ශ්‍රී ලාංකික ගෙත්සි ෂන්මුගම් රැමොන් මැග්සයිසේ සම්මානයෙන් පිදුම් ලබයි... | Page 2 | සිළුමිණ

ශ්‍රී ලාංකික ගෙත්සි ෂන්මුගම් රැමොන් මැග්සයිසේ සම්මානයෙන් පිදුම් ලබයි...

මෙවර Ramon Magsaysay සම්මාන උලෙළේ ජයග්‍රාහකයන් සය දෙනා අතරට ශ්‍රී ලාංකික ගුරුවරියක්ද තේරී පත් ව ඇත. 82 හැවිරිදි ඇය ගෙත්සි ෂන්මුගම් වන අතර යුද්ධයෙන් වැන්දඹු වූ කාන්තාවන් හට සහ අනාථ වුවන්ට මානසික උපදේශනය ලබා දීමේ මහඟු මෙහෙවරට මෙවර ඇය හට Magsaysay සම්මානය පිරිනමා තිබේ.

Ramon Magsaysay සම්මානය ආසියාවේ නොබෙල් සම්මානය ලෙස විරුදාවලිය ලබා තිබෙන අතර ආසියාතිකයකු හට ආසියාවේ ලබාගත හැකි ඉහළ ම ගෞරව සම්මානය ලෙස ද සඳහන් වෙයි.

මෙවර Magsaysay සම්මානලාභීන් හට සම්මාන ප්‍රදානය කිරීම පසුගිය අගෝස්තු 31 වන දින පිලිපීනයේ මැනිලා නුවරදී සිදු විණි. ගෙත්සි ෂන්මුගම් මහත්මියට පෙර Magsaysay සම්මානයෙන් පිදුම් ලැබුවේ ශ්‍රී ලංකාවේ මහා ගාන්ධර්වයාණන් ලෙස විරුදාවලිය ලත් ආචාර්ය පණ්ඩිත අමරදේවයන් ය. ඒ දැනට වසර 10 කට පෙර දී ය. දශක හයක් පුරා අඛණ්ඩ ව පවත්වාගෙන එන මේ සම්මාන උලෙළ 1957 වසරේදී ගුවන් අනතුරකින් මියගිය පිලිපීන ජනාධිපති Ramon Magsaysay අනුස්මරණය කිරීම නිමිත්තෙන් පැවැත්වේ. දශක හයක් පුරා අඛණ්ඩ ව පවත්වාගෙන එන මේ සම්මාන උලෙළට ෂන්මුගම් මහත්මියට අමතර ව ජපානයේ ඉතිහාසඥයකු වන Yoshiaki Ishizawa, ඉන්දුනීසියාවේ ආදී වාසි ජනයා වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් කළ Abdon Nababan, සිංගප්පුරු ව්‍යාපාරිකයකු වන Tony Tay, පිලිපීනයේ නීතිඥ Lilia de Lima සහ පිලිපීනයේ Educational Theater Association ආයතනය ද එක් ව තිබිණි. ගෙත්සි ෂන්මුගම් මහත්මිය තම වෘත්තීය දිවිය අරඹන්නේ නුවර මොව්බ්‍රේ කාන්තා විදුහලෙනි. කොළඹ ශාන්ත ජෝසප් විදුහලේ දීර්ඝ කාලයක් යොවුන් දරුවන් යහමඟට ගැනීමට ඇය වෙහෙස දරූ අතර ඒ කාලය අතර ඇය මර්වින් ප්‍රනාන්දු පියතුමා යටතේ උපදේශනය පිළිබඳ පුහුණුව ලැබීය. ඒ අනුව ඇය මෙරට යුද්ධය පැවැති අවධියේ සහ එයින් පසුව ද එයින් අසරණ වූවනට මානසික ශක්තිය යහපත් කරලීමට නිහඬ ප්‍රබල සේවයක් දියත් කරලීය.

ලාංකික සිවිල් යුද්ධයෙන් බැට කෑ දරුවන්ගේ හා කාන්තාවන්ගේ මානසික සෞඛ්‍ය අවශ්‍යතා සම්පාදනයට ධෛර්යයෙන් හා මෛත්‍රියෙන් යුතුව දිගු කාලයක් මහත් කැපවීමෙන් කරන සේවය උදෙසා ඇයට ත්‍යාගයක් පිරිනමන බව ඇයට පිරිනැමූ සම්මානයේ ඇය වෙනුවෙන් කියැවෙන හේතු පාඨයේ සඳහන් වේ.

ෂන්මුගම් මහත්මිය 2004 වසරේ දී ඇති වූ සුනාමියෙන් දිවි බේරා ගත්තේ වුව ද පවුලේ සාමාජිකයන් අහිමි ව දැඩි මානසික පීඩාවට පත් දරුවනට ද මානසික උපදේශනය හා සහනය ලබාදීමට පාසල් ගුරුවරුන් 80 දෙනෙක් පුහුණු කළ අතර, අද ද මනෝ විද්‍යා උපදේශනය සමාජයට ලබා දෙමින් හරවත් මෙහෙවරක නියැළෙමින් සිටියි.

Comments