කියන කියුම් පරදවනා කරන | සිළුමිණ

කියන කියුම් පරදවනා කරන

වනගතව සිටි තාපසයෙක් නගරයට පිවිසියේය‍. දුර කතරක් ගෙවූ තාපසයා නැවැතීමට කුටියක් සෙවීය. එහෙත් ඔහු සිතන අයුරින් කුටියක් නොලැබුණේය. මේ නිසා මඟ දිගට කුටියක් සොයමින් ගමන් කිරීමට සිදුවිය. මෙලෙස ගමන් ගත් තාපසයාට මාර්ගයේ වැටී තිබී කාසියක් ලැබුණි. නගරයේ මිනිත්තුවක් හෝ ජීවත් වීමට අවශ්‍ය නම් මුදල් පරිහරණය කිරීමට සිදු වෙනු ඇත. මේ නිසා තාපසයා කාසිය අහුලා ගත්තේය. වනාන්තරයට වී භාවනායෝගීව ගත කළ කාල පරාසයේදී නුවර කෙතරම් වෙනස් වී ඇත් ද යන්න පිළිබඳ විමසූ විට එය පුදුමය උපදවන තරම් විය. අලුතින් දියුණු වූ නගරයේ වුවත් වාහන ගමන් ගත්තේ ඉතා සෙමින්ය. එක් කාර් එකක් එක් පුද්ගලයකුට පමණක් සීමා විය. දහවල් දානයට යමක් ලබා ගැනීමට වනාන්තරයේ මෙන් නොහැකිය. මේ නිසා මුදල් ගෙවා ආහාර ලබා ගැනීමට තාපසවරයා උත්සාහ කළේය. එහෙත් නගරවැසියෝ මුදල් අය කිරීමකින් තොරව ආහාර පූජා කළහ. මේ නිසා මේ කාසිය තාපසයා සන්තකයේ තිබුණි. කාසියෙන් තමන්ට වැඩක් නැති බැවින් කාසිය කාට හෝ පිරිනැමීමට තාපසයා සිතීය. එහෙත් එය දීමට තැත් කිරීමේදී කිසිවකු එය නොගත්තේය. අවසානයේ තාපසයාම කාසිය තබා ගත්තේ මොන මොහොතක හෝ කාසිය අවශ්‍ය කෙනකුට දෙන බලාපොරොත්තුවෙනි. එදා තිබුණ සියල්ල අද වෙනස් වී ඇති බව වටහා ගත් තාපසයා ඉදිරියටම පිය නැඟුවේය.

''ඇත්තටම භෞතික සංවර්ධනය කියන්නේ මේකටද?''

තාපසයා තනියම කියා ගත්තේය.

''ආ......කෝ මෙතන තිබුණ කුඹුරු යාය?''

තාපසයා දෑස් විසල් කර කුඹුරු යාය දෙස බැලුවේය. ඇත්තටම එතන ඉදිවී තිබුණේ මහා මාර්ගයකි. දිගු දුරක් පයින් සක්මන් කළ තාපසයා සේන්දු වූයේ දේශපාලන රැස් වීමක් ඇති ස්ථානයකටය.

''මේ මොකද්ද? ලවුස්පීකරයක් මහ හයින් කෑගනවා. අපේ ක්‍රම සහ විධි නිසා ඔබතුමාලාට ඔබතුමාලාගේ න්‍යාය පත්‍රය හකුලාගන්න වේවි. අපි ඉදිරියේදී භෞතික විතරක් නෙවෙයි අධ්‍යාත්මික සංවර්ධනයත් ඇති කරනවා. අද අධ්‍යාත්මික සංවර්ධනය තමයි මිනිස්සුන්ට නැත්තේම. අපි ඒක ඔබතුමන්ලාට අරගෙන දෙනවා.''

කථිකයාගේ දේශනය වේගවත් විය. තාපසයා මදක් නැවතී බලා සිටියේය.

''ඇත්තටම කොහොමද ආයිබෝවන්ඩ එහෙම දෙයක් අරන්දෙන්නේ. මං මේ කාලයක් තිස්සේ ආරණ්‍යවාසීව භාවනා කරන්නේ එවැනි දෙයක් සපුරාලන්න. එවැනි දෙයක් අර මහත්තයාට අරන් දෙන්න පුළුවන් ද? මං හිතන්නේ ඒ මහත්තයා ළඟවත් ආධ්‍යාත්මික සංවර්ධනය තියෙනවා ද දන්නේ නෑ.''

නිසි පිළිතුරක් නොලැබුණෙන් තාපසයා යන්නට හැරුණි. නොබෝ වෙලාවකින් රාත්‍රිය උදා වෙනු ඇත. ඊට පෙර කෙසේ හෝ ලැගුම් ගැනීමට ස්ථානයක් අවශ්‍ය වේ. තාපසයා හිමින් හිමින් ගමන් ඇරැඹුවේය. බොහෝ රෑ වූයෙන් තවත් දුර ගමන් කිරීමට නොහැකිව අසල තිබූ නිවසකින් ලැඟුම් ගැනීමට අවසර ඉල්ලීය. එහෙත් ඉන් අවසර නොලැබුණි. ඉන් පසු තවත් අඩි දෙක තුනක් ඉදිරියට ගොස් දෙවනි නිවසින් ද අවසර ඉල්ලීය. එහෙත් කිසිවෙක් එය අනුමත නොකළේය. තෙවනි නිවසට පියමං කළ පසු එහි දැක පුරුදු රුවක් තාපසතුමා ඉදිරියට පැමිණියේය. ඔහු නිවැසියන් සමඟ උස් හඬින් කතා කරමින් සිටියේය. දේශපාලන වේදිකාවේ කතා කළ ඒ රුවම බව තපසවරයා පැහැදිලිවම හඳුනා ගත්තේය.

''මේ මහත්තයා, මං මේ ලැගුම් ගන්න ස්ථානයක් සොයනවා. මෙහේ ඉඩ තියෙනවා. කියලා කීපදෙනෙක් ම කිව්වා.''

ඔබ වහන්සේ හිතුවද? මේක අම්බලමක් කියලා. මෙහේ ඔබතුමාලාවගේ අයට මෙහේ ඉඩක් නැහැ.

ඔහුගේ මුවින් පැන ආවේ නුහුරු ස්වරයකි. එහි කිසිදු සංයමයක් නොවුණි. මේ ජනතාව අතර අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරනවා කියූ පුද්ගලයා නොවේ ද?

''එහෙම කියන්න එපා දැන් රෑත් වෙලා. මෙන්න මේ කාසියත් අරගෙන මට නවතින්න තැනක් ලෑස්ති කරලා දෙන්න.''

''ඔබතුමාට කොහෙන්ද මේ කාසිය?''

''මම බිම තිබිලා ඇහින්දා. ඒත් මේ කාසි ගන්න කිසිවකුත් අකැමැති වූයේ නැහැ. බොහෝදෙනා මට කෑම බීම සැපයුවේ ස්වකැමැත්තෙන්. ඒ නිසා ඔය මුදල වියදම් වුණේ නැහැ. මං හිතනවා මහත්තයාට තමයි මේ මුදල හිමි වෙන්න තිබිලා තියෙන්නේ.''

තාපසයා එසේ කියමින් කාසිය දේශපාලන කථිකයා අත තැබීය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.