කවියට ප්‍රියකළ බණ්ඩාරනායක කවීන් දෙදෙනකු මන්ත්‍රීවරු කරයි | සිළුමිණ

කවියට ප්‍රියකළ බණ්ඩාරනායක කවීන් දෙදෙනකු මන්ත්‍රීවරු කරයි

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී‍. බණ්ඩාරනායක මහතාගේ සම්පූර්ණ නම සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායකය. වෙස්ට් රිජ්වේ යනු ඔහු උපදින සමයේ ශ්‍රී ලංකාව පාලනය කළ ආණ්ඩුකාරයාගේ නමයි. බණ්ඩාරනායක මහතාගේ පියා සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිවරයා ය. මව ඩේසි එස්ලින් ඔබේසේකරය.

සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක අධිරාජ්‍යවාදී ගැත්තෙකු ලෙස හුවා දක්වන නමුත් ඔහු දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නඟා සිටුවීමට කටයුතු කෙළේ ය. රාජගිරිය වැලිකඩ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමට පෙරමුණ ගත් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතා එම ඉඩම මිලට ගෙන ආයුර්වේදය නඟා සිටුවීම සඳහා පරිත්‍යාග කිරීමට මහත් සේ වෙහෙසුණ බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාල ඉතිහාසයේ සඳහන් වේ.‍

කාන්තාවනට දේශපාලන අයිතිය ඉල්ලා පැවති කාන්තා උද්ඝෝෂණයන්හිදී ඩේසි ඩයස් බණ්ඩාරනායක මැතිනිය පෙරමුණ ගත්තා ය. 1927 පිහිටුවන ලද විමන්ස් ෆැරන්ඩයිස් යුනියන් (කාන්තා ඡන්ද බල සංගමය) ව්‍යාපාරයේ සභාපතිනිය වූ ඩේසි බණ්ඩාරනායක මැතිනිය සිය පුත්‍රයා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී‍. බණ්ඩාරනායකට දේශපාලනයට ඒමට දිරිමත් කළැයි කුමාරි ජයවර්ධන සිය NOBODIES TO SOMEBODIES කෘතියේ 27 වන පිටුවේ සඳහන් කරයි.

බණ්ඩාරනායක පවුල සහ ව්‍යවස්ථාදායක සභාවේ සෙසු සභිකයන් අතර වූ අන්‍යොන්‍ය පවුල් සබඳතා ද එම කෘතියේ විස්තර වේ. එකල ප්‍රබල පවුල් රැසක් එකට බැඳී සිටියහ.

බණ්ඩාරනායක පවුල සහ සේනානායක පවුල අතර වූ සබඳතාවන් ගැන හිටපු මන්ත්‍රී එස්.ඩී‍. බණ්ඩාරනායක මහතා (පණ්ඩු බණ්ඩාරනායක මහතාගේ පියා) සිය S.D. and family roots කෘතියේ සඳහන් කරයි.

ඩී.එස්. සේනානායක, එෆ්.ආර්. සේනානායක සහ ඩී.සී. සේනානායක යන ‍ සහෝදරයන් තිදෙනාට මාරි ෆ්‍රාන්සස් සේනානායක නමින් සහෝදරියක් ද ව‍ූවා ය.

බණ්ඩාරනායක පරපුරේ ෆෙඩ්රික් හියු ඩයස් බණ්ඩාරනායක විවාහ වූයේ ඉහත කී ෆ්‍රාන්සස් සේනානායක සමඟ ය. ඔවුහු කොටදෙනියාවේ පදිංචි වූහ. මේ යුවළගේ එකම දියණිය වූයේ එෆී මෛත්‍රී ඩයස් බණ්ඩාරනායකයි. පසුකලෙක ශ්‍රී ලංකාවේ අගමැතිවරයකු වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා විවාහ වූයේ මෛත්‍රී බණ්ඩාරනායක සමඟ ය.

1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවට වේයන්ගොඩ ආසනය වෙනුවෙන් ඉදිරිපත් වූ බණ්ඩාරනායක මහතා නිතරගයෙන් ජය ලැබීය. 1936 දී ද ඔහුට හිමිව‍ූයේ නිතරග ජයකි. ඔහු දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී පළාත් පාලන ඇමැති ධුරයට පත්විය. 1947 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් අත්තනගල්ලට තරග කළ බණ්ඩාරනායක මහතා එවර ජයගත්තේ වැඩි ඡන්ද 41000 කිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගැනීමෙන් පසු එම පක්ෂයෙන් 1952 මැතිවරණයට ඉදිරිපත් වූ බණ්ඩාරනායක මහතා වැඩි ඡන්ද 41000 කින් ජය ලැබීය. 1956 මහ මැතිවරණය ජයගත්තේ ද වැඩි ඡන්ද 44000 ඉක්මවමිනි. ඉතා විශාල වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබීම බණ්ඩාරනායක මහතාගේ විශේෂත්වයයි‍.

විශිෂ්ට කතිකයකු වුව ද මුල් යුගයේ ප්‍රබල සිංහල කතිකයකු නොවූ ඔහු පසුව සිංහල කතිකයන් අතර ප්‍රධානත්වය ඉසිලීය. ඔහුගේ ඉංග්‍රීසි කතාවන්හි විසිතුරු පදවහනය ද සාහිත්‍යමය යෙදුම් ද බහුල විය.

එසේ ද වුවත් බණ්ඩාරනායක මහතා ගැමි තොවිල්, බලියාග, යාතු කර්ම බැලීමට ප්‍රිය කළේ ය.

රොස්මිඩ් පෙදෙස නිවස මිලට ගන්නට පෙර බණ්ඩාරනායක මහතා පදිංචිව සිටියේ සිල්වර්ස්මිත් මාවතේ (බණ්ඩාරනායක මාවත) බණ්ඩාරනායක වලව්වේ ය. එහෙත් ඔහු උපන්නේ මෝදර එළිහවුස් මන්දිරයේ ය. පසුකල බණ්ඩාරනායක මහතාගේ මව එහි විසුවා ය.

මේ සිල්වර්ස්මිත් නිවසට දේශීය තොවිල්කරුවන් ගෙන්වා ඔවුනගේ කවි ගායනා ඇසීමට බණ්ඩාරනායක මහතා ප්‍රිය කළ බවත්, ඉන් එක කවියක පළමු මහ සතා යන යෙදුම ගැන අදහස් පළ කළ බණ්ඩාරනායක මහතා ‘ඕන්න බලාපන් හෙන්රි

ඔතන මහ සතා කියන්නේ මහා සම්මත රජතුමාට බවත්, මහ සම්මතය යනු ප්‍රජාතන්ත්‍රවාදය බවත් කියමින් ප්‍රීති වූ බව බද්දේගම හිටපු මන්ත්‍රී හෙන්රි අබේවික්‍රම මහතාගේ ලියවිල්ලක සඳහන් වේ.

කවියට ප්‍රිය කළ ඔහු කොළඹ යුගයේ ප්‍රකට කවියකු වූ සාගර පළන්සූරිය මහතාට 1956 දී හොරණ ආසනය සඳහා නාමයෝජනා ලබාදුන්නේ ය. ඔහු හොරණින් ජය ලබා පාර්ලිමේන්තුවට තේරී පත්විය. කේයස් නමින් ප්‍රසිද්ධ වූ සාගර පළන්සූරිය මහතා කළල්ඇල්ලේ ආනන්ද සාගර නමින් පැවිදිව සිටියෙකි.

කේ.ඒ.එස්. යන අකුරු තුනේ භාවිතාව කේයස් නමින් වහරට ගත් ඔහු සුදෝසුදු නම් කවිපොත මඟින් ජනප්‍රියත්වයට ලක් විය.

තවත් කවියකු වූ ටී.බී. තෙන්නකෝන් මහතා 1956 දී ජයගත්තේ ය. ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස 1960 - 65 – 70 යන මැතිවරණවලදී ද ටී.බී. තෙන්නකෝන් මහතා ජයගත්තේ ය. ඒ මහතා මාතලේ මන්ත්‍රී ජනක තෙන්නකෝන් මහතාගේ පියා ය.

ලේඛකයකු ලෙස දස්කම් පෑ බණ්ඩාරනායක මහතා මහහේනේ රීරියකා නමින් කතාවක් ලීවේ ය. එසේ ම ඉංග්‍රීසි භාෂාවෙන් කෘතියක් රචනා කෙළේ ය. එය ශ්‍රී ලංකා ජාතික සංගමය පිළිබඳව ය.

ශ්‍රී ලංකාවට නිදහස ප්‍රදානය කළ අවස්ථාවේ ග්ලොස්ටර් ආදිපාදවරයාට ස්තුති පුද කරමින් බණ්ඩාරනායක මහතා මෙසේ පවසා ඇත. “මේ නිදහස හුදෙක් අංගසම්ප‍ූර්ණ නිදහසකැයි මම නොකියමි. එහෙත් එය නියම නිදහසක් කරා යෑමට අපට ලබාදුන් නිදහසකි.”

එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා අස්වෙමින් ඔහු කීවේ මට යාත්‍රා කිරීමට සිදුවන සාගරයේ ඇති කටුක බව මම හොඳින් ම දනිමි‍‍.‍ මම ඒ සියල්ලට නොබියව මුහුණ දෙමි” යනුවෙනි.

බණ්ඩාරනායක මහතා හාස්‍යය දනවන කතා කීමට ද රුසියෙකි. බද්දේගම හෙන්රි අබේවික්‍රම මහතා විසින් රචිත කෘතියේ කියැවෙන අන්දමට දිනක් බණ්ඩාරනායක මහතා නුවර පාලම මතින් කොළඹට ඇතුළුවීමට මෝටර් රථයෙන් එනවිට උණගස් පටවා ගත් කරත්තයක් මෝටර් රියට ඉදිරියෙන් ගමන් කෙළේ රථයට ඉදිරියට යෑමට මඟ අහුරමිනි.

කරත්තය පිටුපසින් සෑහෙන වේලාවක් ගමන්ගත් බණ්ඩාරනායක මහතාගේ ඉවසීමේ සීමාව නිමා විය. කරත්තකරුට ළං වූ බණ්ඩාරනායක මහතා ඔහොමද මිනිහෝ පාරේ යන්නේ කියා සැරෙන් ඇසුවේ ය. කරත්තකරු ද සැලුණේ නැත. මේක මගේ රස්සාව යැයි ඔහු පිළිතුරු දුන්නේ ය.‍

“උඹේ රස්සාව හොඳයි. ඒ වුණාට ඕක ටිකක් දිග වැඩියි. කරත්තය පිටුපසින් දිගින් දිගට ඇදී තිබූ උණගස් දෙස බලමින් බණ්ඩාරනායක මහතා කීවේ යැයි එම කෘතියේ සඳහන් වේ.

1956 මැතිවරණ ජයග්‍රහණයේ ප්‍රතිඵල නිකුත් වූ පසු බණ්ඩාරනායක මහතා ඊට ප්‍රතිචාර දැක්වූයේ කෙසේ දැයි මම දිනක් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිනියගෙන් විමසුවෙමි.

“උඩ තට්ටුවෙන් බහින තරප්පුවේ පඩියක් උඩ වාඩිවෙලා සෑහෙන වෙලාවක් නිහඬව කල්පනා කරමින් එකම ඉරියව්වකින් සිටියා මතකයි.” චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිනිය කීවාය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.