ ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා අතිවිශාල දායකත්වයක් ලබා ගත හැකි වන බවයි. විශේෂයෙන්ම කොළඹ මහ නගර සභාව සහ මහනුවර මහ නගර සභාව කේන්ද්‍ර කර ගනිමින් මේ ආදායම සැලසුම් කර ගතහොත් එයින් ලැබෙන්නා වූ ආදායම හරහා මෙරට අසරණ ජනතාව වෙනුවෙන් රෝහල් ස්ථාපිත කිරීම හෝ ඔවුන් වෙනුවෙන් වෙනත් උපරිම සහන සැලසීමක් සිදු කළ හැකි වේ.

එහෙත් මේ වන විට අපේ රටේ සිදු වන්නේ මේ අතිවිශාල ආදායම නිසි පරිදි නියාමනය නොවීමත් එම නිසා රජයට ලැබිය යුතු ආදායම අහිමි වීමත් ලැබෙන ආදායමද වැඩි වශයෙන් බාහිර පාර්ශ්වයන් අතට පත් වීමත්ය. මේ සිදුවීම සැබැවින්ම කනගාටුදායකය.

ග්‍රාමීය රෝහල් 60ක්

සාමාන්‍යයෙන් යම් ආයතනයකට ආදායමක් හිමි වන්නේ ඔවුන් විසින් සපයනු ලබන සේවාවන් නිසාය. එහෙත් අපේ රටේ වාහන ගාල් කිරීම්වලින් නගර සභා විසින් ආදායම් උපදවා ගනු ගබන්නේ කිසිදු සේවාවක් නොසපයමින් වීම මෙහි ඇති විශේෂත්වයයි. මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් මාර්ගය සාදනු ලබන අතර එහි නඩත්තු කටයුතු සියල්ලද මාර්ග සංවර්ධන අධිකාරියෙන් සිදු කරනු ලැබේ.

එම මාර්ග අභියස නවත්වනු ලබන වාහනවලින් මුදල් අය කර ගැනීම පමණක් නගර සභා විසින් සිදු කරනු ලැබේ. වාහන සඳහා සලසනු ලබන කිසිදු අමතර සේවාවක් නොමැත. පොදුවේ නගර සභා විසින් හෝ මහ නගර සභා විසින් සිදු කරනු ලබන මහා මාර්ගයේ කුණු ඉවත් කිරීම, මාර්ගයේ විදුලි ආලෝකය සැපයීම වැනි පහසුකම් පමණක් අදාළ මහ නගර සභා විසින් සිදු කරනු ලැබේ.

එසේ සිදු කළද මේ මහ නගර සභා විසින් මේ වන විටත් දෛනිකව මාසිකව හෝ වාර්ෂිකව තම නගර සභාවලට ලැබිය යුතු ආදායම හෝ අහිමි වන ආදායම පිළිබඳව කිසිදු ආකාරයක ගණනය කිරීමක් සිදු කර නොමැත.

මේ තත්ත්වය මැනවින් විග්‍රහ කර බැලුවහොත් අපට පැහැදිලිව පෙනී යන්නේ කොළඹ නගරයෙන් පමණක් දිනකට වාහනවලින් රුපියල් කෝටියකට අධික මුදලක් ලබා ගත හැකි බවයි. ඒ සියලු මුදල් ශුද්ධ ලාභයන් වේ. කිසිදු ආකාරයක ක්ෂය වීමක් නැත. ටිකට් පත කඩා දී මුදල් ලබා ගන්නවා හැරෙන්නට සපයනු ලබන සේවාවක් නොමැත.

ඇතැම් ස්ථානවලදී මෝටර් රථයක් පැමිණි විගස නැවතුම් බිල්පතක් ලබා දීමට කටයුතු කරන බවද පෙනෙන්නට ඇත. සාමාන්‍යෙයන් මෝටර් රථයක් රියැදුරු සහිතව වාහනයක් විනාඩි 10කට අඩු කාලයක් නවතා තැබුවහොත් එය වාහන ගාල් කිරීමක් ලෙස නොසලකනු ලබන අතර පොලිස් රථ වාහන නිලධාරීන් පවා වාහනයක් නවතා තැබූ විට එහි රියැදුරු සිටීනම් මාර්ගය අවහිර වන්නේ නම් පමණක් ඉවත් කර ගැනීමට දැනුම් දීම පමණක් සිදු කරනු ලැබේ.

එසේ වුවත් මේ වන විට කොළඹ නගර සභාව විසින් බොහෝ වාහන නැවතුම් ස්ථාන පෞද්ගලික සමාගම් වෙත බදු දී ඇත. ඒ බදු ගත් සමාගම් විසින් සේවයේ යොදවා ඇති ඇතැම් රථවාහන හසුරුවන්නන් විසින් වාහන ගාල් කරන රියැදුරන් මංකොල්ල කන තත්ත්වයක්ද පෙනෙන්නට තිබේ. පැය දෙකකට විනාඩියක් දෙකක් පසුවුවත් තවත් ගාණක් කපා ගැනීමට මාන බලති. මේ වාහන ගාල් කරනු ලබන ස්ථානයක අවම වශයෙන් දිනකට මෝටර් වාහන 300ත් 500ත් අතර අතර සංඛ්‍යාවක් ගාල් කරනු ලබන බව මේ වන විට හෙළිදරව් වෙමින් පවතීත රුපියල් 30.00ක් බැගින් අවම වශයෙන් එක් වාහනයකින් අය කළහොත් එක් ස්ථානයකින් අවම වශයෙන් රුපියල් 10000ක් ඉක්මවා ආදායමක් ලබා ගත හැකිය.

මේ අනුව බැලූ විට නගර සභාව විසින් වාහන ගාල් වශයෙන් අනුමත කර ඇති ස්ථානවලින් අවම වශයෙන් දිනකට රුපියල් ලක්ෂ 30ක් පමණ ආදායමක් උපයා ගත හැකිය. එහෙත් ඒ ආසන්න මුදලක්වත් හිමිවනවාදැයි සිතන්නටනත් අපහසුය. ඒ අනුව මසකට රුපියල් ලක්ෂ 600ක ආදායමක් මේ අනුව වාහන ගාල් කිරීම හරහා උපයා ගත හැකිය. එය සිහිනයක් යැයි කියන්නට ඇතැම් නිලධාරීන් මෙය දුටු විගස පෙළඹෙනු නොඅනුමානය. එහෙත් විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේෂණය මේ වන විට අවසන් කර ඇත. එම විශ්ලේෂිත පර්යේෂණය අනුව මේ දත්තයන් සියල්ල නිවැරැදි බව ඉදිරියේදී ගම්‍ය වනු ඇත.

රථගාල් බදු

නමුත් සිදුව ඇත්තේ කිසිදු ආකාරයක විධිමත් ආකාරයකින් රථගාල් බදු දී නොතිබීමයි. බදු දී ඇති මුදල මෙන් දෙතුන් ගුණයක් ඇතැම් විට මේ රථ වාහන ගාල් කිරීමෙන් උපයා ගැන්මට අදාළ සමාගම්වලට උපයා ගැනීමට හැකියාව ලැබෙන නමුත් ඒ උපයා ගනු ලබන සියලු මුදල්ද සමාගම්වලට ලැබෙන්නේදැයි සැක සහිතය. ඒ කිසිදු ආකාරයක නියාමනයක් සිදු නොවන නිසාය. ඒ අනුව පෙනී යන්නේ රජයට එසේත් නැත්නම් මහ නගර සභාවලට හිමි විය යුතු අතිවිශාල ආදායමක් අහිමිව යන බවයි. වාහනයක් පැමිණි විගස බහුතරයක් ස්ථානවලදි ටිකට් පතක් කැඩීමට පුරුදුව සිටිති. නගර සභාවේ රථ පාලිකාවන් නම් වාහනය නවත්වා තබා ගමනාරම්භ කරන මොහොතේ ඒ සඳහා ටිකට් පත් ලබා දුන්නත් පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් යොදා ඇති ස්ථානවල තත්ත්වය මීට ඉඳුරාම වෙනස්ය. අත්‍යවශ්‍ය දුරකථන ඇමතුමක් පැමිණ තම රථය තත්ත්පර ගණනකට මාර්ගයෙන් ඉවත් කර නැවැත්වුවහොත් එතැන්ට පැමිණෙන රථ වාහන පාලකයා අනිවාර්යෙන්ම ඒ සඳහා ටිකට් පතක් ලබා දිමට කටයුතු කරනු ඇත. එසේම හදිසියේ වාහනයේ යම් ආබාධයක් ඇති බවට සැකයක් ඇතිව හෝ ටයර්වල හුළං ඇත්දැයි පරීක්ෂාවට තත්ත්පර ගණනක් නැවත්වුවද ඒ සඳහා අනිවාර්යෙන්ම ටිකට්පත් ලබා දීමට බොහෝ අය කටයුතු කරන බවටද මේ වන විට තොරතුරු හෙළිව ඇත. එවන් අවස්ථාවලදි ටිකට් පත ලබා නොගෙන මුදල් ගෙවා යාමට බොහෝ රථ හිමියන් පුරුදුව සිටිති. මේ නිසා ආදායම නිසි පරිදි හිමි නොවේ.

බොහෝ විට ගාල් කරනු ලබන මෝටර් රථවල තත්ත්වය මෙස්යමය. තමන් විසින් වාහනය ගාල් කළද ඒ සඳහා මුදල් ලබා දුන්නද රිසිට් පතක් ලබා නොගෙන යන තත්ත්වයක් බොහෝ මෝටර් රථ හිමියන් තුළින් දක්නට ඇත. එසේම ඇතැම් වාහන හිමියන් මුදල් ගෙවා රිසිට් පත ලබා ගත්තද එය විසි කර දමා යනු දක්නට ලැබේ. එම රිසිට්පත් නැවතත් එකතු කරගෙන යළිත් වාහන හිමියන්ට ලබා දෙන දක්නට ලැබේ. මේ තත්ත්වයන් බොහෝ විටම දක්නට ලැබෙන්නේ පෞද්ගලික අංශය විසින් වාහන ගාල් පවත්වාගෙන යන ස්ථානවල බවච පෙනේ.

මේ ලිපිය කියවන පාඨකයන්ගෙන් යමක් ඇසිය යුතුව ඇත. අප දුම්රිය ප්‍රවේශ පත්‍ර මෙන්ම බස් රථ ප්‍රවේශ පත්‍රද බිම දමා ගොස් ඇති අයුරු දක්නට තිබේ. එහෙත් එකදු දිනක හෝ වාහන ‘පාකින්‘ කරන ලද රිසිට්පතක් බිම තිබෙනු ඔබ දැක තිබේද? එසේ නම් රියැදුරන් විසින් විසි කරනු ලබන ඒ ටිකට් පත්වලට වන්නේ කුමක්ද? යන්න ගැන සිතා බැලිය යුතුය. මුදල් නොගෙවා කීයක් හෝ අත මිට මොලවා රිසිට්පත් නොගෙන යාමට බොහෝ යතුරුපැදි කරුවන් පෙළඹී සිටිති. ගාලු මුවදොර අසල රථවාහන ගාලේදි මහ රාත්‍රියේදීත් ටිකට්පත් රියැදුරන්ට ලබා දෙනු පෙනේ. ආදායම ලබා ගැනීමට කටයුතු කිරීම වැදගත් වන නමුත් මේ කාර්යය විධිමත්ව ආදායම රජයට (මහනගර සභාවලට ) සේවයක් සැලසීම පිණිස ලබා ගැන්මට හැකියාවක් ඇත්නම් වැදගත් වන්නේ එයයි. එය කඩිනමින් කළ යුතු නිවැරැදි තීරණයකි. එහෙත් මෙහිදී සිදුවන්නේ එය නෙවේ. වාහන හිමියා සූරාගෙන කෑමට කටයුතු කිරීමයි.

මේ වන විට ජපන් ජයිකා ආයතනය විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ. වසරකට කොළඹ නගරයේ ගාල් කරනු ලබන වාහන සංඛ්‍යාව 60%කින් පමණ ඉහළ යන බවයි. ඇතැම් ස්ථානවල බස් රථ පවා මාසිකව ගාල් කිරීමට අවසර දී ඇතත් එවන් සියලු ස්ථානවල එවන් ගාල් කිරීමක් සිදු කළ නොහැකිය. හොඳම උදාහරණයක් වන්නේ ඩී.ආර්. විජයවර්ධන මාවතේ ලේක්හවුස් ආයතනය අසල තිබෙන රථගාලේද මේ අයුරින් මසකට රුපියල් 1000ක් ගෙවා බස් ගාල් කළ හැකි බව දක්වා තිබුණත් එවන් හැකියාවක් නැත. ලේක්හවුස් ආයතනය අසල ඇති වාහන ගාලේ හදිසියකට බස් රථයක් දෙකක් ගාල් කරනවා හැරෙන්නට මාසිකව බස් රථ ගාල් කළ හැකි ස්ථානයක් නොවේ.

ඒ අනුව අපට පෙනී යන්නේ වාහන ගාල් කිරීම සඳහා යොදවන්නේ එකම බෝඩ් ලෑලි වන බවකි. කෝකටත් තෛලය සියලු තැන්වලට නොගැලපෙන බව මේ අය නොදන්නේදැයි මතුවන ප්‍රශ්නයකි. කොළඹ නොරිස් කැනල් මාර්ගය අවහිර වන සේ රථ ගාලක් ස්ථාපිත කර ඇත. එහි පැයකට වරක් රාජ්‍ය හෝ පෞද්ගලික වාහන වලින් මුදල් අය කරනු ලබන බව සඳහන් දැනුම් දීම් සඳහන් දැන්වීම පවා ස්ථාපිත කර ඇත. මේ සියලු ආදායම් නිසි පරිදි ලැබෙන්නේදැයි සොයා බලන්නට කෙනෙක් නැත.

බදු ආදායම

බදු ආදායමක් හෝ වෙනත් සේවා ආදායමක් හෝ ලබා ගත යුත්තේ මී මැස්සා මල නොතලා රොන් ගන්නා සේය. නමුත් මේ ආදායම ලබා ගැනීම සිදු කෙරෙන්නේ ඇතැමි විට වාහන හිමිකරුවන්ට යකා ආවේස කරමිනි. මහ රාත්‍රියේ මෙන්ම තත්ත්පර ගණනකට හදිසියේ නවත්වන වාහනවලින් මුදල් අය කිරීම කෙසේ සාධාරණදැයි ද ඇසීමට සිදුව ඇත.

චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතේ ලේක්හවුස් රීගල් සිනමා හල අසලින් දිගින් ඇති මීටර් 250ක් පමණ වන මාර්ගයේ පවා වාහන ගාල් කිරීමේ ටිකට්පත් ලබා දුන්නත් ඇතැම් විට මීට වඩා ආචායම් ලබා ගත හැකි ස්ථානවල ටිකට් පත් ලබා ද.ිමට අයෙක් නැත. විශේෂයෙන්ම සුපිරි පාසල් අසල පැය ගණන් නවත්වාගෙන සිටින සුපිරි රථවලට කිසිදු අය කිරීමකින් තොරව සිටීමට හැකියාවක් ඇත. ඒ තත්ත්වය උදා වී ඇත්තේ නගර සභාව ඒ අයට ඇති බිය නිසාද නැත්නම් තම තමන්ගේ වාහනත් එම ස්ථානවල ගාල් කිරීමට අවශ්‍ය නිසාද යන ගැටලුව මේ නිලාධාරීන්ගෙන් විමසිය යුතුමය.

මෙය නොපෙනන රෝගයකි. ළගදීම මේ රෝගය තවත් උත්සන්න වනු ඇත. එහෙත් අපේ රටේ හැම දෙයකටම බෙහෙත් සොයන්නේ ලෙඩේ හොදටම උක්සන්න වූ විටය.

තාරක වික්‍රමසේකර

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.