අතීතයෙන් වර්තමානයට සහ වර්තමානයෙන් අනාගතයට | සිළුමිණ

අතීතයෙන් වර්තමානයට සහ වර්තමානයෙන් අනාගතයට

 මිනිස් වර්ගයාගේ ජීවන චර්යාව ‍උඩුයටිකුරු කරමින් තාක්ෂණයේ සුළිසුළඟ, ජාති, කුලමල, ගෝත්‍ර වැටකඩොලු සහ දේශ සීමා මායිම් බිඳ දමමින් හමායයි. ඒ සුළිසුළඟට හසුනොවී සිටීමට කිසිවකට හෝ කිසිවකුට නොහැකි ය‍. 20 වැනි සියවසේ මුල් දශකයේ එනම් 1900 විසූ මිනිසුන් සිහිනයකින් වත් නොසිතූ ලෝකයක් විසි එක්වන සියවසේ දෙවැනි දශකයේ වාසය කරන අපි අත් විඳිමින් සිටිමු. එදා අශ්වයකු විසින් ඇඳගෙන ගිය අශ්ව කරත්ත, ගවයකු විසින් ඇඳගෙන ගිය බර කරත්ත, අද දැකගත හැකිවන්නේ පෞරාණික භාණ්ඩ දැක බලා ගැනීමට තබා ඇති කෞතුකාගාර වැනි ස්ථානවල පමණකි. 20 වැනි සියවසේ මැද භාගයේත් දකින්නට සිටි කත් කාරයන්, වට්ටි අම්මලා අද දැක ගත හැක්කේ ‍ටෙලි නාට්‍යවල, සිනමා පටවල හෝ පැරණි චිත්‍රවල පමණකි. ලෝකයේ එක් කෙළවරක සිට අනිත් කෙළවරට පැය ගණනකින් ගමන් කළ හැකිවේ යැයි අපේ මුතුන් මිත්තෝ කල්පනා කළේ ද? ලෝකයේ ඕනෑම තැනක සිදුවන සිදුවීමක් ඒ ක්ෂයකින් ම අපටත් එම ස්ථානයේ සිටියාක් මෙන් දැකගන්නටත් අසන්නටත් ලැබේවි යැයි අතීතයේ වාසය කළ බොහෝ මිනිසුන් නොසිතූ බවට නම් සැකයක් නැත. එහෙත් අද එය යථාර්ථයකි.

මිහිපිට වාසය කරන තත්ත්වයන් අතර මනස මෙහෙයවා නිර්මාණ කිරීමේ හැකියාව ඇත්තේ මිනිස් සත්ත්වයාට පමණකි. මූලික මිනිස් සම්පතක් වන මේ හැකියාව අසීමිත ලෙස දියුණු කළ හැකි ය. උපදින රට, ජාතිය කුලය හෝ ගෝත්‍රය, සමාජ තත්ත්වය, අධ්‍යාපන මට්ටම ආදිය කුමක් වුවත් මිනිසාට විශේෂ වූ චරිත ස්වභාවයක් ඇත. එනම් අලුත් වෙනසක් දැකීමට ඇති ආශාවයි. කුතුහලයයි. අත්හදා බැලීම් කිරීමට ඇති කැමැත්තයි. සාම්ප්‍රදායික නොවන විසඳුම් සොයා යාමට ඇති ආශාවයි. මිනිසාගේ ආශාව සහ ප්‍රතිභාව සියලු ම කලාත්මක සහ නව නිපැයුම්වල ප්‍රභවස්ථානය වේ. මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම සහතික කරනුයේ නිර්මාණයන්ගෙනි. අප අද අත් විඳින සැප පහසුකම් මිනිසුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් සහ කුසලතාවන්ගේ ප්‍රතිඵලයයි. ඒ ප්‍රතිඵල හැමවිටම අපේ ජීවිතවල යහ පැවැත්මට හේතු නොවිය හැකි ය. මිනිස් සංහතියට හානිකර නිපැයුම් කරන්නේ ද මිනිසුන් විසින්ම ය. මිනිස් සංහතියටම මහා විනාශයක් ගෙන දෙන අවි ආයුධ නිර්මාණය කරන්නේ ද මිනිසුන් ම ය.

ඈත අතීතයේදී මිනිසුන් ලබා ගත් සාම්ප්‍රදායික දැනුම ගබඩා කොට තබා ගත හැකි ක්‍රමයක් නොවී ය. එබැවින් ඔවුහු තමන් ලබා ඇති දැනුම වනපොත් කොට මුඛ පරම්පරාගතව රැකගෙන ආහ. එසේ කිරීමේදී සමහර තොරතුරු මතකයෙන් ගිලිහී ගිය අතර අලුතින් තොරතුරු එක්වීම ද තොරතුරු විකෘති වීම ද සිදුවිය. තවත් සමහර තොරතුරු ඕනෑකමින් ම අමතක කර දමන්නට ද ඇත. ගුරු මුෂ්ටිය තබා ගැනීම නිසාත් බොහෝ වැදගත් තොරතුරු ගිලිහී යන්නට ඇත.

එහෙත් පසුකාලීනව සාම්ප්‍රදායික දැනුම ලේඛන ගත කිරීමට හැකි විය. ලී පතුරු, සේද රෙදි, පුස්කොළ සිට කඩදාසි දක්වා දැනුම ලේඛන ගත කිරීමේ ක්‍රමය වර්ධනය වෙමින් පැවත ආවේය. වර්තමානයේත් දැනුම ගබඩා කර තබා ගත හැකි ප්‍රධානම ක්‍රමයක් ලෙස සැලකෙන්නේ කඩදාසිවල අතින් ලියා හෝ මුද්‍රණය කර පොත්පත් වශයෙන් සකස් කර තැබීමයි. අතීතයේ මෙන් වනපොත් කිරීමේ අවශ්‍යතාවක් නැති වුවත් තවමත් කටපාඩම් කිරීමේ සාම්ප්‍රදායික පුරුද්ද අප වෙතින් බැහැර ගොස් නැත. පොත්පත්වල ගබඩා කර ඇති දැනුම ලබා ගැනීමට නම් පොත් සොයා යා යුතුයි. පොත් තැන්පත් කර ඇති පුස්තකාලවලට ගොස් පොත් ලබාගෙන කියැවීමට හැකියාව ඇත. එහෙත් තමන්ට අවශ්‍යවන විෂයයට අදාළ පොත ක්ෂණයකින් ලබාගෙන තමන්ට අවශ්‍ය තොරතුර ක්ෂණයකින් ලබාදීමට පොත්පත්වලට හැකියාවක් නැත.

එහෙත් වර්තමාන ඩිජිටල් තාක්ෂණයෙන් මෙයට පිළියම් ලැබී ඇත. දැනටමත් බොහෝ තොරතුරු අන්තර්ජාලයේ ගබඩා කර ඇත. එක් එක් විෂයය ක්ෂේත්‍රයට අදාළව වෙනම වෙබ් අඩවි පවත්වාගෙන යනු ලැබේ. නවතම සොයා ගැනීම, නව දැනුම පවා ඒවා සොයා ගත් සැණින් අන්තර්ජාලයට එක්වන බව දක්නට ඇත. නව දැනුම රැගත් පොත් මුද්‍රණය කිරීමට කාලය ගත වුවත් අන්තර්ජාලයට එක් කිරීම ක්ෂණයකින් සිදු කළ හැකි ය.

අනාගත පරපුරට තම මනසේ මතක ගබඩාවේ තොරතුරු තැන්පත් කර ගැනීමට, කටපාඩම් කිරීමෙන් මනස වෙහෙස කරවීමේ අවශ්‍යතාවක් ඇතිවන බවක් නොපෙනේ. දැනටමත් අන්තර්ජාලයේ සහ විද්‍යුත් මෙවලම්වල ගබඩා කර ඇති තොරතුරුවලට ප්‍රවේශ වීමේ ක්‍රමය දැන සිටීම ප්‍රමාණවත් වේ. තමන්ට අවශ්‍ය තොරතුරු අන්තර්ජාලයෙන් හෝ විද්‍යුත් මෙවලමකින් ක්ෂණික ව ලබා ගත හැකි බැවින් වඩාත් ප්‍රයෝජනවත් කාර්යයකට මනස යෙදවීමට දැන් ඉඩකඩ විවෘතව ඇත‍.

මිනිසා කායික සහ මානසික ශ්‍රමය වැය කරමින් මෙතෙක් කල් සිදු කළ කටයුතු බොහොමයක් අනාගතයේදී එසේ කිරීමේ අවශ්‍යතාවෙන් නිදහස් වනු ඇත. බිළිඳු දරුවාගේ සිට මහල්ලා දක්වා වන සියල්ලෝම වර්තමානයේ සිදුවෙමින් පවත්නා තාක්ෂණික විප්ලවයේ ඵල විපාක භුක්ති විඳීමට දැන් සිට ම සූදානමින් සිටිය යුතු ය. එය යහපත් විය හැකි ද අයහපත් විය හැකි ද යන්න වෙනම කාරණයකි. නුදුරු අනාගතයේදී ම පාසල්වල ඉගැන්වෙන පාඨමාලාවල වෙනසක් සිදුවෙනු ඇත. සාම්ප්‍රදායිකව උගන්වනු ලබන විෂයයන් අහෝසි වී නව විෂයයන් එම ස්ථානයට ආදේශ වනු ඇත. එපමණක් නොව විභාග ක්‍රමයේ ද වෙනසක් ඇතිවනු ඇත. ළමයින්ට විභාගවලින් අසමත් කිරීමේ ක්‍රමය වෙනුවට ළමයාට අනාගතයට සාර්ථකව මුහුණ දිය හැකි ක්‍රමවේදයක් සැකසෙනු ඇත. මෙය අප රටට පමණක් සීමා වන්නක් නොව මුළු ලෝකයේ ම සිදුවන පෙරළියක් වනු ඇත.

සාම්ප්‍රදායික රැකියා බොහොමයකට ඉදිරි අනාගතය සුබදායක නොවන බව පෙනේ. කායික සහ මානසික ශ්‍රමය වැය කරමින් මෙතෙක් කල් සිදු කළ බොහෝ කටයුතු තාක්ෂණයේ ආධාරයෙන් ඉතා නිවැරදිව සහ කාර්යක්ෂමව සිදු කිරීමට හැකිවෙනු ඇත‍. නිදසුන් කිහිපයකින් මේ කාරණය පැහැදිලි කිරීමට අදහස් කරමි. අනාගතයේදී ගිණුම් ලිපිකරු, පොත් තැබීම් ශේෂ පත්‍ර පිළියෙළ කිරීම ආදී මානසික ශ්‍රමය වැය කරමින් කළ වැඩ එසේ කිරීමට අවශ්‍ය නොවනු ඇත. දැනටමත් එම තත්ත්වයට ප්‍රවිශ්ඨ වී හමාර ය. පරිගණකය ඇසුරෙන් වඩා නිවැරදිව සහ කඩිනමින් ගිණුම් පිළියෙළ කරගත හැකි ය. බලශක්තිය ලෙස ඛනිජ තෙල් යොදා ගැනීම තවත් නිදසුනකි. නුදුරු අනාගතයේදී ම ඉන්ධනයක් වශයෙන් ඛනිජ තෙල් භාවිතා කිරීම අවශ්‍ය නොවනු ඇත. එවිට සිදුවන්නේ ඉන්ධනහල් වැසී යාමයි. ඒවායේ රැකියාවල නියුතු අයගේ රැකියා අහිමිවීමයි. එ පමණක් ද නොවේ. ඛනිජ තෙල් උපදවන රටවල දැනට ඇති රැකියා උල්පත ඛනිජ තෙල් මෙන් ම සි‍ඳෙනු ඇත. වාහන ප්‍රතිසංස්කරණය කිරීම තවත් නිදසුනකි.

නුදුරු අනාගතයේදී විදුලි බලයෙන් ක්‍රියාකරන වාහන භාවිතය වැඩිවීමත් සමඟ මෝටර් රථ කාර්මිකයන්‍ට වැඩ නැතිවේ. තැපැල් කාර්යාල තවත් නිදසුනකි. දැනටමත් ලිපි මඟින් සිදු කරන කටයුතු බොහොමයක් ඊට වඩා කඩිනමින් සහ කාර්යක්ෂම ලෙස කිරීමට තාක්ෂණයේ පිහිට ලැබී ඇත. අතීතයේදී විදුලි පණිවිඩ යැවූ නමුදු වර්තමානයේ SMS පණිවිඩයක් මඟින් අඩු වියදමකින් කඩිනමින් එය කළ හැකි ය. ෆැක්ස් යන්ත්‍රයකින් කඩිනමින් ලිපි යැවිය හැකි ය. මේ නිසා තැපැල් කාර්යාලවල සේවකයන්ට කිරීමට වැඩ නැතිවේ.

සාම්ප්‍රදායික රැකියා අහෝසි වූවත් ඒ වෙනුවට නව රැකියා අවස්ථා බිහිවෙනු ඇත. ඒ සඳහා සුදුසුකම් ලැබීමට වර්තමාන සිසු පරපුර සූදානමින් සිටිය යුතු ය.

බොබී. ජී. බොතේජු

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.