ගබ්සාව නීත්‍යනුකූල කිරීම | සිළුමිණ

ගබ්සාව නීත්‍යනුකූල කිරීම

අතවරයකට ගොදුරු වීමෙන් කළල දරා සිටින ස්ත්‍රීන්ට සහ ජන්ම විකෘතිතා සහිත කළල දරා සිටින ස්ත්‍රීන්ට ගබ්සාවේ අයිතිය පවරා දීම වෙනුවෙන් ලංකාවේ ෙවෙද්‍යවරුන් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ පනත් කෙටුම්පත ගෙන එන වෛද්යපවරුන් හුදෙක්ම මතු කරන්නේ සිය වෘත්තීමය යුතුකමක් සමාජීය වශයෙන් ඉටු කිරීමට පමා වී හෝ කාලය ලබාගත යුතු බවකි.

නමුත් ආගමික අර්ථයෙන් ‘‘කවර තත්ත්වයක් යටතේ හෝ ගබ්සාව එපා‘‘ යන්නෙන් ඊට ප්‍රතිවිරුද්ධව ඉදිරිපත් කොට ඇති චෝදනාව තුළ කියැවෙන්නේ මිනිස් මැදිහත්වීමක් සහිතව සිදුවන ගබ්සාව සාපරාධී වරදක් කොට ආගමානුකූලව සලකන බවයි. 1883 දණ්ඩ නීති සංග්‍රහයේ 303 වැනි වගන්තිය යටතේ දරුගැබ හෙයින් මවගේ ජීවිතය අවදානම් තත්ත්වයකට පත්ව තිබේ නම් විශේඥ වෛද්‍යවරුන්ගේ අනුමැතිය ඇතිව ගබ්සාව නීතිගතය. නමුත් ඊට අමතරව ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සා කිරීම් අවම වශයෙන් පන්සියයක්වත් සිදු වන බව කියැවේ. එය මුදල් උපයන වෙ‍ෙළඳාමක් සහ අයථා වාසි ලබන වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින පිරිසකගේ ජාවාරම්කාර මාෆියාවකි. සෞඛ්‍ය හා අධිකරණ අමාත්‍යාංශ ඒකාබද්ධව කැබිනට් අනුමැතිය ලබා ඇති මේ කොන්දේසි යටතේ ගබ්සාව නීතිගත කිරීම යනු ඒ මාෆියාවට නීතිමය රැකවරණය ලබාදීමක් නොවන බව කවුරුත් දන්නා නමුත් එය සඟවා කතා කිරීමට බහුතරයක් කටයුතු කරති.

දරුගැබ නිරෝගී නොවීම සහ ස්ත්‍රී දූෂණයක් නිසා ගැබ් ගැනීම යන කාරණාවන්ට මැදිවී සමාජයේ අතරමං වී සිටින ස්ත්‍රීන්ට සහ දරුවන්ට ඔබගේ ආගමික ඇදහිල්ල තුළ සමාවක් නැතිද? මනුෂ්‍ය ජීවයක් ඇතිවීම පරම පාරිශුද්ධ බව අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ආගමික කොටස්වලට මේ සමාජය පරම නොවන බව නොදකින්නේ ඇයි? අද නීතියේ වර්ධනීය අවස්ථාවක් සටහන් කරමින් කොන්දේසි යටතේ ගබ්සාව නීතිගත කිරීම යන මේ කතිකාව පූජ්‍ය පක්ෂයේ අන්තවාදීන්ට දියකර හැරිය නොහැකිය. මන්දයත් ස්ත්‍රියකගේ ‍ෙසෟඛ්‍ය ගැටලුවලට විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීම ආගමික නායකයින්ගේ කාර්යභාරයක් නොවන හෙයිනි. අනෙක් අතට දෛනිකව සමාජයේ වාර්තාවන ස්ත්‍රී දූෂණ හමුවේ නිහඬ පිළිවෙතක සිටින ඔවුන් පීඩනයට පත්වන්නෝ වෙනුවෙන් ක්‍රියා කර නැත. එහෙයින් දූෂණයට ගොදුරු වී දරුගැබක් දරාගත් කුඩා දැරියකට පරම පාරිශුද්ධ වූ ජීවියෙක් තනන්නට හැකිද? සමාජයේ සැබෑ වියවුලකට පිළිගත් වෛද්‍යවරුන් විසින් වෙනසක් යෝජනා කරන විටෙක ඊට ආගමානුකූල විග්‍රහයක් ඉදිරිපත් කිරීම කිසිවෙකුට කළ හැකිය. නමුත් ඒ මත පිහිටා බලපෑම් කිරීම ආගමික සංස්ථාවට සාධාරණ අයිතියක් නැත. විශේෂයෙන්ම ස්ත්‍රී දූෂණයකදී ගැබ් ගත් දැරියකගේ ගැබ රැක ගැනීම වෙනුවෙන් සටන් කිරීම ආගමික කණ්ඩායමකගේ කටයුත්තක් නොවනු ඇත.

ස්ත්‍රියකට තමාගේ සිරුර පිළිබඳ නැතහොත් විශේෂයෙන්ම ඇයට හිමි ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ අයිතිය සතුය. ගබ්සාව කුමන තත්ත්වයක් යටතේ හෝ එපා යැයි කියන්නෝ එක් උපකල්පනයක සිට ඉතා ජනප්‍රිය තර්කයක් මතු කරති. ඒ ස්ත්‍රීන්ට ගබ්සාව පිළිබඳ අයිතිය ලබාදීමෙන් විශාල වශයෙන් ගබ්සා කිරීම් රටේ ඇතිවිය හැකි බවයි. එදාමෙදා තුර උත්තරීතර මාතෘත්වය කෙ‍ෙළසන්නට හෝ ඊට නිගා කරන්නට පෙරදිග ස්ත්‍රිය කිසිවිටෙකත් සූදානම් නැත. පෙර සූදානම ඇත්තේ දූෂකයින්ට දාව දරුවන් තනා සමාජයේ පිළල ඇති කරන්නට තනන කළල නැති කරන්නටය. එය ඇගේත් මුළු මහත් සමාජයේත් සුභසිද්ධිය වෙනුවෙනි. සමාජ අසාධාරණයකින් තමා දරුවකුට උපත දෙන්නේද නැද්ද යන්න තීරණය කිරීමට ඇයට අයිතියක් තිබිය යුතුය. ඇගේ සිරුර පිළිබඳ තීන්දුව ගන්න ඇයට දෙන්න. පූජ්‍ය පක්ෂයට ඇගේ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ තීන්දු තීරණ සහ විවරණ ලබාදීම යුක්ති සහගත නැත.

ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනික වන බව ජනප්‍රිය කියමනකි. නමුත් ඊට ප්‍රතිවිරුද්ධව යමින් රජය විසින් ස්ත්‍රියකගේ සිරුර පිළිබඳ තීන්දු ගැනීමේ අයිතිය ඇයට ලබාදීමට දැන් කටයුතු කරමින් සිටී. එම ඓතිහාසික තීන්දුව ආගමික ආයතනයන්ට යට කළ යුතු නැත. පසුගිය කාලයේ කළු ගඟට සිය දරුවා දමා සැනසුම් සුසුම් හෙළුෑ තරුණියගේ දුක්බර කතාව අපට අමතක කළ නොහැකිය. ඒ නින්දාවට සහ අයුක්තියට ලක්වුණු ගැහැනියකගේ ජීවත්වීමට දැරූ අවසාන ප්‍රයත්නයයි. ඒ තරුණ මව, දරුවා සහ අපේ සමාජය පිළිබඳ කරන නිරූපණයට යථාර්තවාදී සහ දියුණු ප්‍රතිචාරයක් වර්තමානය විසින් පිළිගන්වන්නට යයි. වත්මන් රජය ඉටු කරන්නට යන එම සමාජ වගකීම වළලන්නට ආගමික හෝ සමාජ ව්‍යාරයකට ඉඩ දිය යුතුද? මාතෘත්වය යනු හුදෙක්ම ස්ත්‍රියකගේ උරුමයක් විනා කිසිවකු විසින් පැවරූ රාජකාරියක් නොවන බව ආගමික, සමාජීය සහ දේශපාලන ව්‍යාපාර තේරුම් ගත යුතුය. එහෙයින් කොන්දේසි දෙකක් යටතේ ගබ්සාව තහනම් කිරීමේ වත්මන් වැඩපිළිවෙල වැළැක්වීමට යන්නෝ සිහිතබා ගත යුත්තේ විකල්පය ගංගාවන්ට දරුවන් විසී කිරීම බවයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.