සීසර්ගෙ දේ ක්ලියෝපැට්රාට නොදෙන්න! | සිළුමිණ

සීසර්ගෙ දේ ක්ලියෝපැට්රාට නොදෙන්න!

 මිත්තණිය බීමට ඇබ්බැහි ව සිටින පවුලක පියාගේ සවස ගෙවෙන්නේ සමාජ ශාලාවක බීමතිනි. මව ක්ෂය රෝගයෙන් පෙළේ. වැඩිමහල් දරුවා අන්ධය. දෙවැන්නා මිය ගිය අතර තෙවැන්නා බිහිරිය. සිව්වැනි දරුවා ක්ෂය රෝගයෙන් පීඩා විඳින අතර මව ගැබිනියකි. මේ තත්ත්වය මත ඇය ගබ්සාවක් කර ගත යුතු බවට ඔබ යෝජනා කරනවාද?

පදිංචියට හරියාකාර නිවෙසක් නැති, නිසි ආදායම් මාර්ගයක් නැති, අවිවාහක පසළොස් හැවිරිදි දැරියක වන අතර ඇය ගැබිනියකි. විවාහ කරගැනීමට සූදානම් පුද්ගලයා දරුවාගේ පියා නොවේ. දරු ප්‍රසූතිය සඳහා රෝහලක් හෝ වෛද්‍යවරයෙක් අසලක නැත. මේ තත්ත්වය මත ඇය ගබ්සාවක් කර ගත යුතු බවට ඔබ යෝජනා කරනවාද?

ගබ්සාව සම්බන්ධ සංවාදයේදී ප්‍ර‍කට උදාහරණ දෙකක් වන මේ කතාවල දරු උපතින් පසු දැකිය හැකි අනිවාර්ය අංග වන්නේ සමාජය තුළින් එල්ල වන නින්දා අපහාස මෙන්ම ආර්ථික හා මානසික වධ වේදනා නිසා නූපන් දරුවා මරා දමා ගැටලුව විසඳිය හැකි බව යම් අය කල්පනා කරති.

තමන්ගේ දේශපාලන මතවාද පිළිබඳ ජනතාවගේ මතිමතාන්තර හැසිරවීමට අපේ අය කැප වීමෙන් කටයුතු කළත් සහකම්පාව හිමි විය යුතු දරුවකු හෝ මවක වෙනුවෙන් කාලය වැය කිරීම ඔවුන්ට දුෂ්කරය. මව ගබ්සාවට යොමු කොට එම තීරණය ගත යුත්තේ මව බවට කෙනකුට තර්ක කළ හැක. එහෙත් ජීවත් වනවාද නැද්ද යන්න තීරණය කිරීම මෙලොව එළිය දකින්නට බලා සිටින දරුවාගේ අයිතිය නොවේද?

සමාජයෙන් එල්ල වන නින්දා අපහාසවලට මුහුණ දෙන අප දන්නා කියන අය කොතෙකුත් වෙති. ආර්ථික හා මානසික වධ වේදනා විඳින දස දහස් ගණන් ජනයා අප අතර වෙති. ඔවුන් මරා දමා ගැටලුව නිරාකරණය කළ හැකි බව ඔබට කිව හැක. එහෙත් මිය යෑමට ඔවුන් කැමැති නැත් නම්?

මේ නිසා අනෙකුත් සාධක ද සලකා බලා අප යෝජනා කරන්නේ වඩා සුදුසු සියදිවි නසාගැනීමේ අයිතිය නීතිගත කිරීම බවයි. දරුවා බිහි කිරීමෙන් අනතුරුව මවට සිය දිවි නසාගත හැකිය. නින්දා අපහාස හා ආර්ථික අපහසුතා නිසා අවශ්‍ය නම් දරුවාට ද පසුව දිවි නසාගත හැකිය.

නින්දා අපහාස කිරීමට උපන් හපන්කම් ඇති අය බහුල අප සමාජයේ ඔබට රජකම ලැබුණත් ඔබේ සීයා කෙනකු ගැන කියමින් හෝ රට්ටු ඔබට නින්දා කරනවා නිසැකයි. ඒ හැරුණුකොට නහුතයක් වූ ආර්ථික ප්‍රශ්නත් නිසා සියදිවි නසාගැනීමේ අවසර ඉල්ලා දිග පෝලිම් ඇති වීම අනිවාර්යය. එබැවින් ඒ වෙනුවෙන් තරග විභාගයක් හඳුන්වා දිය හැක. මේ සඳහා උපකාරක පන්ති පැවැත්විය හැකි අතර, එයින් රැකියා අවස්ථා ජනනය වීම අමතර වාසියකි.

ඉහත ක්ෂය රෝගයෙන් පෙළෙන මවට ඔබ ගබ්සාව යෝජනා කරනවාද? එසේ නම් ඔබ ඒ මරා දැමුවේ ලෝක පූජිත සංගීතඥයකු වන බීතෝවන් ය.

දර්ශන කරුණාතිලක

අදහස්