මුදුන් රිකිලි මඟින් ගම්මිරිස් රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය | සිළුමිණ

මුදුන් රිකිලි මඟින් ගම්මිරිස් රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය

රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා මුදුන් රිකිලි භාවිතයේදී යොදාගනු ලබන අතු කැබැල්ල, අනෙක් ක්‍රම වලදීට වඩා තරමක් වෙනස් වේ. මෙහිදී සාපේක්ෂව විශාල අතු කැබැල්ලක් භාවිතකරන අතර එහි ගැට පහක් සහිතය. එම අතු කැබැල්ලේ පහළින් ඇති ගැට තුනෙහි පත්‍ර සහ හරස් අතු ඉවත්කරන අතර ඉහළින් ඇති ගැට දෙකෙහි පත්‍ර පමණක් ඉවත්කරයි.

ගම්මිරිස් වැලක ඇති විවිධ අතු වර්ග, ඒවායේ වර්ධක ලක්ෂණ මෙන්ම එම අතු වර්ග වලින් ලැබෙන රෝපණ ද්‍රව්‍ය වල විවිධ ලක්ෂණ හා ඒවා අතර ඇති වෙනස්කම් පිළිබඳව අපි මීට පෙර ලිපි මඟින් සාකච්ඡා කළෙමු. මෙවර, මුදුන් රිකිලි මඟින් ලබාගත හැකි රෝපණ ද්‍රව්‍යවල මූලික ලක්ෂණ හඳුනාගනිමු.

සාමාන්‍යයෙන් ලංකාවේ ගම්මිරිස් වගාකිරීමේදී භාවිතාකරනු ලබන්නේ පාවැල් මඟින් ලබාගන්නා රෝපණ ද්‍රව්‍ය වුවද, මේ වන විට මුදුන් රිකිලි මඟින් නිෂ්පාදනය කරනු ලබන රෝපණ ද්‍රව්‍ය සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවෙමින් තිබේ. ඊට හේතුවන්නේ එම රෝපණ ද්‍රව්‍ය මඟින් ගම්මිරිස් වගාවක් ආරම්භ කිරීම වඩා වාසිදායක වීමයි.

රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා මුදුන් රිකිලි භාවිතයේදී යොදාගනු ලබන අතු කැබැල්ල, අනෙක් ක්‍රම වලදීට වඩා තරමක් වෙනස් වේ. මෙහිදී සාපේක්ෂව විශාල අතු කැබැල්ලක් භාවිතකරන අතර එහි ගැට පහක් සහිතය. එම අතු කැබැල්ලේ පහළින් ඇති ගැට තුනෙහි පත්‍ර සහ හරස් අතු ඉවත්කරන අතර ඉහළින් ඇති ගැට දෙකෙහි පත්‍ර පමණක් ඉවත්කරයි. එම ඉහළ ගැට දෙකෙහි ඇති හරස් අතු වල පත්‍ර 4-5 ක් පමණ ඉතුරු කර අනෙක් පත්‍ර සියල්ල ඉවත්කරනු ලබයි. මේ අතු කැබැල්ල සාපේක්ෂව විශාල වීම හා ඒවා අනෙක් අතු වර්ග වලට සාපේක්ෂව මාංශල වීම හේතුවෙන් ඒවායේ වැඩි ජලය ප්‍රමාණයක් මෙන්ම වැඩි ආහාර ප්‍රමාණයක් ද අන්තර්ගත වේ. මේ නිසා අනෙකුත් වර්ධක ලක්ෂණද සලකා බලන විට තවානේදී රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනයේදීත් ක්ෂේත්‍රයේ සිටුවීමේදීත් මේ රෝපණ ද්‍රව්‍ය වඩා සාර්ථක බව පැහැදිලිව හඳුනාගෙන ඇත.

රුපය 01 - මුදුන් රිකිලි පැළ නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන අතු කැබැල්ල

මෙහිදී භාවිත කරනු ලබන අතු කැබැල්ල සාපේක්ෂව විශාල හෙයින් මේ සඳහා පාවැල් වලදී භාවිත කරනු ලබන බඳුනට (8’x 5’) වඩා තරමක් විශාල බඳුනක් (10’x 8’) භාවිතකල යුතුවේ.

බඳුන් මිශ්‍රණය, ආර්ද්‍රතා කුටීරය පවත්වා ගැනීම සහ අනෙකුත් තවාන් කළමනාකරණ කටයුතු සියල්ල සමාන වේ. මෙසේ ලබාගන්නා මුදුන් රිකිලි ගම්මිරිස් පැළයක පහත සඳහන් වාසිදායක ලක්ෂණ හඳුනාගත හැකිවේ.

රුපය 02 - මුදුන් රිකිලිවලින් ලබාගත් ගම්ම්රිස් රෝපණ ද්‍රව්‍ය

මුදුන් රිකිලි රෝපණ ද්‍රව්‍ය වල ඇති වාසිදායක ලක්ෂණ

01. තවානේදී ස්ථාපන ප්‍රතිශතය සාපේක්ෂව වැඩිවීම. (90-95% ක් පමණ)

02. සාපේක්ෂව කෙටි කලකින් පැළ නිෂ්පාදනය කරගත හැකිවීම.

03. හොඳින් වැඩුණු මූල පද්ධතියක් තිබීම.

04. වැඩි වර්ධන වේගයක් සහිත වීම

05. මව් ශාක උද්‍යානයක් පවත්වා ගන්නා බැවින් රෝග හා පලිබෝධ වලින් තොර පැල ලබාගත හැකිවීම.

06. පාවැල් වලට වඩා සාපේක්ෂව විශාල හා ආකර්ෂණීය පැළයක් ලබාගත හැකිවීම.

එමෙන්ම මුදුන් රිකිලි පැල ක්ෂේත්‍රයේ සිටුවීමෙන් පසුව ද අනෙකුත් ක්‍රම වලින් ලබාගන්නා රෝපණ ද්‍රව්‍ය වලට වඩා වාසිදායක ලක්ෂණ ගණනාවක් හඳුනාගත හැක.

මුදුන් රිකිලි රෝපණ ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ සිටුවීමෙන් පසු ඇති වාසිදායක ලක්ෂණ

01. ක්ෂේත්‍ර ස්ථාපන ප්‍රතිශතය වැඩිවීම.

02. වැඩි වර්ධන වේගයක් තිබීම

03. වැඩි හරස් අතු සංඛ්‍යාවක් හටගැනීම.

04. වැලෙහි පාමුල සිටම හරස් අතු ඇතිවීම මගින් සිලින්ඩරාකාර හා ඒකාකාර වියනක් ඇතිවීම

05. වසරකටත් අඩු කාලයකදී අස්වනු ලබාගත හැකිවීම

06. වැඩි අස්වැන්නක් ලබාගත හැකිවීම.

07. ආකර්ෂණීය පෙනුම

රුපය 03 - මුදුන් රිකිලි පැළ ක්ෂේත්‍රයේ සිටවු පසු වර්ධනය වන ආකාරය

ගම්මිරිස් වැලක කරල් හටගනු ලබන්නේ හරස් අතු වල පමණි. වැලෙහි පාමුල සිටම වැඩි හරස් අතු සංඛ්‍යාවක් සකස්කරගත හැකිනම් ඉන් ලැබෙන අස්වැන්න වැඩි කරගත හැක.

ගම්මිරිස් භෝගයේ විවිධ අස්වනු පරාමිතීන් සලකාබලන විට එහි අස්වනු තීරණය කරන ප්‍රධාන සාධකයක් වන්නේ වියනෙහි පවතින හරස් අතු සංඛ්‍යාවයි. මේ නිසා ගම්මිරිස් වගාවකදී රෝපණ ද්‍රව්‍ය ලෙස මුදුන් රිකිලි රෝපණ ද්‍රව්‍ය යොදාගැනීම ඉතාමත් වාසිදායක බව පැහැදිලි වේ. එසේ වුවද රෝපණ ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ සිටුවූ පසු නිසි කලට කප්පාදු කිරීම සහ අනෙකුත් බෝග කළමනාකරණ කටයුතු නිසි අන්දමින් සිදුකිරීම ද අත්‍යවශ්‍ය බව අවබෝධ කරගත යුතුය.

ආචාර්ය ආනන්ද සුබසිංහ
නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ)
මධ්‍යම පර්යේෂණ ආයතනය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Comments