අහස - පොළොව | සිළුමිණ

අහස - පොළොව

කවියා අති ප්‍රබල රංගයක් ලියා තිබේ. එය අප ඉදිරියෙහි වේදිකා ගත වෙයි. ගරු - ගම්භීර විනිශ්චයකාරයෙක් (ඔහුට උඩු රැවුළක් තිබෙන්නට පුළුවන.) අහිංසක - සරල ගැමියෙක් රංග භූමියෙහි සිටියි. වේදිකාව සකස් වී ඇත්තේ අධිකරණ ශාලාවක් හැටියට ය. (වේදිකා පරිපාලකට පින් සිදු වේවා!) නීතියේ දෙවඟන, යුක්තිය පසිඳලන අබලන් තරාදිය හා දඬුවම් නියම කරන කොට කඩුවත් කෙනකුගේ සිහියට නැ‍ඟෙන්නට පුළුවන. කවියා මේ සියල්ල හාස්‍යයට ලක් කරයි. ඔහු තෝරාගෙන ඇත්තේ අප මුහුණදෙන අර්බුදයෙහි උපරීම අවස්ථාව ය.

රූස්ස ගසක් යට අපරාධයක් සිදු වී ඇත. මේ කාලයේ හැටියට ගස් යට බොහෝ දේවල් සිදුවන්නට පුළුවන. එය ස්ත්‍රී - දූෂණයක් විය හැකි ය. ළමා අපහරණයක් විය හැකි ය. ඉඩම් ආරවුලක ගැටුමක් වන්නටත් පුළුවන. කෙසේ වුව ගස යට සිදුවන මොහොතේ එම ගසෙහි මුදුනෙහි මිනිසෙක් සිටියේලු! දැන් ඒ මිනිසා නඩු විභාගයෙහි සාක්ෂියට කැඳවා ඇත.

අපේ නීතියට අනුව අපරාධයක් නොදැකීම වරදකි. එවැන්නක් නොදැක්කා සේ සිටීම ද වරදකි. පුද්ගලයා අපරාධ හඹා ගොස් ඒවා වැළැක්විය යුතු ය. මේ අනුව පුද්ගලයාට අපරාධය පිළිබඳ විස්තර සපයන්නට සිදු වේ. එහිදී ඔහු තර්කානුකූලව නීතියට අනුව කතා කළ යුතු ය. නැතහොත් දඬුවම් විඳීමට සිදු වේ. මෙය යකාගේ නීතියකි!

නඩුකාරයා සාක්ෂිකරුගෙන් විමසන්නේ තමන් දුටුවේ කුමක් ද යන්න ය. සාක්ෂිකරු වන ගැමියා අපරාධ ක්‍රියාවක් දැක නැත. ඔහු ගස මුදුනේ සිට අහස නරඹා තිබේ. විනිශ්චයකාරයාගේ ඊළඟ ප්‍රශ්නය වන්නේ මහ පොළොවේ යථාර්ථය නොදුටු ගැමියා කුමන වර්ගයකට අයත් මිනිසකු ද යන්න ය. පිළිතුර ඉතා සරල ය. විවිධාර්ථවත් ය. “මම ඉහළ යන කෙනෙක්!” යැයි ගැමියා පිළිතුරු දෙයි. මේ පිළිතුර ඔස්සේ බොහෝ දුර ගමන් කළ හැකි ය.

නීතියේ ඇති අවුල, අප ජීවත්වන ලෝකයේ ඇති විකාර රූපී බව හා සමාජයෙහි ඇති පරතරයත් මේ ප්‍රබන්ධය ඔස්සේ විමසුමට ලක් වේ.

පරාක්‍රම කොඩිතුවක්කු මහතාගේ “මම වහිනවා” කාව්‍ය සංග්‍රහයෙන් ප්‍රබන්ධය උපුටා ගැනිණි. ඔහුගේ අභිනව කෘතියට නිර්මාණ හතළිස් තුනක් අඩංගු ය. එහි 42 පිටුවේ ඇති “අහස - පොළොව” නම් මේ නිර්මාණය අදට හොඳින් ගැළපෙයි. රටේ දේශපාලනය කරන අධිකාරීන් ද, නීතියට සම්බන්ධ නිලධාරීන් ද උක්ත කවිය කියවා වටහා ගන්නේ නම් වැදගත් ය. කෙනෙක් නීතිය වෙනස් විය යුතු බව කියති. තව කෙනෙක් නීතියේ හා එහි ක්‍රියාවලියේ අකාර්යක්ෂමතාව ගැන කියති. තවත් කෙනෙක් අලුත් අධිකරණ අවශ්‍ය බව කියති. මේ සියල්ල හොරු ඇල්ලීමට ය. එහෙත් සාක්ෂි කෝ!?

නීතියේ ඇති ආධිපත්‍යය මෙහි ලා හාස්‍යයට ලක් කෙරේ. ගැමියා පිළිතුරු සපයන්නේ ඕනැවට එපාවට මෙන් ය. විනිශ්චයකාරයා විමසන ප්‍රශ්න සාක්ෂිකාරයාට වැටහෙන්නේ නැත. සාක්ෂිකාරයා දෙන පිළිතුරු විනිශ්චයකාරයාට කිසිසේත්ම වැටහෙන්නේ නැත. දෙදෙනා දෙලොවක සිටිති. ඉතින් නීතිය පසිඳලන්නේ කෙසේ ද? යුක්තිය ඉටුවන්නේ කෙසේ ද?

මෙහි එන ගැමියා අපූරු මිනිසෙකි. ඔහු අවංක බව ද, බුද්ධිමත් බව ද පෙනී යයි. ලෝකයේ පවත්නා දේවල්වලට අනුව ජීවත්වීම දුෂ්කර ය. බඩු භාණ්ඩ ගණන් ය. සල්ලි සීමා සහිත ය. ඇති එකා තවත් ඉහළ යන හා නැති එකා තවත් පහළ යන ආර්ථිකයක් පවතී. නීතිය කියා දෙයක් නැත. ඒ වෙනුවට බලය පාවිච්චි වෙයි. මේ අනුව පොදු මිනිසාට සිදු වී ඇත්තේ ජිවිතයෙන් පලා ගොස් ගස් උඩ සිට අහස දෙස බලා සිටීමට ය. ඔවූහු සිහිනවල ජීවත් වෙති. එය ම ආස්වාදය කරති.

මේ කවියෙහි සරල ගැමියා ගැන සිතන විට ෆ්‍රාන්ස් කෆ්කාගේ “නඩු විභාගය” නවකතාවේ එන ජෝශප් කේ. නම් චරිතය සිහියට නැ‍ඟේ. ඔහු ද නීතිය සොයා යයි. තමා අත්අඩංගුවට ගන්නා හේතුව; නඩු විභාග පවත්වන හේතුව; දඬුවම් ලබා දෙන හේතුව ඔහු නොදනී. කොටින් ම තමා කළ වරද කුමක්දැ’යි නඩු විභාගයෙන් පැහැදිලි නො වේ. ජෝශප් කේට මරණ දඬුවම නියම වන්නේ කුමකට ද? නීතිය හමුවේ ඇති ප්‍රශ්නය ද; ජීවිතය හා සමාජ ක්‍රියාකාරකම් අතර ඇති ප්‍රශ්නය ද එය ම වේ. ඒවාට විසැඳුම් නැත.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ලොව පුරා පැතිර ගිය අවිනිශ්චිත බව, සැකය, බිය නිරූපණය කිරීම සඳහා විකාර රූපී රංග ක්‍රමය භාවිත විය. සැමුවෙල් බෙකට්, ඉයිජින් අයනෙස්කෝ වැනි නාට්‍යකරුවෝ මේ තත්ත්වය තුළ මිනිසා හැසිරෙන අන්දම ශූර ලෙස නිරූපණය කළහ. අද අප පසුවන්නේ ඊටත් වඩා භයානක පසුබිමක ය. මේ පසුබිම විකාරරූපී ය. මිනිසා තැතිගන්වනසුලු ය.

කවියක ඇත්තේ හැඟීම් හා දැනීම් ය. ඒ හැරෙන්නට බුද්ධියට කරන ඇමතීම් ද එහි තිබෙන්නට පුළුවන. හැඟීම් හා දැනීම් ඇති කිරීමේ දී වෘත්තාන්ත හා රංග ඉදිරිපත් කිරීම වැදගත් ය. ඒ මඟින් බොහෝ දේවල් ප්‍රකාශ කළ හැකි ය. මෙහි ද කතාන්දරයක් තිබේ. අති ප්‍රබල රංගයක් ද තිබේ. කවියා ඒ සඳහා භාවිත කර ඇත්තේ වාක්‍ය කිහිපයක් පමණි. මහාචාර්ය ස්ටැන්ලි ෆිෂ් වාක්‍යයක ඇති ගැඹුරු දීප්තිය හා විවිධාර්ථවත් බව විමසීම සඳහා පොතක් ලියා තිබේ. (How to write a Sentence) පරාක්‍රම ගේ කවියෙන් ද වාක්‍යයක ඇති දීප්තිය පැහැදිලි වෙයි.

සමස්ත කවියෙන් යම් විහිළුකාර ස්වරූපයක් ද මතු වෙයි. ගැමියා ඉහළ යන කෙනකු ලෙස නඩුකාරයාට හඳුන්වා දීමෙහි ඇත්තේ ප්‍රබල උත්ප්‍රාසයකි. ඉහළ යන කෙනා යනු දියුණු වෙන තැනැත්තා විය හැකි ය. අධ්‍යාත්මික සුවයක් සොයන කෙනකු විය හැකි ය. බුද්ධිමතකු හෝ චින්තකයකු හෝ වන්නටත් පුළුවන. එහෙත් මේ කිසි දෙයකින් ඉහළ යෑමේ හැකියාවක් දුප්පත් ගැමියාට නැත. ඔහුට කළ හැක්කේ ගස් නැඟීම පමණි.

අපේ නීතිය කෙතරම් විහිළුකාර ද? අපරාධකාරයා වෙනුවට සාක්ෂිකාරයකු කූඩුවට කැඳවා ඇත. ඔහුගෙන් ප්‍රශ්න අසන්නේ තර්ජනාත්මක ලෙස ය. පොලීසියට ගිය විට හොරා කවුදැ’යි විමසයි. අධිකරණයට ගිය විට සාක්ෂිකරුවන්ට දඬුවම් ලැබෙයි. නීතිය අවුල් ය. එය ක්‍රියාත්මක කරන ආයතන හා පුද්ගලයන් ද අවුල් සහගතය වැනි හැඟීමක් මේ කවියෙන් ධ්වනිත වෙයි.

කවියට යොදා ඇති සිරස ද අපූරු ය. එය “අහස - පොළොව” ලෙස දක්වා තිබේ. ජන ජීවිතය එක පැත්තක ය. නීතිය තව පැත්තක ය. සාක්ෂිකරුවා එක ලොවක ය. නඩුකාරයා තව ලොවක ය. අපේ සමාජයේ ඇති බෙදීම හා පරතරය මෙයින් ගම්‍ය වේ.

මේ කවියෙහි සංවාද ඔස්සේ ශූර නිරූපණයක් දැකගත හැකි ය. ඒ නිරූපණ ඔස්සේ විවිධ චිත්ත රූප මැවෙයි. එමිලි ඩිකින්සන් නම් ඉංග්‍රීසි කිවිඳිය ද සංවාද ස්වරූපයේ කවි ලියා තිබේ. පුද්ගලයා ද, සමාජය ද, සිදුවීම් ද ප්‍රශ්න කිරීම සඳහා සංවාද ස්වරූපය යොදාගත හැකි ය.

පරාක්‍රම කොඩිතුවක්කු මහතාගේ ඇතැම් නිර්මාණවලට නිශ්චිත අර්ථකථන සැපයීම දුෂ්කර ය. ඒවා දුවන්නේ දාර්ශනික තලයක් මත ය. මේ කවිය ද සංකීර්ණ ය. විවිධාර්ථවත් ය. කවිය විඳින විට හිත රිදෙන්නේ අප ගැන ය. අපට මෙබඳු පරිකල්පනයක් ජීවිතේට පෙළ ගැසෙන්නේ නැත.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.