ලූෂන් පුෂ්පරාජ් සහ කායවර්ධන ක්‍රීඩාවේ හෙට... | සිළුමිණ

ලූෂන් පුෂ්පරාජ් සහ කායවර්ධන ක්‍රීඩාවේ හෙට...

බොහෝ ජාතික ක්‍රීඩා සංගම් සම්මේලනවලට ක්‍රීඩා සැලසුම් කිරීම ගැන දැනුම තිබෙන නිලධාරීන් හිඟවීම ලාංකේය ක්‍රීඩාවේ අභාග්‍යයට බෙහෙවින්ම බලපා ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තෙවැනි ජාතික වොලිබෝල් සමුළුවට එක් වූ අවස්ථාවේදීය. පසුගිය කතුවැකිය අප ආරම්භ කළේම තාර්කික බුද්ධිමතුන්ගේ නිහඬතාව මුග්ධයන්ට පාරාදීසයක්වන පසුබිමක ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොව තවත් බොහෝ දෑ බිඳ වැටී ඇති බව සටහන් කරමින්ය. ලාංකේය ක්‍රීඩාව පිළිබඳ දැනුමැති නිලධාරින් හිඟවීම අභාග්‍යයක් බව අමාත්‍යවරයාට ම තේරෙන පසුබිමක ක්‍රීඩාව මේ ආකාරයෙන් හෝ පැවැතීම ගැන සතුටු වෙනවාද දුක්වෙනවාද යන්න සාධක සෙවීමට වෙහෙසවිය යුතු නොවේ.

ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීමට මහේල ජයවර්ධන ඉදිරිපත් කළ වාර්තාව කුණු බක්කියට විසිකර දමමින් වත්මන් ක්‍රිකට් පාලකයෝ ඊටත් වඩා ඉදිරියට ගිය වැඩ පිළිවෙළක් සකසා ඇති බව ප්‍රකාශ කළහ. අද එකී වැඩපිළිවෙළ ක්‍රීඩකයන් වතුර බෝතල්වලින් ගුටිකන තැනට දක්වා වර්ධනය වී තිබීම ගැන ඔවුහු සව්දිය පුරනවා විය යුතුය.

ක්‍රිකට් ක්‍රීඩකයන් අද සිය ආදරණීය ජනතාව ගෙන්ම ගුටිකන තැනට පත්වන විට, ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ් 51 වැනි ආසියානු කාය වර්ධන සහ ශාරීරික යෝග්‍යතා තරගාවලියේදී මිස්ටර් ඒෂියා කිරුළ මෙන්ම සමස්ත ශුරතාව ද දින ගැනීමට කොරියාවේදී සමත් විය. මේ ජයග්‍රහණය ගැන ආඩපාලි කියවන්නට පටන් ගෙන ඇති නිලධාරීන් කිහිපදෙනකු අද තැන තැන ගඳ ගස්සන්නට සමත්ව තිබේ.

මිනිස් සිරුරක අපූර්වත්වය, එකී සිරුරේ ශක්තිය, ජවය මේ සියල්ලට ම නියත වටිනාකමක් ක්‍රීඩා පිටියක ගොඩ ගොඩනැගිය හැකි බව ලූෂන් ප්‍රථමවරට ප්‍රදර්ශණය කළේ 66 වැනි මිස්ටර් ශ්‍රී ලංකා තරගයේදීය. එහෙත් ලාංකේය ක්‍රීඩාවේ කරුමයට මෙය බඩගෝස්තරවාදයක් බවට පෙරළා ගෙන ඇති සංගම් - සම්මේලන නිලධාරින් අදටත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුට්ටුවට දෙකට දමා ටයිකෝට් ඇඳගෙන ක්‍රීඩාවට හෙන ගැසුවද ඔවුහු යෙහෙන් වැජඹෙති.

මෙරට නගරයක ඇති කායවර්ධන මධ්‍යස්ථාන සංඛ්‍යාව පමණක් ගෙන බැලුවද ක්‍රීඩාවක් වශයෙන් ද කායවර්ධන ක්‍රීඩාව දියුණු තත්ත්වයක තිබිය යුතුය. එහෙත් මෙරට කායවර්ධන ක්‍රීඩාව තුළ පවතින කුලල් කා ගැනීම් නිසා ම එයට අද ලැබී ඇත්තේ ද කුඩාම්මාගේ සැලකිල්ලය. ක්‍රීඩාවක් ලෙස ගත් කලද දිගු ගමනක් යා හැකි පරිදි මෙය ඔප මට්ටම්කර ගත හැකිය. එහෙත් ක්‍රීඩා අමාත්‍යවරයාම පවසන පරිදි මේවා ගැන දැනුම ඇති නිලධාරීන් හිඟවීම ලාංකේය සමස්ත ක්‍රීඩාවේ ම කරුමය මිසක් වෙනකක් නොවේ. අද මෙරට කායවර්ධන ක්‍රීඩාවට ලූෂන්ගේ ශරීර කූඩුව විකුණාගෙන යහමින් හරි හම්බ කරගත හැකිය.

එහෙත් නැවතීමේ තිත තැබිය යුත්තේ ද එකී කටයුත්තටමය. මිස්ටර් ඒෂියා තුළින් මතු වූ ලූෂන්ගේ ක්‍රීඩා දිවිය සම්බන්ධයෙන්වන වගකීම මෙතැන් පටන් බාර ගත්තේ කවුද යන්න විමසා බැලිය යුතුය. එතැන් පටන් මෙකි ක්‍රීඩාවේ අනාගත සුබ සිහින දැකිය හැකිය.

ලූෂන් මනුෂ්‍යයකු ලෙස ජීවිතය මහා පොළොවෙන්ම පටන් ගත් අයෙකි. මෙකී මනුෂ්‍යයාට මල් යහන් නොවීය. ලූෂන් අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඉගෙනීමේ කටයුතු කළේ කුලී වැඩ කරමින් උපයා ගත් මුදලින්ය. එසේ ජීවිතය ගොඩනංවා ගන්නා ලූෂන් 2017 මිස්ටර් ඒෂියා සමඟ සමස්ත කිරුළ ද දිනා ගනියි.

ලූෂන් මෙකී තරගාවලියට එක්වන විට සිටින්නේ විදෙස්ගතවය. ලූෂන් එහි යන්නේ සැප ගන්නට නොව, ජීවත්වීම සඳහා රැකියාවක් පිණිසය. ලූෂන් සිය රැකියාව වෘත්තිය ක්‍රීඩකයකු බවට පත්කර ගන්නේ උත්සාහය, උනන්දුව සහ කැපවීමට මුල් තැන ලබාදෙමින්ය. මෙරට කාය වර්ධන ක්‍රීඩාවකට කලකට පසු බිහි වූ මෙකී ශරීර කූඩුවේ සහ ඒ තුළ ගැබ්වී ඇති පෞරුෂය ලාංකේය කායවර්ධන ක්‍රීඩාව හදාරන්නේ නම්, එය මෙරට කායවර්ධන ක්‍රීඩාවේ හෙට දවසට සුබදායක වනු ඇත.

අදහස්