හිට්ලර්ගේ ඇමති මණ්ඩලය | සිළුමිණ

හිට්ලර්ගේ ඇමති මණ්ඩලය

මින්, වසර 78 කට පෙර ඉතිහාසයේ අද වැනි දවසක එනම්, 1939 සැප්තැම්බර් 10 වන දින, ජර්මන් ජාතික හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමග දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වීය. දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමට පෙරත්, ආරම්භවු පසුත්, හිට්ලර්ගේ ඒකාධිපති වියරුව තුළින් ලෝකයේ ඇති වීමට යන බිහිසුණු ඛේදවාචකයට විරුද්ධව කලා ප්‍රවණතා බිහි විය. එම කලා ප්‍රවාහයන්ගේ ශ්‍රේෂ්ඨ පෙරගමන් කරුවෙකු ලෙස ජර්මන් ජාතික නාට්‍ය රචක බර්ටෝල් බ්‍රෙෂ්ට් හැඳින්විය හැකිය. ඔහු විසින් රචනා කරන ලද, Hitler’s Cabinet of Ministers කවි පන්තිය විජිත ගුණරත්න ‘හිට්ලර්ගේ ඇමැති මණ්ඩලය’ ලෙස සිංහලට අනුවර්තනය සිදු කර ඇත. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසින් මෙම ගීතය සඳහා සංගීතය සංරචනා කිරීමෙන් අනතුරුව කලා ශිල්පීන් යොදා එම ගීතය ප්‍රාසාංගිකව රඟ දක්වා ඇත.

‘හිට්ලර්ගේ ඇමති මණ්ඩලය’ ගීතයේ පසුබිම් කතාව තුළින් හෙළිවන්නේ, ද මේ පොළොවේ පැවති සමාජ යථාර්ථයේම පිළිබිඹුවකි. 1986 වර්ෂයේ දී ඉතිහාසයේ පළවෙන් වතාවට පැවති රජය මැයි දිනය තහනම් කරයි. එයට විකල්පයක් වශයෙන් එවකට ලංකාව පුරා විසිරී සිටි කලාකරුවන් සහා දේශපාලන කණ්ඩායම් එකතු වී ‘නිදි නැති නදියේ නාදය’යනුවෙන් ප්‍රාසාංගික වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. එහි මුලික අරමුණ වී ඇත්තේ, මතවාදි අරගලයක් ප්‍රේක්ෂකයා තුළ ඇති කර පැවති සමාජ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය සංවාදයක් ජනතාව තුළ ඇති කරීමයි. ඒ ඔස්සේ යමින් කලා භාවිතයන් ඔස්සේ සක්‍රීය මැදිහත් වීමක් සිදු කරයි. ඒ තුළින් පැවති සමාජ, ආර්ථික, දේශපාලනික සහා සංස්කෘතිය රටාව පිළිබඳ සාමාන්‍ය ජනතාව තුළ කතිකාවක් ගොඩනඟයි.

වසර 31ක් ගෙවී ගිය ද මේ මොහොතේදීත් පවතින දේශපාල යථාර්ථය එම ගීතය තුළින් මැනවින් සන්නිවේදන වේ. හිට්ලර්ගේ මැති ඇමතිවරු ගීතය පිළිබඳ ගයත්‍රී කේමදාසයන් ගේ කටහඬ මෙසේ අවදි විය,

‘Art is not a mirror to reflect reality, but a hammer with which to shape it.

- Bertolt Brecht-

“කලාව, යථාර්ථය පිළිබිඹු කරන කැටපතක් නොව, මිටියකින් පහර දෙන්නා සේ, යථාර්ථය වෙත කිඳා බස්සවා, කෘතියෙන් පරිබාහිරව කෘතිය සමග කතිකාවක් මිනිස්සු විදිහට ප්‍රේක්ෂකයා තුළ ඇති කරයි.”

මෙම අදහස මත පදනම් වූ ඔහුගේ එපික් නාට්‍යය සිද්ධාන්තය තුළින් ඉතා ප්‍රබලව ප්‍රේක්ෂකයා සෑම මොහෙතක්ම වඩාත් සවිඥානික තල වෙත ගෙනයයි. ප්‍රේක්ෂකයා කෘතිය තුළ පවතින අවස්ථා, සිද්ධි, ගැටුම් සහා චරිත සමග උපේක්ෂා සහගතව විවෘත මනසකින් සෑම තප්පරයක්ම කෘතියෙන් කියැවෙන යටිපෙළ වෙත විවෘත කරයි. සෑම විටම නරඹන්නා තුළ ජීවත් වන මිනිසා සිය අභ්‍යන්තරය සමග තාර්කික සංවාදයකට යොමු කර ප්‍රේක්ෂකයා තුළ ප්‍රඥාව වඩන, බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ නිර්මාණ කෘතීන් තාත්තා සෑම විටම අගය කළා. ඒවත් එක්ක වැඩ කළා.

බර්ටෝල් බ්‍රෙෂ්ට් සමග වැඩ කරපු සංගීතඥයින් දෙදෙනෙක් හිටියා. ජර්මන් ජාතික Kurt Weill (Von Otter – Speak Low )සහා ඔස්ට්‍රියන් ජාතික Hanns Eisler-(Bertolt Brecht -United Front Song (Das Einheitsfrontlied) අපිට වැදගත් මේ සංගීතඥයින්ගේ සංගීත ශෛලීන් දැන සිටීම. මෙම සංගීතඥයින් ඔවුනගේ සංගීත නිර්මාණ තුළින් පැවති සංගීත ශෛලීන්ගේ වෙනස්කම් ඇති කරනවා. පළමු සහා දෙවන ලෝක යුද්ධයේ ඛේදවාචකයේ පැවති ගැඹුරු අන්ධකාරය ඔවුන්ගේ සංගීතය තුළින් නිරූපණය වෙනවා. මිනිස්සුන්ගේ පීඩනයේ පැවති ඇතුළු අභ්‍යයන්තයේ වේදනාව එළියට එන සටන්කාමී සංගීතයක් ඔවුන් නිර්මාණය කරනවා.

ඔවුන් ඒ වන විට පැවැති ඉහළ සමාජ පන්තියේ රසවින්ඳනය නියෝජනය කළ සාම්ප්‍රදායික ඔපෙරා ආකෘතියෙන් ඔබ්බට ගොස් සිතන්න පටන් ගන්නවා. ඔපෙරා වැනි සම්භාව්‍යය ශෛලියක් මත පිහිටා පීඩිතයන්ගේ කතාවක් පීඩිතයන් වෙත ගෙනයා නොහැකි බව ඔවුන් තරයේ විශ්වාස කළා. එම විශ්වාසය යථාර්ථයක් බවට පත් කරමින් කර්ට් වයිල් (Kurt Weill) සහා බර්ටෝල් බ්‍රෙෂ්ට් (Bertolt Brecht) එකතුවෙලා Mohoganny Songspiel නැමති කලා කෘතිය නිර්මාණය කර බොක්සිං පිටියක මුල්වරට ප්‍රදර්ශනය කරනවා. ඔවුන් ඒ තරම් දුරකට කලා කෘතීන්ගේ ප්‍රාසාංගික ආකෘතික ස්වරූපයන් වෙනස් කර සටන්කාමී ලෙස සාමාන්‍ය ජනයා අතරට ගෙනයනවා.

තම රචනාවල පැවති ගැඹුරු යටිපෙළ අර්ථයන්, ඔස්ට්‍රියන් ජාතික හැන්ස් අයිසර්ගේ (Hanns Eisler) සංගීතයෙන් තවදුරටත් අර්ථවත් වන බව බ්‍රෙෂ්ට් විශ්වාස කළා. පැවති සංගීත සංස්කෘතීන් මත සිටි පිරිස හැන්ස් අයිසර්ගේ (Hanns Eisler) සංගීතය සරලයි යනුවෙන් බැහැර කරන විට බ්‍රෙෂ්ට් කියා සිටියේ ‘එම සංගීතඥයා ඉතාමත් සංකීර්ණ ප්‍රශ්න, සංගීත මාධ්‍යය ඔස්සේ ඇඳහිය නොහැකි ලෙස මිනිසා වෙතට ගෙනයනු ලබන බවයි. එහෙයින් එය සරල සංගීතයක් නොව ඉතා ගැඹුරු තලයක පවතින සංකීර්ණ සංගීතයක් බවයි.’

එදා සමාජය තුළ මේ වෙන්න යන්නේ කුමක් ද? කියන දෙය දේශපාලන විශ්ලේෂකයින්ට වඩා ඉදිරියෙන් සංගීතඥයින් දැක්කා. එසේ සමාජය දැකපු සංගීතඥයින් එම සමාජ ඥානය, විවිධ සංගීත භාවිතයන් ඔස්සේ මිනිසුන් වෙතට ගෙන ගියා. ඒ තුළින් එළියට එන සත්‍යය දරා ගන්න පුළුවන් පිරිසත් හිටියා. එය පිළි නොගෙන බැහැර කරන පිරිසත් හිටියා. ඒ අයට මේක දරා ගන්න බැරිවුණා. බොහෝ පිරිසක් අකැමැති අපි අත්දකින ප්‍රශ්න කණ්ණාඩියක් අල්ලලා මුණට පෙන්නනවට. එහි දී අපි මුලින්ම කරන්නේ ඒ ප්‍රශ්න පිළිගන් නැති එක. ඒච්චර කාලෙකට ඔවුන් පුරුදුවෙලා හිටියේ හවසට ගිහිල්ලා සාම්ප්‍රදායික ඔපෙරාවන් රසවිඳලා දන්න අයත් එක්ක විනෝද වෙලා අත්පුඩි ගහලා ගෙදර යන්න.

ඒත් මේ ඇහෙන දකින කලා කෘතීවලින් අන්තර්ගත සංගීයේ අත්පුඩ් ගහලා ගෙදර යන්න අවස්ථාවක් නෙමෙයි තියෙන්නේ. නුදුරු අනාගතේ දීම ඇතිවීමට නියමිත බිහිසුණු යුද්ධයක් පිළිබඳ ඉඟියක් ඒ තුළින් මිනිස් ජීවිත වෙත රුගෙන යනවා. ඒ ඉඟි තුළ ජර්මනිය, ඔස්ට්‍රියාව පොළොව මත ලියලා වැඩෙමින් පැවති කුරිරු යුද්ධයේ සාහසික ආධිපතිත්වයත්, මිලේච්ඡ ප්‍රචණ්ඩත්වයේත් අඳුරු සෙවනැලි මිනිස් ජීවිත යටකරන බව සටහන් වී තිබුණා. ඛේදවාචකය ලියලන පොළොවක මිනිස් රුධිරයේ දෝංකාරයේ වේදනාව සංගීතය තුළින් මේ මිහිපිට මිනිසා වෙනුවෙන් වැයුණා. ඉතිං මේ සංගීතය ප්‍රේක්ෂකයාගේ ඇහැට ගෙනහල්ලා ඇණයක් ගැහුවා වගේ. එම සත්‍යය ඒ මොහොතේ බාර ගන්න මිනිස්සු බහුතරයක් කැමති වුණේ නෑ. පසු කාලීනව තමයි, මිනිස්සු එය අගය කරන්න පටන් ගන්නේ.

කර්ට් වයිල් (Kurt Weill) ගත්තත් , හැන්ස් අයිසර් (Hanns Eisler) ගත්තත්, ඔවුන්ට වෙනස් වෙන සංගීත ඉතිහාසයක් තිබුණා. හවසට ඔපෙරාවක් බලලා, ඔපෙරාව පිළිබඳව අධ්‍යාපනය තුළින් හදාරලා එය ඉගෙන ගෙන ඉන් පසුවයි ඔවුන් පැවැති ඔපෙරාව බැහැර කරන්නේ. මේ කියැවුණු සංගීත ඉතිහාසයෙන් තණකොළ ගහක් තරමවත් මේ පොළොවෙන් එළියට ඇවිත් නැති පරිසරයක තාත්තා හිට්ලර්ගේ ඇමති මණ්ඩලය ගීතය බ්‍රෙෂ්ට්ගේ රංඟ රීතිය ඔස්සේ ගොඩනගනවා. එය ඉතාමත් සුවිශේෂී වන්නේ බ්‍රෙෂ්ට් ජර්මනියෙදී අත්දැකපු සමාජ දේශපලන යථාර්ථයේම කොටස් මේ සමාජයෙත් පැවැතීමයි. තාත්තා හැමදාමත් සාමාන්‍යය මිනිස්සුන්ගේ පැත්තේ හිටපු කෙනෙක්. හිට්ලර්ගේ ඇමති මණ්ඩලය ගීත මගින් මිනිස්සුන්ගේ තියෙන අරගලය, සංගීතයයි, වචනයි, රංඟනයයි එකතු කරලා හාස්‍යමය උත්ප්‍රාසය තුළින් පවතින දේශපාලන ක්‍රමය පිළිබඳ නිරූපණය කරනවා. ඒ තුළින් මේ සමාජ ක්‍රමයේ දේශපාලනික යථාර්ථය සෑම මනුස්සයෙකුටම තේරෙන විදිහට කියැවෙනවා.

හිට්ලර්ගේ ඇමති මණ්ඩලය

මැති ඇමතිවරු ඇමතිවරු – සීරුවෙන්

සීරුවෙන්

පෙන්වා දෙති වැසියනට – ලෙහෙසි

නැති පහසු නැති

කාරියක් බව රට පාලනය – රට පාලනය//

මැති ඇමති වරු සීරුවෙන් පෙන්වා දෙති

වැසියනට ලෙහෙසි නැති පහසු නැති

කාරියක් බව පාලනය රට පාලනය රට

පාලනය රට //

අපේ ගරු ඇමතිවරු නොමැති නම්

දෙරණ මත

ගොයම් බීජ අංකුර උඩ අතට නොව –

මඩ යටට

ඇදෙනවා සිකුරුයි

දෙයියනේ

සත්තයි සත්තයි සිකුරුයි සිකුරුයි //

බල ශක්ති පාලනයටත්

නොසිටින්න

ලොක්කෙක් ////

එන්නේ නැහැ එක අඟුරු කැටයක්

මේ පොළෝ ගැබ තුළින් ඉහළට

ලොක්කෙක් නැත්නම්,

නැත්නම් ලොක්කෙක්//

ආගමට සදාචාරෙට වගකියන උතුමන්ට

ආයු බෝ නොවේ නම්

නිසි කලට කිසි ළඳක් වෙයි ද ගැබ්බර

සැකයි (කට කට කට)

නොසිටින්න යුද ඇමති යුදයක්වත්

පුළුවන් ද කෙරුමට

නොසිටින්න යුද ඇමති යුදයක්වත්

කොරාවි ද

ඔය අතර මේ ටිකත් සිතා බැලුවොත් හොඳයි

මහ ඇමති ගේ අවසරය//

නොලැබුණොත් නම් ඉතින්

කුකුළා ගෙන අතින් පායයි ද හිරු දෙවියෝ

පායයි ද හිරු දෙවියෝ//

එහෙම වුණොත් නැහැ කිසි සැකයක්

පායාවි හිරු දෙවියෝ

බටහිර අහසින් අගේට///

මහ ඇමතිගෙ අවසරය නොලැබුණොත්

ලෙහෙසි නැහැ පහසු නැහැ කම්හලක

පාලනය//

නොමැති නම් කොටස් හිමියන්- බිත්ති

පුපුරා බිම වැටී

මළ බැඳී දිරා යාවී මැෂින්

වදාරති නිලදරුවෝ දරුවෝ//

භක්තියෙන් වගකීමෙන්

දේව බැල්මක් මහා අසිරියක්//

මිනිසා තවමත් නගුල් හැදුවත්//

ගොවියෝ නොදනී,

කිසිම හසරක්//

එහෙවු එකේ කැපවී මුළු හදින්

ප්‍රචාරය දෙන කොම්පැනි වලට පිං

නගුල දෙනවට ගොවියගේ ඔළුවට//

ප්‍රචාරය දෙන කොම්පැනි වලට පිං

කොම්පැනි වලට පිං

නොසිටින්න කුඹුරු හිමියෝ කුමක්

වෙයිදෝ කුඹුරු යායට

අනේ දෙවියනි හෙළනු මැන නෙත් වී

ඉහින කුඹුරු වල

පොල් ගසුත් හිටවාවි ගොවියෝ

රට පාලනය කිරීමත් ඒ තරම් සුළු වැඩක් නම්

කෙස් පැලෙන මත ගෙනෙන

ඔළුගෙඩි මොකට කෙරුමන්ට?

යන්තරය දුවවන්න දුවවන්න

දන්නවා නම් කම්කරුවෝ කම්කරුවෝ//

කුඹුරුක පිඟානක වෙනස තෝරා දෙන්න

දන්නවා නම් ගොවියෝ – ගොවියෝ

කොටස් හිමියන් ඉඩම් හිමියන්

මිහිමතට තවත් මොකට ද?

අපි හැමෝම තකතීරුවෝ

අන්න ඒක නිසා තමයි

කෙස් පැලෙනා මොළකාරයෝ

අතළොස්සක් ඕන අපට//

සිතිය යුතුයි යළි යළි මේ ගැන අපිම

ඇයි රට පාලනය මේ තරමට අසීරු

සූරාකමින් බොරු කියමින් වැජඹෙන්න

යන්තම් හරි උගත්කමක් ඕනැ නිසාම ද?

අපි හැමෝම තකතීරුවෝ

අන්න ඒක නිසා තමයි

කෙස් පැලෙනා මොළකාරයෝ

අතළොස්සක් ඕන අපට

රචනය : විජිත ගුණරත්න

(Dr. Premasiri Khemadasa - Mathi Amathiwaru – YouTube)

(ඉදිරි කලාපය හා සම්බන්ධයි.)

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.