හරි වහර | සිළුමිණ

හරි වහර

වහරෙහි නිතර යෙදෙන සංස්කෘත තත්සම කිහිපයෙක හරි වහර විමසා බලමු. බොහෝ දෙනකු බොහෝ විට වරදවන්නේ සංස්කෘත තත්සම බැවින් හරි වහර ‍යෙදීමේ දී ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු ය.

1. චක්ෂු - මෙහි මුල (අල්පප්‍රාණ) ‘ච’ යෙදෙන සැටි ද අග (මූර්ධජ) ‘ෂු’ යෙදෙන සැටි ද කෙරෙහි සැලැකිල්ල යොමු කිරීම මැනැවි. සංස්කෘතයෙහි ‘චක්ෂ’ (බැලීමෙහි) ධාතුවෙන් නිපන් නාමයෙකි. ඇස යන අරුත දෙයි. මේ හා අනුරූප වැ පාලියෙහි ‘චක්ඛු’ යනු ද සිංහලයෙහි ‘සක්’ යනු ද යෙදේ.

2. චකිත - මෙහි දු මුල (අල්පප්‍රාණ) ‘ච’ සමඟ අග (අල්ප්‍රාණ) ‘ත’ යෙදෙන සැටි කෙරෙහි සැලැකිල්ල යොමු කිරීම මැනැවි. ඇතැමුන් මෙහි අග (මහාප්‍රාණ) ‘ථ’ ලියන නමුදු ඒ වරදෙකි. අරුත (සිතේ) කලබලය, සැලීම යනු යි.

3. චක්‍රවර්ති - මෙහි දු ‘ත්‍ර’ යන්නෙහි ‍යෙදෙන රකාරාංශය කෙරෙහි ද අග යෙදෙන (අල්පප්‍රාණ) ‘ත’ කෙරෙහි ද අවධානය යෙදිය යුතු ය. පාලියෙහි මේ වදන හා අනුරූප වැ චක්කවත්ති යනු ද සිංහලයෙහි සක්විති යනු ද යෙදේ. අරුත නම් (ආඥා) චක්‍රය පවත්වන්නා හෙවත් ලෝකය පාලනය කරන්නා යනු යි.

4. චතුරස්‍ර - විශේෂයෙන් මෙහි සැලැකිය යුත්තේ අග යෙදෙන (ර කාරාංශය සහිත දන්තජ) ‘ස’ කාරය කෙරෙහි යි. අතිශයින් බහුල වැ කැරෙන වරදක් නම් මෙහි (දන්තජ) ‘ස’ කාරය වෙනුවට (තාලුජ) ‘ශ’ කාරය යෙදීම යි. එ හෙයින් ‘චත්‍රරශ්‍ර’ යනු ඉඳුරා ම වැරැදි වදනෙකි. කවර තැනෙක වුව ද පැති අරුතෙහි ‘අශ්‍ර’ යනු යෙදීම වරදෙකි. පඤ්චාශ්‍ර, ෂඩාශ්‍ර ආදි ද එ අනුව සාවද්‍ය වේ.

චතුරස්‍ර යන්නෙහි අරුත සිවුරැසි හෙවත් පැති හතරක් ඇති යනු යි.

5. චතුරගිණී - සංස්කෘතයෙහි මෙන් ම පාලියෙහි ද සමාන වැ යෙදෙන වදනෙකි. චතුඃ + අගනී යන ‍ෙද වදන සන්ධි වීමෙන් උපදී. විසර්ගය වෙනුවට ‘ර්’ ආදේශයෙන් (චතුර් + අගනී) චතුරගිණී වෙයි. මෙහි අග (මූර්ධජ) ‘ණි’ ම යෙදීමට විශේෂයෙන් සැලැකිලිමත් විය යුත්තේ ය. බොහෝ දෙනා එ බව නො දැන (දන්තජ) ‘නී’ යොදනා ‘චතුරගිනී’ යනු ලියති. මෙහි මුල් වදනෙහි යෙදෙනුයේ (දන්තජ) නී බව සැබැවෙකි. එ වුව ද, ‘චතුර්’ යන්නෙහි ‘ර’ කාරයේ බලය ඉක්බිති වැ ඇති අකුරු දෙක ද ඉක්මවා පැමිණ එය මූර්ධජ බවට හරවයි. ‘චතුරගිණී’ යන්න ම නිවැරැදි වනුයේ එ හෙයිනි. දැන් වහර අනුව ‘’ කාරය වෙනුවට බින්දුව ද යෙදෙන බැවින් ‘චතුරංගිණී’ යනුවෙනුදු ලියනු ලැබේ. සැබැවින් ම, වහරෙහි වඩාත් යෙදෙනුයේ ද එ සේ ම ය.

චතුරගිණී යන්නෙහි අරුත නම් ‘අංග (කොටස්) සතරෙකින් යුක්ත’ යනු යි. බො‍හෝ සෙයින් ම ‘සේනා’ යන්න හා එක් ව යෙදුණු සැටි පෙනේ. එයින් (චතුරගිණී සේනා යන්නෙන්) කියැවෙනුයේ පෙර කල රජුන් සතු වූ හස්ති (ඇත්), අශ්ව (අස්), රිය (රථ) ප්‍රේෂ්‍ය (පාබළ) යන සේනා සතර යි. සිංහලයෙහි වනාහි මේ අරුතින් ‘සිවුරඟ’ (සිවුරඟ සෙන්) යන්න යෙදේ. එහෙත් ඒ කෙළින් ම අනුරූප වනුයේ ‘චතුරගිණී’ යන්නට නොව ‘චතුරග’ යන්නට ය. චතුරග නමින් ක්‍රීඩා විශේෂයකුදු වූ බව කිය‍ැවේ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.