තත්පර 90ක කෙටි චරිතයට ජූරියේ විශේෂ සම්මානයක් | සිළුමිණ

තත්පර 90ක කෙටි චරිතයට ජූරියේ විශේෂ සම්මානයක්

සතර සවිය සහ නෙළුම 19

බොහෝ ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් සුළු චරිත නිරූපණයට දක්වන්නේ අකැමැත්තකි. අදත් මට ලැබෙන ඕනෑම සුළු චරිතයක් සුදුසු නම් භාර ගැනීමට මා පසුතැවිලි වන්නේ නැත. ‘The longest day’ නමැති බ්‍රිතාන්‍ය යුද්ධ චිත්‍රපටයේ ජාත්‍යන්තර රංගන ශිල්පීන් හා ශිල්පිනියන් 47 දෙනකු ඉතාමත් සුළු චරිත නිරූපණය කර ඇති බව දන්නේ ටික දෙනකු පමණි.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවයේ නියුතුව සිටියදී මගේ හතර වැනි සිනමා නිර්මාණය කරන ලදී. ‘සතර දිගන්තය’ නමින් හැඳින්වූ ඒ සිනමා කෘතියේ තිරනාටක රචකයා වූයේ ‘රසඳුන’ පුවත්පතෙහි ප්‍රධාන සංස්කාරකවරයා ලෙස සිටි මාධ්‍යවේදී රෝහණ වෙත්තසිංහයන් ය. ඔහු මගේ කල්‍යාණ මිත්‍රයෙකි. නව සිනමාවක් ගැන සිහින දුටු මේ නිර්මාණකරුවා ‘අප්පොච්චිගේ සිනමාව’ නමින් කුඩා සිනමා සඟරාවක් සංස්කරණය කළේ ය. අප දෙදෙනාටම උසස් සිනමා කෘති නැරඹීමටත්, ඒවායේ සැඟවුණු රසයන් ගැන කතාබහ කිරීමටත්, සිනමාව ගැන පත පොත කියවීමටත් දේශනාවලට සවන්දීමටත් තිබුණේ පුදුම උනන්දුවකි.

‘සතර දිගන්තයට’ නිෂ්පාදකවරයෙක් සොයා දුන්නේ අපේ ලොකු අයියා වන ධර්මසිරි එදිරිසිංහ මහතා ය. නිෂ්පාදකවරයා වූයේ ව්‍යාපාරිකයකු වූ කපිල මුණසිංහ මහතා ය‍. ප්‍රධාන චරිත සඳහා රවීන්ද්‍ර රන්දෙනිය, ගීතා කුමාරසිංහ, විමල් කුමාර් ද කොස්තා, ජෝ අබේවික්‍රම සහ රුක්මණී දේවි යන ශිල්පීන් හා ශිල්පිනියන් තෝරා ගත්තෙමි. කැමරා අධ්‍යක්ෂණය සේන කොතලාවල වූ අතර කැමරාව මෙහෙයවන ලද්දේ චන්ද්‍රලාල් මනමේන්ද්‍රයි. කලා අධ්‍යක්ෂවරයා වශයෙන් ජෝ දඹුලුගල කටයුතු කළ අතර සංගීත අධ්‍යක්ෂවරයා වූයේ සංගීත් නිපුන් විශාරද පී.වී. නන්දසිරි ය. මම ‘සතර දිගන්තය’ අධ්‍යක්ෂණය කෙළෙමි.

රෝහණ වෙත්තසිංහයන් තිර රචනය කරද්දී විමල් කුමාර් ද කොස්තා නම්වූ අපූරු රංගධරයාගේ අභිරූපණ රංගනය ගැනත් ඔහුටම ආවේණික වූ රංගන ශෛලිය ගැනත් අවධාරණය කළේ ය. පදික වේදිකාවේ, රඟ දැක්වූ චරිත අතර ‘කව් බෝයි’ සහ ‘චාලි චැප්ලින්’ ද විය.

දිනක් මා ශාලිකා ශාලාවේ සේවයේ නියුතුව සිටියදී රංගධර ටෝනි රණසිංහයන් මා හමුවීමට පැමිණියේ පීටර් පෙරේරා මහතා සමඟිනි. පීටර් පෙරේරා යනු ‘කොටි වලිගය’ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ය. ටෝනි තිරනාටක රචකයා ය. අධ්‍යක්ෂවරයා වූයේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ශූරීන් ය‍. මේ දෙපළ පැමිණියේ මගේ රංගන දායකත්වය ‘කොටි වලිගය’ චිත්‍රපටය සඳහා ලබා ගැනීමට ය. ඒ භික්ෂු චරිතයක් සඳහා ය. මගේ මුල් ම චිත්‍රපට චරිත නිරූපණය බෞද්ධ භික්ෂුවක් ලෙසිනි‍. ඒ ‘සැඩොල් කඳුළු’ චිත්‍රපටයේ ය‍. එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ ටෝනි ය. ‘කොටි වලිගයේ’ එන භික්ෂු චරිතය සඳහා මගේ නම නිර්දේශ කර ඇත්තේ ටෝනි විසිනි. අනුමැතිය ගාමිණී ගේ ය. එකඟතාව පීටර් ය.

මගේ රංගනය රූපගත කිරීම පැය හතරක කාලයක් තුළ නිම විය. කෑගල්ලේ පන්සලකදී රූපගත කෙරිණි. උච්චාරණය කිරීමට තිබුනේ වගන්ති හතරකි. ජාතිවාදී කලකෝලාහල තිබුණ දිනවල ද්‍රවිඩ තරුණයකු පසුපස දුවන සිංහල තරුණයෙක් භික්ෂුන් වහන්සේ මුණ ගැසී ‘හාමුදුරුවනේ මෙතනින් දෙමළෙක් දිව්වා දැයි’ අසයි. ඒ තරුණයා යූ. ආරියවිමල් නම් අපේ හිතාදර මිත්‍ර රංගන ශිල්පියා ය. භික්ෂුව ලෙසින් රඟපෑ මගේ පිළිතුර වූයේ ‘දිව්වේ නැහැ’ යන්නයි.‍ හාමුදුරුවෝ බොරු කිව්වේ නැත. ද්‍රවිඩ තරුණයා පන්සලට ගෙන ආවේ වෙනත් අයකුගේ කර පිටිනි. යළිත් මැරවර තරුණයා ‘එහෙනම් මේ ලේ තියෙන්නේ’ යනුවෙන් ප්‍රශ්න කරයි. ‘මේවා දෙමළ ලේද? සිංහල ලේද? කියලා කොහොමද කියන්නේ” භික්ෂුව ප්‍රකාශ කරයි. යළිත් උන්වහන්සේ තමාටම කවදා හරි මේ මෝඩයින්ට මේක සිහිනයක් කියලා වැටහෙයි” යනුවෙන් කියයි. මෙම ජවනිකාව සංස්කරණය කිරීමෙන් පසු තිරයේ පතිතවන කාලය තත්පර 90 කි.

‘කොටි වලිගය’ ප්‍රදර්ශනය විය. අතිසාර්ථක සිනමා නිර්මාණයක් ලෙසින් රසික හදවත් ආකර්ෂණය කෙළේ ය. එම වර්ෂයේ සරසවි චිත්‍රපට උලෙළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. සරසවි සිනමා උලෙළ මෙහෙයවූ නිවේදිකයා ලෙසින් කටයුතු කර‍න ලද්දේ ම’විසිනි. එම උලෙළෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ඉඩම්, ඉඩම් සංවර්ධන හා මහවැලි අමාත්‍ය දිවංගත ගාමිණි දිසානායක මැතිතුමා ය. විශිෂ්ට කුසලතා සම්මානයන් පිරිනමන වේලාවේදී එවකට ‘සරසවි’ පත්‍රයේ කර්තෘ ග්‍රැන්විල් සිල්වා මහතා මයික්‍ර ෆෝනය සමීපයට පැමිණ බලයෙන් මා ඉවත්කොට නිවේදන කටයුතු කරන්නට විය. ඔහුගේ ප්‍රකාශය මෙසේ ය. ‘ගාමිණී ෆොන්සේකා මහතා අධ්‍යක්ෂණය කළ ‍ ‘කොටි වලිගය’ චිත්‍රපටයේ තත්පර 90 ක කෙටි කාලයක් තුළ කරන ලද විශිෂ්ට රංගනය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානය හිමි කරගනු ලබන්නේ සතිස්චන්ද්‍ර එදිරිසිංහයි. මම අතිශය පුදුමයට මෙන් ම සතුටට ද පත්වීමි. මෙතරම් කෙටි රංගනයක් වෙනුවෙන් ලෝකයේ කිසිම රටක් සම්මානයක් පිරිනමා නොමැති බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. මෙහිදී කිවයුතු විශේෂ කරුණක් ‍තිබේ. බොහෝ ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් සුළු චරිත නිරූපණයට දක්වන්නේ අකැමැත්තකි. අදත් මට ලැබෙන ඕනෑම සුළු චරිතයක් සුදුසු නම් භාර ගැනීමට මා පසුතැවිලි වන්නේ නැත. ‘The longest day’ නමැති බ්‍රිතාන්‍ය යුද්ධ චිත්‍රපටයේ ජාත්‍යන්තර රංගන ශිල්පීන් හා ශිල්පිනියන් 47 දෙනකු ඉතාමත් සුළු චරිත නිරූපණය කර ඇති බව දන්නේ ටික දෙනකු පමණි. ‘ජේම්ස් බොන්ඩ්’ චරිතය නිරූපණය කළ ෂෝන් කොනරි එම චිත්‍රපටයේ පෙනී සිටියේ පැරෂුටයකින් ගසක එල්ලී සිටින මිය ගිය සොල්දාදුවෙක් ලෙසිනි. 1980 දශකයේ මුල් කාලය ශ්‍රී ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන්නේ ය. එක් දිනක් මා හමුවීමට ආ මා ආදරයෙන් පිළිගන්නා, ගෞරව කරන ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ මට ‘ලූෂන් බුලත්සිංහලයන් හඳුන්වා දුන්නේ ය. කලාකරුවකු වශයෙන් මා ලූෂන් හොඳින් දැනගෙන සිටියෙමි. “මල්ලී! අපි ආවේ වැදගත් කාරණාවකටයි. ‘එක මවකගේ දරුවෝ’ නමින් මා ලියූ තිරනාටකයක් මේ ලූෂන් බුලත්සිංහල මහතා අධ්‍යක්ෂණය කරනවා.‍ ඒ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන්නේ ජාතික ‍රූපවාහිනි සංස්ථාවෙන්. ඒ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය සෞන්දර්ය විද්‍යාලයේ විදුහල්පතිගේ, සතිස් මල්ලිට භාර දෙන්නයි අපි ආවේ.” බොහෝ වේලාවක් නාට්‍ය ගැනත් චරිත ගැනත් අපි කතා කළෙමු. මම එකඟ වීමි. ඔවුන් දෙදෙනා සතුටට පත් විය. මගේ බිරිඳ ලෙසින් අවන්ති අපොන්සු රඟපාන බවත්, අනෙක් ප්‍රධාන චරිතය ශ්‍රියානි අමරසේන රඟපාන බවත් දැන ගතිමි. සෙසු චරිත සඳහා ගීතා කාන්ති ජයකොඩි, රත්නා ලාලිනී ජයකොඩි, බුද්ධි වික්‍රම යන අය තෝරාගෙන ඇති බව දැන ගතිමි. ‘එක මවකගේ දරුවෝ’ මගේ රූපවාහිනි රංගන ජීවිතයේ පළමු වැන්න විය. වේදිකාවේ රඟපාද්දී මගේ බිරිය ලෙසින් ප්‍රථමයෙන් රඟපෑවේ ග්‍රේස් තෙන්නකෝන් ය. සිනමාවේ ප්‍රථම බිරිය ව‍ූයේ රුක්මණි දේවියයි. රූපවාහිනියේ ප්‍රථම බිරිය වූයේ අවන්ති අපොන්සු යි. දරුවන් නොමැති අඹු සැමි යුවළක් අනාථ ස්ත්‍රියක් හා ඇගේ දියණියන් දෙදෙනා පෝෂණය කරන අයුරු මෙම ටෙලිනාට්‍යයෙන් අපූරුවට පිළිබිඹු කළේ ය. කෙළිලොල් තරුණයකු ලෙසින් ප්‍රියංකර පෙරේරා ද ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ ය.

‘එක මවකගෙ දරුවෝ’ අතිශයින් ම ජනප්‍රිය විය. මා නිරූපණය කළ චරිතය ඉතාමත් ආදර්ශමත් එකකි. මේ චරිතය නිසා මගේ පුද්ගලික ජීවිතය ඉතා සුබදායක අයුරින් වෙනස් විය. මේ ටෙලි නාට්‍ය නැරඹූ බොහෝ දෙනා මට ප්‍රශංසා කළේ ය. ඒ සියලුම පැසසුම් මගේ චිත්තාභ්‍යන්තරය වෙනස් කිරීමට සමත් විය. කිසියම් මිනිසකුගේ අධ්‍යාත්මික සංවර්ධනයට සාහිත්‍ය හා කලාවෙන් ලැබෙන්නේ විශාල දැනුමකි. උසස් නිර්මාණයක් තුළින් ලැබෙන ජීවිත පරිඥානය රසිකයාගේ ජීවිතය වෙනස් කිරීමට සමත් වන බව ‘එකමවකගේ දරුවෝ’ තුළින් අත්දුටුවෙමි.

කලාසූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.