අප අතරින්ම බිහි වූ ඔවුන් වෙනුවෙන්... | සිළුමිණ

අප අතරින්ම බිහි වූ ඔවුන් වෙනුවෙන්...

 ජීවිතය හා සුසැදි බොහෝ සංවේදනයන් මේ අහස් ගව්ව පුරා සිතූ සිතූ ආකාරයෙන් නිමැ වී ඇති සෙයකි. බොහෝ තැන්වල මේ සා විශාල දිව්‍ය මාලිගාය. තවත් තැන්වල ලෑලි බිත්තිවලින් වට වූ කුඩා පැල්පත්ය. තවත් තැනක දූගී දුප්පත් යාචකයන්ය. තවත් තැන්වල රාජ මන්දිරවලින් බට මහා උතුමන්ය. ජීවිතයේ සබ්බසකලමනාවම නැතිවත් තවත් තැන්වල අනාථ වූ දරුවන්ය. ජීවිතයේ යථාර්ථවාදී අනුරුව මේ ලෝ තලයේ මහා බඹුන් විසින් මවා ඇත්තේ අසාධාරණ ලෙසින්යැයි සිතෙන්නේ ඒ නිසාය. ඇතැම්විට මහා ගං වතුරක් වුවද පරයාලන දුක්ඛ දෝමනස්සයේ කදුළු කැටය. තවත් දෙනෙත්වලින් ගලන්නේ සන්තාපයේ ගිලන් වූ දොම්නසේ කදුළු වැල්ය. එහෙත් උසස් යැයි සම්මත බොහෝ දෙනාගේ දෙනෙතින් ගලන කදුළු සම්මතයෙන් අසම්මතයට පියවර තැබූ ජීවිතයේ ලතැවිල්ලෙන් පමණක් මෝදු වන කදුළුය. දෛවය මේ ජීවිත මවා ඇත්තේ ඒ තරම් කුරුරි ලෙසය. සිනාසෙන්නට පිං ඇත්තවුන් ඉතාමත් අල්පය.

ඒ නිසාම ජීවිතය යනු දුක, සතුට, සැනසිල්ල, දොම්නස, සොම්නස ආදී වූ කුඩා කුලක ගණනාවකින් සැදී මහා සර්වත්‍ර කුලකයකයැයි කීම මුසාවක් නොවේ. එහෙත් විටක දාම් ලෑල්ලේ කුඩා කුඩා ඉත්තන් මෙන් යනෙන තැනක් තවතින තැනක් සිතා ගත නොහැකිය. ජීවිතය යනු තත්ත්පරයෙන් තත්ත්පරය මානූෂිය ජීවිතයෙන් මිදෙන ඉටිපන්දමක් හා සමාන තැනකැයි සිතෙන්නේ ඒ නිසාය. විටෙක සිදුවීම් දාමයක නවාතැන් පොළකි. සුන්දරත්වය, අසුන්දරත්වය, සුදු පාට, කළු පාට, පමණක් ම නොව උස් මිටි බවද මේ මිනිස් කුලකයේ විරල දෙයක් නොවේ. මහ බඹුන් මේ ලොව මවද්දී සෑම සියලු දෙනාටම එක සේ නොසැලකූ නිසාදෝ අද දෙනෝ දාහක් මිනිස් වර්ගයා අතර දුක් විදින මිනිසුන් බොහෝය. එකින් එක ගොඩ නැගුණු ජීවිත වෙනස් වී ඇත්තේ පුදුමාකාර දුකක් ශෝකයක් මනුතාපයේ ගැඹුරේම රදවමින්ය. ඒ මිනිස් සන්තානයේ අසාර බව පසක් කරන්නට අවැසි නොවුණද මේ කියන්නට යන අය දෙස නම් සෑම දෙනාම බලන්නට ඇත. මිනිස් පන්තීන් අතර ඔවුන් ගෙවන්නා වූ දුක්බර ජීවිතය ඇත්තෙන්ම කොතරම් දුරට සාධාරණදැයි නොදන්නා දෙයක් වුවද ඔවුන් ද මේ පොළෝ තලයේ හා මේ අහස් වියන යට ජීවත් වන්නට මහා අරගලයක යෙදෙන දුක්බර බවේ මිනිස් පන්තියකි. මෙතැන් පටන් දිග හැරෙන්නේ ඒ මනුසත් ආත්මයේ මිනිස් නෙත් නේක අයුරින් දුටු ඔවුන්ගේ කතාවය.

නිල් අහස් වියනට යටින් කලබලකාරී වූ පරිසරයක දසුන් මාලාවකි. ඇස් මට්ටමෙන් ඔබ්බට ඇත්තේ සුවිසල් ගොඩනැගිලි සමූහයක දර්ශනයකි. මග තොට නැවතී කතා බස් කරමින් හිමින් සීරුවේ හුස්මක් ගෙන නිදහසේ ගමන් කරන්නට අකමැති නිසාදෝ මිනිසුන්ගේ දෙපා වේගයෙන් කැරකෙන විලාසයක් අවට පරිසරය පුරාම පැතිරී තිබේ. තවත් පැත්තකින් ඇත්තේ කිසිදු පලක් ප්‍රයෝජනයක් නැති අව්වට වේළෙන වැස්සට තෙමෙන දිරා ගිය දුම්රිය මැදිරි කිහිපයකි. මේ සියල්ලම ඇති පරිසරය මැද්දේ ඇත්තේ ඉඟි බිඟ සිනා රැල් විහිදුවාලන සුපෙම්වතුන්ගේ පාරාදීසයකි. ඉන් එහාට ඇත්තේ කොලවන් වූ දිය සරැලැති මත ඔබ මොබ පිහිනා යන පැස්තුඩුවන්ගේ දසුනකි. ඒ සියල්ල දෙස මහා ඕනෑකමින් බලා ඉන්නා අරලිය ගස් යාය නිහඩවම මොනවදෝ මුමුනන්නාක් මෙනි. පුංචි සුළඟකට යන්තම් එහා මෙහා වැනෙන අරලිය පත් අතරින් කුමක්දෝ දුකක් නිසා අරලිය මලක් දෙකක් නිල් තණ බිස්ස මත වැතිරී මිය යන්නාක් මෙනි. එහෙත් සුදුපාට අහස් කුසින් නම් වූයේ අනුකම්පාවක් නැති හිරුගේ චණ්ඩ වූ රැස් මාලාවන් පමණි. නැගෙනහිරින් පායා බටහිරින් බැස යන්නට සූදානම් වන නිසාදෝ ඒ හිරු රැස් තුළ තිබුණේ අනුකම්පා විරහිත බැල්මකි.

මේ සියල්ල අතරේ කහ පැහැයට කමිසයක් හා කළු පැහැයට හුරු කලිසමක් හැදගත් තරුණ වියේ අවසානයේ සිටින පිරිමි දෙතුන් දෙනෙකි. සියල්ල කැලැතෙන සියල්ල පැද්දෙන එහා මෙහා හැපී බිදී යන්නට මෙන් උපනුන් සේ ඔවුන්ගේ මුහුණුවල වූයේ සියලු පැතුමන් සුනුවිසුනු වී ගිය බයාදුවකි. නැත්නම් වෙහෙසකි. ජීවිතයේ වෙහෙස මහන්සිය ඔවුන්ගේ සුසුමන්වලින් ඕනෑවටත් වඩා ඒ පපුතුරේ දුක්ඛ දෝමනස්සයන් කියා පාන්නාක් බඳුය. ඇතැමෙකුගේ මුහුණේ වූයේ අපිළිවෙළකට වැවුණු රැවුළකි. දෙනෝ දාහක් ගැවසෙන මංතීරු අතරේ ඔවුන්ගේ මේ උත්සාහය ඔවුන්ගේ පයට පෑගෙන දූවිල්ලත් ගෙන ඒ කුණු කූඩය පිරවීමටය. ජීවිතයේ මෙලොව උපන් බොහෝ මිනිසුන් අතර කියාගත නොහැකි දුකත්, පපුවේ සිරවුණු ශෝකයත් සමගින් ඔවුන්ගේ උත්සාහය දෙවියන් දුන් ජීවියත් ඒ දුප්පත් පවුලත් ජීවත් කරවීමටය. එහෙත් ඒ අරගලය ඔවුන්ගේ දෑතට ගෙනැවිත් ඇත්තේ දුකක් අසන්තෝෂයක් මිස සතුටක් සැනසුමක් නොවේ. මන්ද ඔවුන්ගේ දින චර්යාව ගෙවෙන්නේ නගරයේම ගොඩගැසෙන කසල මත නිසාය.

කසළවල දුර්ගන්ධයත්, ඒ වටා ඉගිළෙන මැස්සනුත් අතරේ ඔවුන් වීදි දිගේ සිය රාජකාරිය ඉටු කරති. නේක විද මිනිසුන්ගේ දෙනෙත් නේකාකාරයෙන් මොවුන් දෙස යොමු වුවද ජීවිත අරගලය මැද ඔවුන් අන්ත අසරණය. ඇතැම් විට සමාජයේ උසස් යැයි සම්මත මිනිසුන්ගේ පයට පෑගෙන දුහුවිල්ලකටත් වඩා පහළින් ඔවුන්ගේ ජීවිත මිනුම් කරන්නෝද මේ සමාජයේ ඕනෑ තරම් සිටිති. දුප්පත් පවුල් සංස්ථාව තුළ දයාබර ජීවිත ටික සුවපත් කරන්නට ඔවුහු දුක් විදිති. කුණු ගඳ ඉවසති. අව් වැසි සුළං නොතකා වීදි දිගේ කසල එකතු කරති. බොහෝ නගරවල කසල රථ ළගින් යන්නටවත් නොහැකි තරම් දුගඳක් පිට වෙද්දී ඔවුන් ඒ රථයේම නැගී වීදී අලංකාර කරන්නට ඒ දුගඳ ඉවසාගෙන සිටිති. නගරයේ සවස එකතු වන කුණු කසල පසුදා උදෑසන ඉවත් කර ඒ නගරය පිරිසිදුව තබන්නට ඔවුන් ගන්නා මේ වෑයම කොතරම් දුරට අගය කරන්නදැයි නොතේරේ. ආදරණීය දරුවන්ට පොත් ටික පෑන් ටික ගන්නටත්, දයාබර බිරින්දෑවට ගවුම් රෙද්දක් අරන් දෙන්නටත් ඔහුට මුදලක් ලැබෙන්නේ වීදි දිගේ මේ කුණු කඳුත් එක්ක කරන මේ විප්ලවය නිසා නොවේද? එහෙත් මේ රටේ බොහෝ විප්ලව කරන්නට මහා ඉහළින් හඬ තළනා උසස් යැයි සම්මත විවිධාකාරයේ සංගම්, සංසද මේ දුක්බර මිනිසුන් ගැන කතා කරන්නේ නැත. නීතියත්, දේශපාලනයත්, හැරුණු කොට ඔවුන්ට කතා කරන්නට මෙවන් මිනිසුන්ගේ ජීවන දෘෂ්ඨිය ඔවුන්ගේ මාතෘකා අතරට ගැනෙන්නේ නැත. අඩුම තරමේ මේ රටේ පාරක් පාරක් ගානේ කුණු කානු අස්සේ, වීදි දිගේ, විසල් නගර මැද ඉදලක්, කොස්සක් ගත් ඔවුන් ගැන අනුකම්පාවෙන් බලන්නටවත් සිතෙන්නේ කීයෙන් කී දෙනාටදැයි සිතා බැලිය යුතුය. ඔවුන්ද මේ පොළෝ තලයේ ජීවන අරගලය නමැති යුධ භූමියේ මරණය තෙක් මහා සටනක නිරත වන්නන් නොවේදැයි නිකමට හෝ සිතා බැලිය යුතු නොවේද? සුදෝ සුදුවන් අහස යට සුදුපාට ඇඳුමට මුවාවෙන් අපරාධ කල්ලි පාලනය කරන මිනිසුන්ට වඩා මේ නිල ඇඳුම පොරවාගත් මිනිසුන් ළග කොතරම් මිනිසත් ගුණයක් ඇද්දැයි සිතා බැලිය යුතුය.

මේ ධර්මද්වීපයේම බොහෝ මිනිසුන් සොරකම්, අපරාධ වැනි දෑ සිදු කරද්දී ජීවත් වන්නට මහා වීරියක් ගන්නා මෙවැනි මිනිසුන් ගැන තවත් මොනවට පැහැදිලි කරන්නදැයි නොතේරේ. මව්වරුන් පණ පිටින් මරා දමන රටේ, පාසල් දැරියන් අමු අමුවේ දූෂණය කරන මේ තම්බපණ්ණියේ සාධාරණ ලෙස තම ජීවිකාව ඉපයීම වෙනුවෙන් මොවුන් ගන්නා වෑයම ඇත්තෙන්ම උදාරතර කර්ත්‍යවයකි. ඇතැම් විටක මිනිසුන්ගේ සතුන්ගේ මළ මූත්‍ර පවා ඔවුන්ගේ දෑතේ තැවරෙන අවස්ථා බොහෝය. මිනිසුන් කා බී අවසන් වී කුණු කසළ ලෙසින් ඉවත ලද පත්තර කැබැල්ල, ෂොපින් බෑගය එකතු වන්නේ මොවුන්ගේ දෑතේ ශක්තියට පින් සිදු වන්නටය. එහෙත් අධාර්මිකව රුපියල්ක් හෝ සොයන්නට ඔවුන්ගේ සිත නොනැමෙන්නේ මන්දැයි සිතාගත නොහැකිය. ඒ සියල්ල ඔවුන්ගේ දෛවය ඔවුන්ට දුන් දායාදයක් හා සමානය. ජීවිතය යනු එක අතකින් බලන විට පුදුමයකි.

‘‘ජීවත් වෙන්න ඕනෙ නිසා මේ රස්සාව කරනවා ඇරෙන්න මහත්තයෝ අපිත් කැමැති නෑ මේ කුණු ගොඩවල් එක්ක ඔට්ටු වෙන්න. දරුවො දෙන්නයි බිරිදයි මමයි තුන් හතර දෙනාම ජීවත් වෙන්නෙ මේ ලැබෙන සොච්චම් මුදලෙන්. පුතාලා දෙන්නා ඉස්කෝලෙ යනවා. දෙවියන්ගෙ පිහිටෙන් හොදට ඉගෙන ගන්න පුළුවන්. දවසක එයාලා මේ ලෝකෙ දිනලා එනවා දකින්න තමා මගේ මේ ඇස් දෙක බලාගෙන ඉන්නෙ. එදාට එයාලා කියයි අපේ තාත්තා නගරෙ කුණු අදින රස්සාව කරලයි අපිව මෙතෙන්ට ගෙනාවේ කියලා. අන්න එදාට මට සැනසිල්ලෙ මැරෙන්න පුළුවන් මහත්තයෝ.

සුවිසල් නගරයේ එතැන සිටි අයෙක් කීවේ එහෙමය. ඔවුන් මේ ජීවන වාලුකා කතරේ කොතරම් අල්පේච්ඡතාවක් පුරුදු පුහුණු කර ඇද්දැයි ඒ වචන ටිකම උපැහරණ දක්වන්නේ නොවේදැයි සිතේ.

‘‘ඉඳලා හිටලා ඇඟේ මහන්සියටත් එක්ක පොඩ්ඩක් සප්පායම් වෙන එක ඇත්ත. ඒත් ඒකෙන් කාටවත් කරදරයක් නෑ. මහා මන්දිරවලට වඩා මගේ ගේ ඇතුළේ හරි සතුටින් කාලය ගත වෙනවා. දුක සතුට කියන දේ අපි හොදට දන්නවා. අත්විදලා තියනවා. සමහර මිනිස්සු අපි ළඟින් යන්නේ නහය වහගෙන. මම හිනා වෙලා ඒ අය දිහා බලන් ඉන්නවා. දැන් ඒවා හොදට පුරුදුයි මහත්තයෝ. මේ අත්වලින් කුණු ගොඩවල් කොයි තරම් ඇද්දත් ඒ කුණු ගොඩවල්වල ඉන්න එක සතෙක්වත් අපි මරන්නෙ නෑ. ඒ තරම් අනුකම්පාවෙනුයි අපි මේ රස්සාව කරන්නෙ“

තවත් අයෙක් කියා සිටියේ ඉතා උපේක්ෂා සහගතවය. ලස්සනයි කැතයි කියා බොහෝ දෙනා බොහෝ දෑ බදාගන්නා මේ ලෝකයේ ඔවුන්ගේ මිනිසත්කම මෙසේවත් පන්හි‍ෙඳෙන් ගෙත්තම් කිරීමට ලැබීම ඔවුන්ට ශක්තියක් යැයි සිතේ. නැගෙනහිරන් පායා බටහිරින් බැස යන හිරුත්, පුන් පෝදාට මේ මුළු ලෝකයම එළිය කරන සදත්, වා තලයේ සුළගට ලෙළෙන මේ පින්බර ගහ කොළ සතා සිව්පාවත් ආදී සෑම සියලු දේ මේ සියලු දෙනාටම අයිති වන්නා සේ ඔවුන්ටද ඒවායේ උරුමයක් තිබේ. මහා ඉහළින් මිනිසුන් වෙනුවෙන් කෑ මොර දෙන බොහෝ මිනිසුන්ගේ දෙනෙත්වලටත්, මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් තුන් තිස් පැයම කැපකරන උත්තමයන්ගේ හෘදය සාක්ෂියටත් මේ දුක්බර අහිංසක මිනිසුන්ගේ ජීවිතද දිස්වන්නේ නම් එයම සමස්ත මනුෂ්‍ය වර්ගයා කෙරෙහි කරන්නා වූ මහා සේවයක්ම වන්නේය.

එම්. එම්. ක්‍රිෂාන් ගල්ගමුව

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.