තාරුණ්‍යයේ අනන්‍යතා අර්බුදය | සිළුමිණ

තාරුණ්‍යයේ අනන්‍යතා අර්බුදය

නූතන ගෝලීය සමාජයේ සංකීර්ණ සහ වේගවත් ව්‍යාප්තිය සඳහා සන්නිවේදන තාක්ෂණය මඟින් කරනු ලැබ ඇති බලපෑම අතිමහත්. ඒ අතරත් පසුගිය දශක කීපය තුළ අන්තර්ජාල තාක්ෂණය ලැබූ වර්ධනය මගින් සන්නිවේදන මාධ්‍ය තුළ ඇති වූ උඩුයටිකුරු වීම මේ සඳහා ප්‍රධානතම හේතු සාධකයයි. පැවැති සාම්ප්‍රදායික මාධ්‍යවලටද අභියෝගයක් වෙමින් අන්තර්ජාල තාක්ෂණය ආශ්‍රිතව ගොඩනැඟුණු නව මාධ්‍ය සහ ජාලීය සන්නිවේදන අවකාශය මඟින් සමස්ත සමාජ විඥානයටම පුළුල් බලපෑමක් සිදු කරමින් පොදුජන ග්‍රාහකයා අනන්‍යතා අර්බුදයකට ලක් කර තිබෙනවා.

වැඩි අවධානයක් යොමු නොවුණද, මෙය සමකාලීන ජාලීය සන්නිවේදන අවකාශය තුළ විශේෂයෙන්ම තරුණ ප්‍රජාව මුහුණ දී ඇති ප්‍රධානතම අභියෝගයක්. සමාජ ජාල සංස්කෘතිය මගින් මෙතෙක් පැවැති ජීවන ශෛලීන්, විවිධ මත, ආගම් සහ නිෂ්පාදන දැඩි යටපත් කිරීමකට ලක් කර, නව වටිනාකම් හඳුන්වා දෙනු ලබනවා. මේ ජාලීය සම්බන්ධය නිසා නිශ්චිත සංස්කෘතික අනන්‍යතාවලින් යුක්ත පරිශීලකයන් විවිධ හා වෙනස් විශ්වාස, පුරුදු සහ තත්ත්වයන් දෙස වෙනස් ආකාරයෙන් බලන්නා වූ බහුවිධ සංස්කෘතීන් සහ සම්බන්ධ වීම සිදු වනවා.

මේ නව මාධ්‍ය අවකාශය මඟින් සමකාලීන සමාජය විස්මයජනක ලෙස උඩුයටිකුරු කරමින් තිබෙනවා. පළමුව ගලක් දමාගැසූ අවස්ථාව නූතන මානවයාගේ උපත වන බව 'ඩොමෙස්ටිකේෂන් ඔෆ් බීන්' යනුවෙන් නිබන්ධයක් ලියන ජර්මන් දාර්ශනික පීටර් ස්ලොටර්ඩිජ්ක්ගේ අදහස් කළේ ඓතිහාසික වශයෙන් තාක්ෂණය සමාජය සමඟ ඇති අවියෝජනීය සම්බන්ධය නිසයි.

ඔහුට අනුව එය තාක්ෂණය භාවිත කිරීමේ දී මානවයා පළමුව යොදාගත් නූතන උපකරණයයි. එනිසා මානවයාගේ පැවැත්ම අනිවාර්ය තාක්ෂණික මූලාරම්භයක් සහිතව නිර්මාණය වී ඇති බව පැහැදිලි වෙනවා. නූතන ජාලීය සන්නිවේදන තාක්ෂණය මඟින් භාවිතයට ගැනෙන්නේ මානවයා සතු මේ ඓතිහාසික නැඹුරුවයි. තාක්ෂණයට ඇති සුවිශේෂ නැඹුරුවත්, නව මාධ්‍යයන්හි ඇති ශක්‍යතාවල ප්‍රබලත්වයත් නිසා එම මාධ්‍ය භාවිත කරන පොදුජනයා විවිධ මට්ටමින් අනන්‍යතා අරගලවලට යොමු වීම අවධානය යොම විය යුතු ප්‍රධාන කරුණක් වන්නේ මේ තත්ත්වය මතයි.

සමාජයේ සිටින සියලූ දෙනාම යම් නිශ්චිත අනන්‍යතාවන්ගෙන් යුක්තයි. ආගමික අනන්‍යතා සම්බන්ධයෙන් මතු වන අර්බුද මඟින් විවිධ අන්තවාදි ගැටුම් ඇති වන අවස්ථා පවා අප දැක තිබෙනවා. ජාතික අනන්‍යතාව, ලිංගික අනන්‍යතාව, ආයතනික අනන්‍යතාව ආදි වශයෙන් වන්නා වූ විවිධ අනන්‍යතා මඟින් ප්‍රකට කරන්නේ සියලූ දෙනා යම් අනන්‍යතාවකට දක්වන සම්බන්ධයයි. විශේෂයෙන්ම ඉතා ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස්බුක් ජාලය තුළ මෙන්ම විවිධ බ්ලොග් අඩවිවල පළ වන අන්තර්ගත, අන්තර් සන්නිවේදන ක්‍රියාකාරිත්වය විමර්ශනය කර බලන විට මේ මාධ්‍ය අවකාශය මගින් ඇති කර තිබෙන අනන්‍යතා අර්බුදයේ ස්වභාවය පැහැදිලි වෙනවා.

ෆේස්බුක් පරිශීලකයන් එම සමාජ මාධ්‍ය ජාලය තුළට එක් වී සිටීමට බලපාන මූලික හේතු මොනවාද? තමන්ගේ අදහස් තමන්ම ප්‍රකාශ කිරීමට හොඳ වේදිකාවක් වීම, වෙනත් අය සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීම, අලූත් පුද්ගලයන් හමු වීම, ඔවුන්ගේ වෙනත් සමාජ ජාල ෆේස්බුක් සමඟ සන්ධි කිරීම, රොමෑන්ටික් හෝ වෘත්තීය වශයෙන් සම්බන්ධතා වර්ධනය කරගැනීම ආදි අවශ්‍යතා සඳහා පරිශීලකයන් මේ සමඟ බැඳී සිටින බව සමීක්ෂණ මඟින්ද හෙළි වෙනවා.

වෙනත් සමාජ මාධ්‍ය අතර තරුණ ප්‍රජාව කෙරෙහි දැඩි බලපෑමක් සිදු කරන ෆේස්බුක් ජාලයේ විවිධ ක්ෂේත්‍රවලට අයත් සමූහ තුළ එවැනි අනන්‍යතා අර්බුදයන්ට ලක් වී ඇති පරිශීලකයන් බහුල වශයෙන් සිටිනවා. එවැනි ප්‍රජාව මට කවුරුන් විය යුතුද?, මට කවුරුන් වගේ විය යුතුද?, මට මගේ ජීවිතය සමඟ කොහේ යා යුතුද?, මගේ ජීවිතයට අර්ථයක් තිබේද?, මගේ ප්‍රශ්න අවසන් කරගන්නේ කෙසේද? ආදි වශයෙන් අනන්‍යතා නීර්ණයට අදාළව තමන් තුළම පුද්ගලාන්තර සන්නිවේදනයක් සිදු කරගන්නා ආකාරය අප නිරීක්ෂණය කරනවා.

එයින් නොනැවතී ඔවුහු එම ජාලයන් තුළ සිටින විවිධ මිතුරන් සමඟ විවිධ අන්තර්පුද්ගල සම්බන්ධතාද සිදු කරනවා. ඒ මඟින් සමාජීය වශයෙන් විවිධ ගැටලු ඇති වන ආකාරය දේශීය සමාජය තුළම අප අත්දැක තිබෙනවා. ෆේස්බුක් මඟින් හඳුනාගත් බැංකු නිලධාරිනියක සමඟ වසර 06ක ආදර සම්බන්ධතාවක් පැවැත්වූ මාතලේ ප්‍රදේශයේ ව්‍යාපාරික තරුණයකු සිත්තැවුලට පත්ව තරුණියගේ නිවෙසටම පැමිණ වස පානය කොට දිවි නසාගැනීම සම්බන්ධ පසුගියදා අනුරාධපුරයෙන් වාර්තා වූ පුවත එවැනි අවස්ථාවකට උදාහරණයක්.

මේ අතර තරුණ පරපුර තමන්ට පෞද්ගලික වන ලෙස නව මාධ්‍යයක් වන බ්ලොග් අඩවි නිර්මාණය කරගෙන තම අදහස් අවකාශයට එක් කිරීම ක්‍රමයෙන් වැඩි වෙමින් තිබෙනවා. ඒ අතර විවිධ අනන්‍යතා ගැටලුවලට මුහුණදුන් තරුණ ප්‍රජාව විසින් දිවි නසාගැනීම දක්වා කටයුතු කරනු ලබන ආකාරය දිවි නසාගැනීම් සම්බන්ධ බ්ලොග් අඩවි නිරීක්ෂණය මඟින් පැහැදිලි වෙනවා. මේ සියදිවි නසාගැනීම පිළිබඳ බ්ලොග් අඩවි මඟින් තරුණ වයසේ පසු වන්නන් තුළ ඇති වී තිබෙන මානසික ආතතිය මෙන්ම සියදිවි නසාගැනීම දක්වා වූ සියලූ සිද්ධි හා සිතිවිලි ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. මෙය ජීවිතය සහ මරණය සම්බන්ධ ගැටලුවක් වන අතර අප සමාජයේ අනන්‍යතා පිළිබඳ ගැටලුව කෙරෙහි යොමු කරන අවධානය කොතරම් වැදගත් වන්නේද යන්න මේ මගින් ගම්‍ය කරනු ලබනවා.

මාධ්‍ය මගින් පුද්ගල අනන්‍යතාවක් හැඩගැස්වීමේ දී සමාජීය, මානසික, සංස්කෘතික වශයෙන් අතීතයේ මෙන්ම වර්තමානයේද කුමන ආකාරයේ මැදිහත් වීමක් සිදු කරයිද? නව මාධ්‍යවල පැමිණීම අප රට වැනි සාම්ප්‍රදායික සමාජවලට දරගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන ආකාරයක්ද, පෙනෙන්නට තිබෙනවා. එම තත්ත්වය තාරුණ්‍යය තුළ අනන්‍යතා අර්බුද හටගැනීමට මූලික වන්නා වූ ප්‍රධානතම හේතුවක්. මේ නව ජාලීය සන්නිවේදන අවකාශය සඳහා සමාජය තුළ සමස්තයක් වශයෙන් ප්‍රතිරෝධය පෑමක් සහ සැලකිය යුතු මට්ටමේ සැකයක්ද, පවතිනවා.

19 වන ශතවර්ෂයේ පළමු භාගයේ දී මුලින්ම යුරෝපයට දුම්රිය පද්ධතියක් හඳුන්වා දී ඇති අවස්ථාවේ එවකට එහි පැයට සැතපුම් 20-30 වේගය පිළිබඳව විස්මයට පත් වී, බොහෝ මගීන් ඒ තුළ රෝගි වී ඇති අයුරින්ම නව මාධ්‍ය අවකාශය ලද පුළුල් ව්‍යාප්තිය තුළ එයට අනුගත වීමට නොහැකිව විවිධ අයුරින් ප්‍රතිරෝධය පාන ආකාරයක්ද, දකින්නට තිබෙනවා.

එහෙත් දුම්රිය සේවයේ ඇති විස්මයජනක තත්ත්වයන් වන ප්‍රවාහනය, වේගය, සුවපහසුව සහ අවකාශීය සම්බන්ධය නිසා පසුකාලයේ එය නූතන ශිෂ්ටාචාරයේ සමාජ සංවර්ධනය, සමාජ සහ ආර්ථික ප්‍රගතිය, ප්‍රජාතන්ත්‍රවාදය, බලශක්තිය සහ නිදහසෙහි සංකේතයක් බවට පත් වුණා. ඒ අනුව අනන්‍යතා අර්බුදයන්ට ලක් වීම වළකමින් නව ජාලීය සන්නිවේදන අවකාශයද, ඒ ආකාරයෙන් භාවිතයට ගැනීමට අවශ්‍ය සාක්ෂරතාව සහ පෙලඹවීම සිදු කළ යුතුව තිබෙනවා.

 විජේසිංහ දිසානායක

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.