තරු ‍තොරතුරු | සිළුමිණ

තරු ‍තොරතුරු

චිත්‍රාල් සහ කැලුම් ගෙනෙන අභිමානය

චිත්‍රාල් සෝමපාල යන නම ඇසූ පමණින්ම ඔහුගේ හඬ පෞර්ෂය අප දෙසවන තුළ දෝංකාර දෙයි.නදී ගංගා තරණයේ ගීතයෙන් මෙරට ගීත කලාව නව මානයකට යොමු කළ මේ ප්‍රතිභා පූර්ණ ප්‍රවීණ ගායකයා නවතම ගීතයක් ගයමින් යළිත් වරක් රසිකයන් වෙත අපූර්ව අත්දැකීමක් සමීප කරවන්නට සමත්ව සිටියි.

සිංහ ලෝකයේ සිංහයා බලා ඉන්නේ...

ඔබ දිහා...

ඔබ දිනන තුරා ...මා දිනන තුරා...

සිංහාභිමානෙන් වෙළී...

පැරදීමෙන් නෑ වැරදුනේ - විශ්වාසය ඉන් වැඩිවුණේ

ඔබේ ඉරණම හරවනා කෙනෙක් නෑ වෙන ඔබ තමා ...

ප්‍රවීණ ගී පද රචක කැලුම් ශ්‍රීමාල් ගේ පද රචනයෙන් නිර්මිත වූ මේ ගීතය ශ්‍රී ලාංකිකයන්ගේ සිංහ තේජස සැබෑලෙසින් අවදිකරමින්,ජවයෙන් නැඟී සිටිය යුතුම මොහොතක ඔවුනගේ හදවතට කතා කරන්නට සමත් වූ පදමාලාවක් ලෙස හැඳින්විය හැක. ආත්ම ශක්තිය බිඳී ගිය විට දීත් සියලු දේ බිඳ වැටෙත්දීත් ඒ සියල්ල පරයා නැඟී සිටිමින් තමා දෙසටම හැරී තමා විසින්ම එය යළි ගොඩනඟාගෙන නැඟී සිටීමට මෙම ගීතයෙන් ආරාධනා කරයි.මේ ගීතය පිළිබඳ එහි පද රචක කැළුම් ශ්‍රීමාල් පවසන්නේ මෙවැන්නකි.' ජාතියට අභිප්‍රේරණය ගෙනෙන ගීතයක් මේ වෙලාවේ අවශ්‍යයි කියලා අපිට සිතුණා. පටු අදහස්වලින් තොරව 'සිංහයා 'කියන අභිමානය අපි යළි ගොඩනගන්න අවශ්‍යයි. සිංහ ජාතිය නමට පමණක් සීමා නොකර සිංහ තේජස ඒ තුළට රැගෙන එන්න ඕන. ඕනෑම කෙනෙකුගේ හදවතේ ප්‍රමාණය වන්නේ තමන්ගේ අත මිටමෙල වූ විට තිබෙන ප්‍රමාණයයි. ඒක ප්‍රමාණයෙන් පොඩි වුණත් ඒ හදවතෙන් අපට ලොකු දෙයක් හිතන්න පුළුවන් කියන එක මම මේ පද රචනය ඇතුළත පවසා තිබෙනවා. රටක් ලෙස නැගී සිටින්න ඒ වචන අපි ඕනෑම කෙනෙකුට ශක්තියක් වේවි . ඒ වගේම මේ මොහොතේ අපේ ක්‍රිකට් කණ්ඩායමට පවා මේ ගීතය ශක්තියක් වේවි. මේ ගීතය කාලයක් අරගෙන නිර්මාණශීලීව නිර්මාණය කළ ගීතයක්.

මෙම ගීතයේ ඇති අපූර්වත්වය ගැන එහි ගායක චිත්‍රාල් සෝමපාල පවසන්නේ මෙවැන්නකි. 'අපි හැමදාමත් අභිමානවත් ජාතියක්. මේ අභිමානවත් ජාතියට අයත් හැමකෙනෙකු ඇතුළේම තේජසින් යුතු සිංහයෙක් සිටිනවා. ඒ සැඟවී සිටින සිංහයාව සොයා දෙන්න මට වුවමනායි. එදා 'නදී ගංගා තරණයේ ගීතයෙන් මම උත්සාහ කළෙත් ඒකයි. අද මේ ගීතයෙනුත් මට අවශ්‍ය කරන්නේ එයයි. ජාතියට ‍ෙධෙර්යය දිය යුතු වෙලාවක එය කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.'


කාර්යබහුල බවත් සතුටක්

චන්දික නානායක්කාර මේ දවස්වල කලා ලෝකයේ සිටින කාර්යබහුලම නළුවා කිව්වොත් හරියටම හරි. දකින දකින ටෙලි නාට්‍යයේ ඔහු විවිධ චරිත නිරූපණය කරන අන්දම මේ දවස්වල දක්නට ලැබෙන සුලබ දසුනක්. නිතර දෙවේලේ නෙතු ගැටෙන නිසාම චන්දිකගේ නවතම තොරතුරු සොයා බලන්නට අපි කටයුතු කළා.'මේ දවස්වල රාත්‍රී හතට පටන් ගත්තම නවය හමාර දහය වනතුරුම එක දිගට මම රඟපාපු ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ඒ අතර මේ දවස්වල 'ජීවිතය තව දුරයි ' ටෙලි නාට්‍යයේ වෙනස්ම ආකාරයක චරිතයකට මම දායක වෙනවා. එය සටකපට චරිතයක්.මේ චරිතයට ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලැබෙනවා. තමන්ට වාසිදායක වන ඕනම දෙයක් කරන්න පසුබට නොවන චරිතයක්. ඒ වගේම මම චිත්‍රපට කිහිපයකටත් මගේ රංගන දායකත්වය ලබා දෙනවා. ඒ අතර මම සී.පී. ද සිල්වා ලෙස රඟන චිත්‍රපටයේ රූගත කිරීම් නැවත අරඹන්නට නියමිතයි. ඒ වෙනුවෙන් පොලොන්නරු යන්නත් මේ දිනවල සැලැසුම් කර තිබෙනවා.කොහොම වුණත් ප්‍රේක්ෂකයාට නිර්මාණශීලී අලුත් දෙයක් රඟපෑමෙන් දෙන්නට හැකි වීම නිසාම කොතරම් කාර්යබහුල වුණත් එය ලොකු සතුටක් බව සිතෙනවා.'


සියය සමරන 'හන්කිති දහතුන'

සිනමාව,ටෙලි නාට්‍ය ,වේදිකාව යන ත්‍රිවිධ මාධ්‍යයන්හි මෙන්ම මාධ්‍යයේ ද ප්‍රවීණයකු වූ ජයන්ත චන්ද්‍රසිරි කලකට පසුව නිර්මාණය කළ 'හන්කිති දහතුන 'වේදිකා නාට්‍යය මේ වන විට ප්‍රේක්ෂකයින්ගේ අසීමිත ප්‍රතිචාර මැද වේදිකා ගත වෙමින් තිබෙනවා. මේ වන විට හන්කිති දහතුන වේදිකා නාට්‍යයේ දර්ශන වාර අනූනවයක්ම පෙන්වා අවසන්.

එහි සිය වන දර්ශන වාරය අද දින ලයනල් වේන්ඩ්ට් කලාගාරයේ දී සවස 3.30ට සහ 7.00ට රඟ දක්වන්නට නියමිතයි. දර්ශන වාර සියයක් සපුරන හන්කිති දහතුන ගැන එහි අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි මාධ්‍ය වෙත දක්වන්නේ මෙවන් අදහසක්.'සිනමාව හා ටෙලි නාට්‍ය වගේම වේදිකාවේත් මම ප්‍රේක්ෂකයන් වෙත තැබූ විශ්වාසයේ ප්‍රතිඵල තමයි මේ විදිහට බුක්ති විදින්නේ. ඒ වගේම දර්ශන වාර සිසයක් දක්වා මේ නාට්‍ය රැගෙන ඒමට මෙයට දායක වූ ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පිනියන්ගේ කැපවීම බලපෑවා. හරවත්, ගුණවත් නිර්මාණවලට අදටත් ප්‍රේක්ෂකාගාරයේ දැඩි ඉල්ලුමක් පවතින බව මට කියන්න පුළුවන්.'


හැම ගැහැනියකටම පොදු කතාවක්

බුද්ධිනි ජයවර්ධන මාධ්‍යවේදිනියක මෙන්ම ග්‍රන්ථ කතුවරියක ලෙස කා අතරත් ජනප්‍රියයි. මේ දිනවල බුද්ධිනී ඇගේ ප්‍රථමනවකතාවක ඔස්සේ නවතම ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්නට සූදානම් වන පුවතක් අපට දැන ගන්නට ලැබුණා.මේ ගැන අපි බුද්ධිනීගෙන් විමසා බැලුවා.

'මගේ පළවෙනි නවකතාව 'මේ මමයි'ඇසුරින් ටෙලි නාට්‍යයක් මේ දිනවල නිර්මාණය වෙනවා. එයත් නම් කොට තිබෙන්නේ මේ මමයි ලෙසයි. මේ දිනවල එහි රූප ගත කිරීම් ආරම්භ වෙලා තිබෙන්නේ. මේ මාසෙ මෙය ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වෙන්න නියමිතයි. මෙය අධ්‍යක්ෂණය කරන්නේ සුමේන්ද්‍ර කිතුල්ගොඩ. මෙහි තිරරචනය හා නිෂ්පාදනය මගේ. ඒ වගේම මෙහි තේමා ගීපද රචනයත් සිදුවුණේ මගේ අතින්. එහි සංගීත අධ්‍යක්ෂණය වගේම ගායනය නිරෝෂා විරාජිනී සිදුකළා. මම හිතන විදිහට නිරෝෂාගේ පළමු ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය තමයි මෙය.ගැහැනු මාධ්‍යවේදිනියක වටා ගෙතෙන අපූර්වත්වයෙන් යුතු කතාවක් මෙය. මෙහි එන සෑම චරිතයක්ම මේ සමාජයේ අඩු වැඩි වශයෙන් ජීවත් වෙන අය.විශේෂයෙන්ම මෙහි එන නෙත්මිණී චරිතය මේ සමාජයේ හැම ගැහැනියකට අත් විදින්නට සිදු වන දේ ප්‍රකට කරන චරිතයක්. මේ මමයි ටෙලි නාට්‍යයෙන් ඉදිරිපත්වෙන්නේ හැම ගැහැනියකටම පොදු කතාවක් කිව්වොත් හරියටම හරි. මේ නාට්‍යයේ ප්‍රවීණ නළු නිළියන් වන පියුමි ශානිකා, චන්දික නානායක්කාර, රොෂාන් පිළිපිටිය, බුද්ධික ජයරත්න, ශ්‍රීමාල් වෙඩිසිංහ, අංජලී ලියනගේ රංගනයෙන් දායක වෙනවා.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.