අපේ සංගීතය ජාත්‍යන්තරයට | සිළුමිණ

අපේ සංගීතය ජාත්‍යන්තරයට

ප්‍රවිණ සංගීතඥ සරත් වික්‍රම

ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංගීතඥයෙකි.ඒ විවිධ ශෛලියේ අතිශයින් ජනප්‍රිය ගීත දහස් ගණනක හිමිකරුවා ඔහු වන බැවිනි. වන බඹරා චිත්‍රපටයෙන් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිස එදා මෙදා තුර සංගීතයෙන් දායක වු චිත්‍රපට 50 කට අධිකය. නුවන් ගුණවර්ධන ගායනා කරන කිරිමුහුදු වෙරළේ සාගර තරංගා, රූකාන්ත ගායනා කරන මුතුකැට වැටෙනා සහ නිමන්ත හේෂාන් ගායනා කරන මගෙ පොඩි යාළු නෙළමුද ඕළු වැනි ගීත මේ අතරින් ජනප්‍රිය වුණු කිහිපයකි. හිරුට මුවාවෙන් ටෙලි නාට්‍යයේ සංගීත නිර්මාණය කළ ඔහු මේ වන විට ටෙලිනාට්‍ය 150 ක් පමණ සංගීත අධ්‍යක්ෂණය කර තිබේ.

සරත් වික්‍රම නම් මේ ජනප්‍රිය , ප්‍රවීණ සංගීතඥයා පිළිබඳව එම පූර්විකාව සකසමින් මෙම සටහන ආරම්භ කරන්නේ කවදත් අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට අලුත් වූත් , හරවත් යමක් තිළිණ කර ඇති සරත් වික්‍රමගේ නවතම නිර්මාණ කාර්යය ගැන කියන්නටය.

‘‘ මම මේ කතා කරන්න යන දේ ලංකාවට අලුත් දෙයක්.නමුත් ලෝකයට අලුත් දෙයක් නෙමෙයි.1950 ගණන් වල ඉඳලා ලෝකයේ හොඳම චිත්‍රපට වල තේමා සංගීත සහ නාමාවලි සංගීත එදා ඒවා නිර්මාණය කළ සංගීතඥයින් විසින් කැසට් පට මගින් එළිදක්වා තිබුණා.මේ අතරින් ලෝකයම පිළිගත් සවුන්ඩ් ඔෆ් මියුසික් කියන චිත්‍රපටයේ තේමා සංගීතය, ඩොක්ටර් ෂිවාගෝ චිත්‍රපටයේ තේමා සංගීතය ඇතුළත් කැසට් පට ඒවාට උදාහරණ. එදා ඒවා සංගීතයට ළැදි සියලු දෙනා ආදරයෙන් පිළිගත්තා ඒ වගේම ඒවා ජනප්‍රිය වුණා. ලංකාවේ කිසිම චිත්‍රපටයක තේමා සංගීතයක් වත් නාමාවලි සංගීතයක් වත් රසිකයින්ට අහන්න ක්‍රමවත් ලෙස එළිදැක්වීමක් වෙලා නෑ.නමුත් ලෝකයේ මම පෙර සඳහන් කළ ආකාරයට එම නිර්මාණ එම සමාගම් වලින් ඕන කෙනකුට ගන්න පුළුවන්. මියුසික් ස්කෝර් එකත් එක්කම. කැසට් එකක් වශයෙන් හෝ සංගීතය ලියැවුණු පොතක් වශයෙන් මියුසික් ස්කෝර් එක ගන්න පුළුවන්.

ඉතින් මම අදහස් කළේ කල් ගිහිල්ල හරි මගේ චිත්‍රපට සහ ටෙලි නිර්මාණ අතරින් තෝරාගත් තේමා සංගීත සහ නාමාවලි සංගීත කිහිපයක් සීඩී එකක් වශයෙන් එළි දක්වන්න මියුසික් ස්කෝර් එකත් එක්කම.‘‘

ඔබ ඒ සඳහා තෝරාගත් නිර්මාණ මොනවාද?

ක්‍රිස්ටි ෂෙල්ටන් ගේ අරගලය (නාමාවලි සංගීතය), ෂර්ලි පී විජේරත්නගේ සමාව (තේමා සංගීතය), සුගත් සමරකෝන්ගේ පටාචාරා (තේමා සංගීතය)යන චිත්‍රපට 3 සහ මාලනී ෆොන්සේකා ගේ පොඩිනෝනා ( නාමාවලි සංගීතය), සුරේෂ් අබේසේකර ගේ සඳරූ අරණ ( තේමා සංගීතය), චන්දන සමරසේකරගේ සමනළී (තේමා සංගීතය සහ නාමාවලී සංගීතය) , ප්‍රියා රණසිංහගේ සමනළ වසන්තය (තේමා සංගීතය), බර්මින් ලයිලිගේ අංගම් මල්දම් (තේමා සංගිතය) යන ටෙලි නාට්‍ය මේ සඳහා තෝරාගෙන තිබෙනවා. මෙම නිර්මාණ අතුළත් සීඩී තැටිය සමඟ ඒවායෙහි මියුසික් ස්කෝර් එක( සංගීත පිටපත) ඇතුළත් පොත් 10 ක්ද මේ සමඟ එළිදක්වනවා. මේවා නම් කරලා තියෙන්නේ ‘රිද්ම‘ නමින්.ඒවාගේම ගොඩගේ ප්‍රකාශකයන් මෙම පොත් 10 පොත් දෙකකට ඇතුළත් කරලා එළිදක්වා තිබෙනවා.

ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැන කතාකළොත්.

මගේ සිතේ විශාල වැඩ පිළිවෙළක් තිබෙනවා.ක්‍රම ක්‍රමයෙන් ඒ දේවල් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මෙය එහි එක් පියවරක්. අමාරු කාර්යයක් වුවත් කොතනින් හරි පටන් ගන්න ඕන. අපට සිංහල සංගීතයක් තිබෙනවා.නමුත් ගීතයෙන් එහාගිය නිර්මාණ නැති තරම්.මගේ මේ උත්සාහය සිංහල ගීතයෙන් එහාගිය නිර්මාණ කරන්න.උදාහරණයකට අපේ රටේ සංගීතඥයකුට සංගීත ඛණ්ඩයක් වාදනය කරන්න කිව්වොත් සිංදුවක් තමයි වාදනය කරන්නෙ.මම වුණත් එහෙමයි.

නමුත් බිතෝවන් . මොසාඩ් වැනි අය ගීතයෙන් එහා ගිය සංගීතයක් නිර්මාණය කරලා තිබෙනවා.අපට අපේම හඬ තිබෙනවා.එය ලෝකයට ගෙනයන්න තමයි මගේ උත්සාහය.මේ සඳහා මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් එකතු කරගෙන වාදක මණ්ඩලයක් පුහුණු කරනවා.පිටරට වල ඉන්න සිංහල ඩයස්පෝරාවට විශාල කාර්ය භාරයක් තියෙනවා කරනවා නම්, මේ විශ්ව විද්‍යාලවල ඉන්නවා හොඳට ඉගෙන ගත්ත ළමයි. ඒ අය විදෙස් රටවල ඔකෙස්ට්‍රා එක්ක සම්බන්ධ කරලා ඉදිරියේදී අපේ සංගීතයක් ජාත්‍යන්තරයේ ඇහෙන්න සලස්වන්න පුළුවන්.ඒ අය සංවිධානය කරන සංගීත සංදර්ශන වලට මේ අය ගන්න පුළුවනි.

ඔබ ක්ෂේත්‍රයට පැමිණි අන්දම ගැන මතකය අවදි කරමු

මම ගමෙන් ආව කෙනෙක්.බොහොම බාධක කරදර මැද තමයි මේ තත්වයට ආවේ. අපට පාසල්වල හරියට සංගීතය ඉගෙන ගන්න පහසුකම් කිසිවක් තිබුණේ නෑ.මගේ ගම කඩුගන්නාව. වික්ටර් රත්නායකගේ ගම. මුලින්ම ගමේ පාසලට ගියා.ඊට පස්සේ මැණික්දිවෙල මහා විද්‍යාලයටත් එතැනින් මහනුවර ධර්මරාජ විද්‍යාලයටත්ගියා.

ගමේ බජව් කණ්ඩායමට එකතුවෙලා තමයි මුලින්ම සංගීතය ආරම්භ කළේ. මුලින්ම සංගීතය හැදෑරුවේ අභයපාල ගුරුතුමා ගෙන්. ඊට පස්සේ M G P කලායතනයේදිත් සරසවි කලායතනයේදීත් හින්දුස්ථනි රාගධාරී සංගීතය හැදෑරුවා. වයලීන් වාදනය තමයි ප්‍රගුණ කළේ.කලබල කාලේ යාපනේ ගිහින් සංගීත කණ්ඩායමක කටයුතු කළා.එහිදී දෙමළ භාෂාවෙන් කර්නාටක සංගීතය හදාරන්න අවස්ථාව ලැබුණා.ඉන්පස්සේ කැන්ඩියන් රූබීස් සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණා. පසුව ෆෝචූන් සංගීත කණ්ඩායමේ කීබෝඩ් සහ එකෝඩියන් වාදන ශිල්පියා ලෙස කටයුතු කළා.

1978 දී ගුවන් විදුලි වාදක මණ්ඩලයට සම්බන්ධ වුණේ චෙලෝ වාදන ශිල්පියා ලෙසින්.

ආර් මුත්තුසාමි, මොහොමඩ් සාලි, ක්ලැරන්ස් විජේවර්ධන, ෂෙල්ටන් ප්‍රේමරත්න , එම්. කේ. රොක්සාමි, ලයනල් අල්ගම, සරත් දසනායක සහ කේමදාස මාස්ටර් වැනි අය යටතේ වාදනය කිරීමේ අවස්ථාව ලැබුණා.

බටහිර සංගීතයට යොමුවුණේ ඊට පස්සේ. මේ අතර මට බටහිර සංගීතය පිළිබඳව දැනුම මදි බව වැටහුණා.ඉතින් මම 1980 වසරේ පමණ අවුරුදු 15 ක් පියානෝ වාදනය හැදෑරුවා.ඊට පස්සේ තමයි සිම්පනි වගේ දේවල් හදාරන්න පටන් ගත්තේ.ඒ ගමන තමයි මම මේ යන්නේ .ඉතින් මම මේ රටේ සංගීතයට ආදරය කරන සංගීතය හදාරන සියලුම දෙනාට ආරාධනා කරනවා මා සමඟ එකතුවන්න අපට අපේම සංගීත නිර්මාණ වලින් විශ්වය ජයගන්න පුළුවන්.‘‘

ඔහුගේ ලිපිනය 62/2 කාලිංග මාවත කොළඹ -05

ඉඳුනිල් විරරත්න
ඡායාරූප - මහින්ද විතානාච්චි

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.