මාරයාගේ සිනහව | සිළුමිණ

මාරයාගේ සිනහව

මිනිසකුට කෙතරම් ඉඩම් ප්‍රමාණයක් අවශ්‍යද? විවිධ අය විවිධ පිළිතුරු දෙති. ලියෝ තොල්ස්තෝයි ද ඊට කදිම පිළිතුරක් දෙයි. සිරිල් සී. පෙරේරාණන් විසින් පරිවර්තනය කරන ලද තොල්ස්තෝයිගේ ‘හතර රියන’ නම් කතාවේ එන ගොවියා වරෙක මෙසේ කියයි.

“ප්‍රමාණවත් තරම් ඉඩම් තියෙනවා නම්, මම කිසිම කෙනකුට බය වන්නේ නැහැ. වෙනකක් තියා මාරයාටවත් බය නැහැ.”

ගොවියාට ඕනෑ ධනවතකු වන්නට ය. ඒ සඳහා ඔහුට ඉඩ කඩම් අවැසි ය. ඒවායේ ධන ධාන්‍ය වගා කිරීමට අවැසි ය. ඒ කෙසේ වෙතත් ගොවියාගේ මේ කතාවට තව කෙනෙක් කන් දීගෙන සිටියේ ය. ඒ වෙන කවුරුත් නොව මාරයා ය. හොරෙන් කන් දීම නරක ක්‍රියාවක් වන්නේ අප වැනි සාමාන්‍ය මිනිසුන් ට ය. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් එය කොහෙත්ම නරක ක්‍රියාවක් ලෙස ගණන් ගන්නේ නැත. නැතිනම් වෝටර් ගේට් වැනි සිද්ධියක් වන්නේ නැත. ඉදින් මාරයාට එය කෙසේවත් නරක ක්‍රියාවක් වන්නේ නැත. කතාව හොරෙන් අසා සිටි මාරයා ඊට මෙසේ පිළිතුරු සැපයූයේ ය.

“ඉතා අගනා කතාවකි. මම තොප සමඟ ඔට්ටුවක් අල්ලමි. මම තොපට බොහෝ ඉඩම් දී නැවත් ගනිමි”

අක්කාගේ නගර පුරාජේරුව අසා සිටීමට නොහැකි වූ කල ඇයගේ නැගණියගේ සැමියා හෙවත් අප පෙර කී ගොවියා කියූ ඒ කතාවට මාරයා ඇල්ලූ ඔට්ටුව එයයි.

‘පෙක්හම්’ නම් මේ ගොවියා හමුවන්නට රුසියාවේ මාරයා වරින්වර විවිධ වෙස් ගෙන පැමිණියේ, හරියට විවිධ අවස්ථාවල බුදු හාමුදුරුවන් හමු වන්නට මාරයා වෙස්වළා ගෙන පැමිණි ලෙසට ම ය.

දිනක් පෙක්හම් හමුවන්නට වොල්ගා නදියෙනුත් එතෙර සිට මගියෙක් පැමිණේ. ඒ මගියා පෙක්හම්ට පවසන්නේ වොල්ගා නදියෙන් එගොඩ රූබලයකට ඉඩම් අක්කරයක් වුවත් මිලදී ගත හැකි බව ය.

හනිකට වොල්ගා නදිය තරණය කර ඒ ගමට යන පෙක්හම් නිලධාරීන්ට අල්ලස් දී අක්කර එකසිය හතළිස් අටක් ම ලබාගෙන තිරිඟු වගා කොට විශාල ආදායමක් උපයා ගත්තේ ය. පෙක්හම්ට මේ ඉඩම් ලබා ගැනීමේ මාර්ග පෙන්වන්නේ මාරයා බැව් ඔහු දන්නේ නැත. වරින් වර ඉඩම් මිලදී ගෙන පොහොසත් වෙන පෙක්හම් අවසානයේ බස්කීරයන්ගේ ජනපදයට පැමිණෙයි. එහි ඉඩම් දෙන්නේ නිකම් ම වාගේ ය. ඉඩම්වල මිල නියම කරන්නේ අක්කර ගණන්වලට නොව දවස් ගණන්වලට ය. ඒ අනුව දවසක් ඇතුළත කෙතරම් බිම් ප්‍රමාණයක් වට කර දිය හැකි ද; ඒ ඉඩම් ප්‍රමාණය ඔහු සතු වන බැව් ගම් දෙටුවා පෙක්හම්ට පවසයි. දිනකට ගෙවිය යුතු මුදල රූබල් දාහකි. පෙක්හම්ගේ සිත පුදුමයෙන් හා ප්‍රීතියෙන් පිරී යයි. දවසක් ඇතුළත මිනිසකුට විශාල බිම් ප්‍රමාණයක් වටේ යන්නට පුළුවන් යැයි කියන පෙක්හම්ට ගම් දෙටුවා මෙසේ පවසයි.

“ඒත් එක් කොන්දේසියක් උඩ. නුඹ ගමන ආරම්භ කළ ස්ථානයට දවස අවසාන වන්නට පෙර නොපැමිණියහොත් නුඹේ මුදලත්, ඉඩමත් අහිමි වෙයි”

උදේ හිරු නැඟෙනවාත් සමඟ ම ඉඩමට පැමිණි පෙක්හම් ඉමහත් බලාපොරොත්තු ඇතිව හිරු බැස යන අන්තිම මොහොත දක්වා ම හති දමමින් දිව්වේ ය. හිරු අස්ථානගත වන්නට මොහොතකට පෙර නැවත දිව ආ පෙක්හම් ගොඩැල්ල නැඟ මුදල් අඩංගු තොප්පියට අත තබනවාත් සමඟ ම කටින් ලේ දමමින් බිම ඇද වැටුණේ ය. සේවකයා වහා ගොස් පරීක්ෂා කරනු ලදුව, ඔහු මිය ගොස් ඇති බැව් ගම් දෙටුවාට පැවසුවේ ය. ගම් දෙටුවා ඉඟට අත තබා ගෙන සෝපාහාස මහ සිනහවක් පාමින් සේවකයා අතට උදැල්ලක් දී ‘ඔන්න ඔතනින් වළලා දමාපන්‘ යැයි කියා අවඥාවෙන් යුතු ව නික්ම ගියේ ය. සේවකයා පෙක්හම්ගේ සිරුර හතර රියනක වළක් කපා වළලා දැම්මේ ය.

තොල්ස්තෝයිගේ මේ අපූර්ව කතාව කියවන විට අපේ සුගතපාල ද සිල්වා ගේ ‘ පවර නිරිඳෙක් වීය බඹදත්‘ නවකතාව ද මතකයට නැඟ ඒම වළක්වාලිය නොහැකි ය.

“හිරු අවර ගල අද්දරට ම පැමිණ ඇත.

පෙළපත්කරු අවසාන අණ පොල්ල ද අතැති ව තීන්දුගල වෙත දුව එයි. ඇතමෙක් ඔහුට රුකුල් දෙමින් කෑ ගසන්නට වූහ. අම්බිකා සහ වල්ලභයෝ තීන්දු ගල වෙත දිව ගියේ සිනා පිරි මුහුණින් යුතු ව ය. පෙළපත්කරු හතිලන හඬ පවා ඇසෙයි. තීන්දු ගලට ඇත්තේ තව පියවර කිහිපයක් පමණී. අවරගල දෙස බැලූ පෙළපත්කරු පය ඉක්මන් කළේ ය. එකෙනෙහි ම පා පැටලී ඔහු ඇද වැටුණේ ය. අත වූ අණ පොල්ලේ උල පෙළපත්කරුගේ හදවත පළා ගියේ ය. ඔහුගේ කට ඇඹරී, අත පය අවසඟ ව ඇස් පෙරළුණේ ය.

මිනිසුන් තුළ මරණ බය ඇති විය.”

මෙය කිසියම් දිනෙක ලෝක පූජිත නවකතාකරුවකුගේ කෙටිකතාවකට වස්තු වන බැව් බ්‍රහ්මදත්ත ඒ මොහොතේ දැන නොසිටියේ ය. ලොව නිර්මාණ සියල්ල ම විවිධාකාර ලෙස එකිනෙක හා බැඳී පවතී. එයට හේතුව වන්නේ මේ සියලු නිර්මාණ ම මහ පොළොවෙන් උපන් නිර්මාණ වීමත්, අප සියල්ලෝ ම මුහුණ දෙන සත්‍යය එකක් ම වීමත් ය.

මේ සියල්ල ම මෙසේ වුවත් ඇන්ටන් චෙකොෆ් මේ පිළිබඳ වෙනස් ම විදියේ අර්ථකතනයක් දුන්නේ ය. ඔහු කීයේ ‘හතර රියනක් අවශ්‍ය වන්නේ මැරුණු මිනිහකු ට මිස ජීවත් වන මිනිසකුට නොවන බව ය.

ලොව පුරා ඇත්තේ යෑම් ඊම් පමණක් ය. එබැවින් මේ සියලු නිර්මාණ පසක් කරන්නේ යෝනිසෝමනිසිකාරයෙන් යුතු ව ජීවත්වීමේ වටිනාකම ය.

[email protected]

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.