ළමා නවකතාවලදී අනිවාර්යයෙන් ම වාරණ කරන්න සිදු වෙනවා | Page 2 | සිළුමිණ

ළමා නවකතාවලදී අනිවාර්යයෙන් ම වාරණ කරන්න සිදු වෙනවා

කවියකු, කෙටිකතාකරුවකු, පුවත්පත් කලාවේදියකු, යොවුන් නවකතාකරුවකු, මෙන් ම ළමා කෘති පරිවර්තකයකු ද වූ සුදර්මන් සතරසිංහයන් සාහිත්‍යයට කළ සේවය අගයනු වස් සිළුමිණ සත්මඬල වෙනුවෙන් අපි ඔහු වෙත සාහිත සංලාපයකට ඇරියුම් කළෙමු. ඔහු රෝගාතුර ව සිටි බැවින් දින කිහිපයකට මේ සංලාපය කල් දැමීමට අප තීරණය කළ නමුත් ඔහු නැවත අප හා කතා කර ස්වකැමැත්තෙන් ම අප හා සාකච්ඡාවට අවතීර්ණ විය.ඒ අනුව ඉකුත් අගෝස්තු තිස් එක් වැනිදා සුදර්මන් සතරසිංහයන් අපහසුවෙන් නමුත් අප හා විනාඩි තිහකුත් තත්පර හතළිහක් සංලාපයේ යෙදුණි. එහෙත් ඒ සංලාපය අකුරු බවට පෙරළීමටත් පෙර එනම් සැප්තැම්බර් දෙවැනිදා ඔහු සිය සාහිත පෙළහර අවසන් කර ජීවන ගමනින් සමු ගත් බව අසන්නට ලැබුණි. මෙවර සාහිත්‍ය මාසය වෙනුවෙන් කෘති කීපයක් ද පළ කරමින් සිය සාහිත සේවාව හමාර කිරීමට මෙන් ම තමා වඩාත් ඇලුම් කළ ළමා පරිවර්තන කෘති පිළිබඳ ව සිය අවසන් පුවත්පත් සාකච්ඡාව ලබාදීමට ඔහුට හැකිවීම දෛවෝපගත සිදුවීමක් බඳු ය. මෙහි පළවන්නේ සුදර්මන් සතරසිංහයන් සමුගැන්මට දින දෙකකට පෙර ලබා දුන් ඒ් සංලාපය හා සමු ගැන්මට පෙරදින අප වෙත එවන ලද ඡායරූපයි.

• කවියකු ලෙස සාහිත්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වන ඔබ ළමා කෘති පරිවර්තකයකු දක්වා පැමිණි ගමන් මඟ සැකෙවින් සිහි කළොත්?

මා මුලින් ම සාහිත්‍යයට ප්‍රවිෂ්ට වන්නේ කවියකු ලෙසයි. ප්‍රේමයේ නිවාඩුව නමින් මා ලියූ කවි පොත මෙවර සාහිත්‍ය මාසය වෙනුවෙන් දෙවැනි මුද්‍රණයක් ලෙස පළ වෙනවා. කවිය සමඟ මා පුවත්පත් කලාවේදියකු ලෙස පුවත්පත්වල කටයුතු කරන අතර නවකතාකරණයට ද පිවිසුණා. ‘සිහිනයක් නිමා විය‘ කියන මගේ මුල් ම නවකතාව පළවෙන්නේ තරුණි පුවත්පතේ . ඒ 1987 දී; එහි කොටස් හැත්තෑවක් පමණ පළ වුණා. නවකතාකරණයෙන් පසු මා කෙටිකතා ලිවීමට පටන්ගත්තා. ඒ යුගයේ ජනප්‍රිය පුවත්පත් ගණනාවක මගේ කෙටිකතා පළ වුණා. ‘ඉරිදා මධුසාදයේදී‘ නමින් මා කෙටිකතා එකතුවත් ද පළ කර තිබෙනවා. ඒ වගේ ම යොවුන් පුවත්පත්වලට නවකතා තිහක් පමණ රචනා කර තිබෙනවා. තරුණි පුවත්පතේ ‘පහන් කණුව යට‘ වැනි විශේෂාංග ගණනාවක් රචනා කළා. මේ අතර අධ්‍යාපන පුවත්පතක සේවයට යෑමට මට හැකි වෙනවා. එහිදී මා අධ්‍යාපන කෘති පළ කිරීමටයි වැඩි නැඹුරුවක් දක්වන්නේ. ඒ අතරතුර ළමා කෘති රචනයටත්, යොවුන් නවකතා හා ළමා කෘති පරිවර්තනය කිරීමටත් මට අවස්ථාව උදා වෙනවා.

• ඔබ වැඩි වශයෙන් ළමා කෘති පරිවර්තනයට නැඹුරුවක් දක්වන පරිවර්තකයෙක්. ශ්‍රී ලාංකේය ළමා පරපුර උදෙසා පරිවර්තනය කිරීමට විදේශීය කෘතියක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වන කාරණා මොනවාද?

මේ කෘති කියවන්නේ වයස අවුරුදු දහය, දහඅට වයස් කාණ්ඩවල ළමයි. ඒ අයගේ ලෝකය අපි අවබෝධ කරගත යුතු වෙනවා. ළමා මනස දූෂණය වන ආකාරයේ සිදුවීම් අන්තර්ගතවන කතා ඒ අයට සුදුසු නැහැ. එක් කතාවක තිබුණා දරුවෙක් අම්ම කෙනෙක් මරා දමන සිදුවීමක්. ඒක කොහෙත් ම අපේ ළමා පරපුරට ගැළපෙන්නේ නැහැ. ඒ වගේ ම අසභ්‍ය දේ දරුවන්ට දෙන්න හොඳ නෑ. එහෙම කියලා ළමයා සදාචාරවත් කිරීම සඳහා ම ඊට බර ව කෘති ලියන්න කියලා මා සිතන්නේත් නෑ. ඒ ක්‍රමය සාර්ථක වෙන්නේත් නෑ. ඒ නිසා නිතර ම දරුවාට අලුත් විදියේ කතාවක් හා අලුත් අත්දැකීමක් එක් කරන්නයි මා උත්සාහ දරන්නේ. දරුවාට මගේ ලේඛනයෙන් හානියක් නොවෙන්න මා වගබලා ගන්නවා. මටත් ලොකු ළමයි ඉන්නවා. මගේ කෘති මුලින් ම කියවන්නේ ගෙදර ඉන්න මගේ ළමයි. මා නරක දෙයක් ලිව්වොත් ඒකෙ මුල් ම බලපෑම එන්නේ මට ම යි. ඒ නිසා ළමා ලෝකයට කෘති ලියනවිට මුලින් ම ළමා ලෝකය තේරුම් ගන්න වෙනවා. ඒ නිසා තමන් ම තමන්ට වාරණයක් කරගන්න වන අවස්ථා ඕන තරම් තියනවා.

• අපේ දරු පරපුර හා වෙනත් රටක දරුවන්ගේ හැසිරීම් හා සංස්කෘතීන් අතර විශාල වෙනස්කම් දක්නට ලැබෙනවා. වෙනත් රටක සාමාන්‍යකරණය වූ සංසිද්ධියක් අපට විශේෂ කාරණයක් විය හැකියි. විදේශ කෘති අපේ දරුවන් වෙත පරිවර්තනය කිරීමේදී ඒ පිළිබඳවත් වාරණයක් කරගත යුතුද?

අපි උදාහරණයක් විදියට දුම් පානය කරන සිද්ධියක් ගත්තොත්, ඇත්තෙන් ම ඒක නවකතාවට අත්‍යවශ්‍ය ම කාරණයක්ද කියලා බලන්න වෙනවා. ඔබ පවසන ආකාරයට එය ඇත්තෙන් ම ඒ අයගේ සංස්කෘතිය පෙන්වීම උදෙසා භාවිත කර තිබෙන්නක් නම් ඇයි අපි ඒක අපේ පරිවර්තනයට ඈඳා ගන්නේ? ඒ දේවල්වලින් දරුවාට ලැබෙන දෙයක් නෑ. ඒ සංස්කෘතිය පිළිබඳ ව දරුවාට අවබෝධයක් දෙන්න කියලා අපි දරුවාට වැරදි දේ සාමාන්‍යකරණය කරන්න හොඳ නෑ. සාමාන්‍ය නවකතාවකදී වගේ නෙවෙයි ළමා නවකතාවලදී අනිවාර්යයෙන් ම එවැනි වාරණයන් කරන්න වෙනවා. ඒ වගේ ම යුද්ධය වැනි ප්‍රචණ්ඩත්වය අපේ දරු පරපුරට හුරු කරන්න හොඳ නෑ. එවැනි දේත් මා අතින් වාරණය වෙනවා.

• ළමයා නිතර ම කාල්පනික ලෝකයක රසය සොයන නිසා ඇතැම් විට සාහිත්‍යයේදී පරිසර වර්ණනා ආදියට නිර්මාණකරුවන් යොමු වෙනවා. පරිවර්තනයකදී විදෙස් රටක පරිසරය අපේ ළමා පරපුරට චිත්තරූප දනවන ලෙස ප්‍රති නිර්මාණය කිරීම අසීරු කටයුත්තක් නොවේද?

සාමාන්‍යයෙන් මා පරිවර්තනය කරන කෘතිවල වැඩි අවධානය යොමු වන්නේ පරිසර වර්ණනාවන්ට වඩා කුතුහලය පිරි සිදිධි නිරූපණයටයි. ඒ නිසා මා ඒ තරම් පරිසර වර්ණනා ආදියට යොමු වන්නේ නෑ. ඒ ඒ සිද්ධි නිරූපණයේදී අදාළ පරිසරය පිළිබඳ ව අවබෝධයක් අවශ්‍ය පමණට විස්තර වෙනවා හැරෙන්න දීර්ඝ පරිසර වර්ණනාවන් එවැනි කතාවලදී අවශ්‍ය වෙන්නේ නෑ. එහෙත් ඇතැම් අවස්ථාවලදී පරිසරය සජීවීකරණය කර පෙන්වීම ඒ සිද්ධි නිරූපණයට අවශ්‍ය වන අවස්ථාවලදී ඒ ඒ පරිසරයන් අවස්ථාවෝචිතව වර්ණනා කරනවා. එහිදී අපේ සංස්කෘතික පරිසරය තුළ සිටින දරුවකුට තේරෙන හා අවබෝධ කරගත හැකි ආකාරයෙන් ඒ පරිසරය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කිරීමට වගබලා ගන්නවා.එසේ නොමැතිව කතාවේ හරයට සෘජු ව සම්බන්ධ නොවන දීර්ඝ වර්ණනාවන් මගේ පරිවර්තන තුළ දකින්න නැහැ.

• විදේශ සාහිත්‍යයන්ට සාපේක්ෂව ශ්‍රී ලාංකේය සාහිත්‍යය තුළ ළමා සාහිත්‍යයේ එතරම් ප්‍රබෝධයක් දක්නට නෑ. රටක් විදියට එවැනි අර්බුදයක ළමා සාහිත්‍යය තිබෙනවා යැයි ඔබ සිතනවාද?

ශ්‍රී ලංකාවේ ළමයින්ට හොඳ සාහිත්‍යයක් බිහි වෙන්නේ ඉතා අවම මට්ටමින්. ටී.බී.ඉලංගරත්න මහතාගෙන්, මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් පස්සේ හොඳ ළමා කෘති බිහි වුණේ කලාතුරකින්. උදාහරණයක් විදියට ‘වීදිය බණ්ඩාර‘ වැනි කෘතියක් කියැවීමෙන් දරුවකුට මොන තරම් දැනුමක් ලැබෙනවාද?දැන් එවැනි පොත් බිහි වෙන්නේ කලාතුරකින්.

ඒ වගේ ම තමයි ශ්‍රී ලංකාවේ ලේඛකයකුට පොත් ලියලා ලැබෙන මුදලින් ජීවත් වෙන්න බෑ. ඒත් බොහෝ ලේඛකයන් ජීවත් වෙන්නේ ඒ සොච්චම් මුදලින් ම යි. එවිට පොත් කර්මාන්තය තුළ ළමා කෘතිවලට තිබෙන ස්ථානය ඉතා පහළ අගයක් ගන්නවා. මොකද ළමා කෘතිවලින් ආර්ථික වාසි ලැබෙන්නේ අඩුවෙන්. ඒ වගේ ම මේ කර්මාන්තය කරගෙන යන ප්‍රකාශකයන්ටත් අවශ්‍ය වන්නේ ඉක්මනින් අලුත් පොතක්. මේ කාරණාවලදී ළමා කෘතිය තිබෙන්නේ ඉතා පහළ තැනකයි. ඒකට ආර්ථිකය බලපානවා.

දැනට සාහිත්‍යකරණයේ යෙදී සිටින කීපදෙනෙක් හැරුණාම අනෙක් සියලු දෙනා දක්ෂ නිර්මාණකරුවන්. මෙහි තිබෙන්නේ නිර්මාණකරුවන් හිඟ කමක් හෝ නිර්මාණකරුවන්ගේ අඩුපාඩුවක් නෙවෙයි. ආර්ථිකයේ හිඟයක් නිසයි නිර්මාණකරුවන් ළමා කෘති නිර්මාණයට පෙලඹීමේ අඩුවක් තිබෙන්නේ. ඒ වගේ ම ආර්ථික අතින් හැකියාව තිබෙන නිර්මාණකරුවන් මේ වැඩේ අතහැර තිබෙනවා. ඒ වගේ ම තමයි සාහිත්‍ය ක්ෂේත්‍රයේත් දැන් කල්ලි බිහිවෙලා. ඒකත් දැන් ලොකු ප්‍රශ්නයක් වී තිබෙන්නේ. මේ කල්ලිවාද නිසා නිර්මාණකරුවා පිරිහෙනවා. මේවා තමයි අද තිබෙන අර්බුදයන්ට හේතු වෙලා තිබෙන්නේ.

Comments