HOLLYWOOD | සිළුමිණ

HOLLYWOOD

සැත්කමක් කළත් අවදානම් රංගනයක

චාලිස් තෙරන් රඟන ‘ඔටොමික් - බ්ලොන්ඩි’ චිත්‍රපටය දැන් තිරගත වෙනවා. දකුණු අප්‍රිකානු සහ හොලිවුඩ් චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ ඇය චිත්‍රපට නිෂ්පාදිකාවක්. හොඳම නිළිය ලෙස ඇකඩමි සහ ගෝල්ඩන් ග්ලෝබ් වැනි සම්මානවලින් පුද ලද ඇය දැඩි කැපවීමකින් චිත්‍රපට රංගනයෙහි යෙදෙනවා.

පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මේ සුරූපී නිළිය පැවසුවේ ‘ඔටොමික් බ්ලොන්ඩි’ චිත්‍රපටයේ ලොරේන් බ්‍රවුටන්ගේ චරිතය රඟපාද්දී තමන්ගේ දත් තුනක් පුපුරා ගිය බවයි. මේ නිසා සැත්කම් කිහිපයකට මුහුණ දීමට සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවූ බව ඇය පැවසුවා.

“ඒ සිද්ධිය හරිම අමිහිරියි. මගේ දත් තුනක් කැඩුණා. මේ නිසා ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ප්‍රතිකාර ගත්තායින් පස්සෙ අලුත් තත්ත්වයට මුහුණ දෙන්න දවසකට පැය පහක් විතර යම් යම් පුහුණුවීම්වල යෙදුණා.” චාලිස් තෙරන් පැවසුවා.

චිත්‍රපටයේ සහය ස්ටන්ට් අධ්‍යක්ෂ මොනික් ගැන්ඩර්ටන් පැවසුවේ මේ අනතුරෙන් පසුව අවදානම් සහගත දර්ශනවල රඟපෑමෙන් වැළකී සිටින්නට චාලිස්ට ඉඩ තිබූ බවයි. “ඒත්, එයා වේදනා නාශක පෙති අරගෙන එවැනි දර්ශනවල බය නැතිව රඟපෑවා” සහය ස්ටන්ට් අධ්‍යක්ෂවරයා එලෙස පැවසුවා.


ට්‍රම්ප්, සල්මා එක්ක මිතුරු වෙන්න හදලා?

සල්මා හෙයෙක් ඇත්ත කතා කරන්නට බිය නොවන නිළියක්. ඇය මෑතකදී, මෙතෙක් ලොවට හෙළි නොවූ රහසක් හෙළිකර තිබුණා. ඒ, වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳවයි.

“මට එයාව මුණ ගැහුණේ ජනාධිපති ධුරයට පත්වෙන්න කලින්. එතකොට මට පෙම්වතෙක් හිටියා. මුණ ගැහුණු මුල්ම වතාවෙදිම එයාට ඕනැ වුණා, මගේ මිතුරෙක් වෙන්න. මගේ ගෙදර ෆෝන් නම්බර් එකත් ඉල්ලා ගත්තා. මාත් එක්ක කොහේ හරි ගිහින් කතාබහ කරන්නත් එයා බලාපොරොත්තු වුණා.” සල්මා මේ කතාව කීවේ, ඇමෙරිකානු ගුවන් විදුලි චැනලයක වැඩ සටහනකට එක්වෙමින්.

දැන් ඇගේ කතාව සමාජ වෙබ් අඩවිවලටත් යොමු වී තිබෙනවා. සල්මා පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපති ධුරයට පත්වනු ඇති බවට තමන් තුළ විශ්වාසයක් තිබුණු බවයි. මෙක්සිකානු සහ හොලිවුඩ් සිනමා නිළියක වන සල්මා තවත් අදහසක් ප්‍රකාශ කළේ මේ අයුරින්... “ඩොනල්ඩ් ට්‍රම්ප් මෙක්සිකෝ දේශ සීමාවේ තාප්පයක් ඉදිකරන්න යනවා. මම නම් හිතන්නේ එයාට ඒක කරන්න බැරි වේවි කියලයි.”


බීබර්ගේ නග්න රූ හැකරුන් අතට

සුපිරි ගායක ජස්ටින් බීබර් සමාජ මාධ්‍යවල ගොදුරක් බවට පත්වෙලා. ඔහු විතරක් නොවෙයි, ඔහුගේ හිටපු පෙම්වතිය වන සුපිරි ගායිකා සෙලිනා ගෝමස් ද එවැනි තත්ත්වයකට පත්වෙලා. දෙදෙනාම අන්තර්ජාලයේ සැරිසරන හැකර්වරුන්ගේ ගොදුරක් වී ඇති බවයි පැවසෙන්නේ.

එයට මුල පිරුණේ සෙලිනාගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි ඇය විසින් පළ කරන ලද ජස්ටින් බීබර්ගේ ඡායාරූප කිහිපයක් හැකරුන් අතට පත්වීමත් සමඟයි. මේවා සුළුවෙන් තැකිය හැකි ඡායාරූප නොවෙයි. ඒවා බීබර්ගේ නිරුවත් ඡායාරූප.

සෙලිනා, තම පැරැණි පෙම්වතාගේ මෙවැනි ඡායාරූප ඉන්ස්ටග්‍රෑම් පිටුවට ඇතුළත් කළේ ඇයිදැයි පැහැදිලි නැහැ. කෙසේ වෙතත් හැකරුන් විසින් මේවා වෙනත් වෙබ් අඩවිවලට එකතු කර තිබෙනවා. එහිදී වහාම ක්‍රියාත්මක වූ සෙලිනා, තම ඉන්ස්ටග්‍රෑම් පිටුව අක්‍රිය කළ බවයි පැවසෙන්නේ.

මේ ගැන බීබර් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ. කිසිවෙකුගේ නග්න ඡායාරූප ඔහුගේ හෝ ඇගේ එකඟත්වයකින් තොරව ප්‍රසිද්ධ කිරීම ලිංගික අපරාධයක් බවයි, කරුණු දන්නා උදවිය ප්‍රකාශ කරන්නේ.


ගායක කෙන්ඩ්‍රික් ලමාර් ජය කෙහෙළි නංවයි

සුපිරි තලයේ වැජඹෙන ජනප්‍රිය ගායක ගායිකාවන් සම්මානයෙන් පිදුම් ලබන එම්. ටී. වී. සංගීත උලෙළ පසුගියදා ලොස් ඇන්ජලීස් නුවර වර්ණවත් කළා.

ගායන ලොව දිදුළන තරු රැසක්ම එකට එක්වූ මේ උලෙළේ බල පරාක්‍රමය විහිදුවාලන්නට සමත් වූයේ ජනප්‍රිය ගායක කෙන්ඩ්‍රික් ලමාර්.

වසරේ හොඳම වීඩියෝ වට හිමිවන ප්‍රධානතම සම්මානය ඇතුළු තවත් සම්මාන හයක්ම දිනාගන්නට මේ සුපිරි ගායන ශිල්පියා සමත් වූවා. ඔහු ගැයූ ‘හම්බිල්’ නම්වූ ගීතය ඇතුළත් වීඩියෝ වටයි, වසරේ හොඳම වීඩියෝවට හිමි වන සම්මානය දිනා ගත්තේ.

ගීත රචක එඩ් ශීරාන්, වසරේ හොඳම කලාකරුවා ලෙස සම්මාන ලැබුවා. රැප් ගායකයෙකු වන ඛාලිඩ්, වසරේ නවක තරුවට හිමි වන සම්මානයෙන් පිදුම් ලැබුවා.

‘ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ඩාකර්’ චිත්‍රපටයට සායන් සහ ටේලර් ස්විෆ්ට් ගැයූ ‘අයි ඩෝන්ට් වොනා ලිව් ෆෝඑවර්’ ගීතය වෙනුවෙන් ඔවුන් දෙදෙනා වසරේ හොඳම සුසංයෝගී නිර්මාණයට හිමි වන සම්මානය දිනා ගත්තා.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.