නාරාවිල පැට්‍රික්ගේ ලේඛන හා ජීවන ශෛලිය | සිළුමිණ

නාරාවිල පැට්‍රික්ගේ ලේඛන හා ජීවන ශෛලිය

සාහිත්‍ය අටුවාව

සිංහල සාහිත්‍යයේ ප්‍රවර්ධනය උදෙසා විශිෂ්ට ගණයේ දායකත්වයක් දුන් ලේඛකයකු වන නාරාවිල පැට්‍රික් මහතාගේ වියොව රටට සිදුවූ විශාල පාඩුවකි. නාරාවිල පැට්‍රික් යන නම සිංහල පාඨකයන් අතර හොඳින් තහවුරු ව ඇත්තේ රුසියන් සාහිත්‍යය සිංහල බසින් හඳුන්වා දුන් පුරෝගාමී රචකයකු හැටියට ය. ඔහුගේ සාහිත්‍ය මෙහෙවර පරිවර්තන සාහිත්‍යයට සීමා නොවී ය. ඔහු ශාස්ත්‍රීය පර්යේෂක­ෙයක් ද විය. ඔහුට බටහිර සාහිත්‍ය පිළිබඳව මෙන් ම සංස්කෘත සාහිත්‍ය පිළිබඳව ද පුළුල් දැනුමක් විය.

මාක්ස්වාදය හා අධ්‍යාපන දර්ශනය ද ඔහුගේ ප්‍රියතම විෂයයන් ය. මාක්ස්වාදය ගැඹුරින් හැද‍ෑරීම ඔහුගේ චින්තන පරිධිය පුළුල් කිරීමට හේතු විය.

අවුගිනිදැල්, භෞතික විද්‍යා විනෝදය, බයිබලයේ දාර්ශනික චින්තා, දම්පියාව නෙත් පියාන හෙවත් මට්ටකුණ්ඩලී වත, ඉනා බෙහෙත්, කුමාර සම්භවය, මානව සංහතියේ වරිග, මාතිහාරි, මේඝ දූත, මිනිසා යෝධයකු වූයේ කෙසේද, නොරඳන අමාදිය යනු ඔහු ලියූ ග්‍රන්ථ සමූහයෙන් කිහිපයකි. නොපළ ව අත්පිටපත් මට්ටමේ ඇති ක‍ෘතීන් පිළිබඳව මෙහි සඳහන් නො කරමි.

පෙරපර දෙදිග සාහිත්‍ය කෘති පරිවර්තනය කිරීෙමන් ඔහු විශ්ව සාහිත්‍යයේ කවුළු දේශීය සාහිත්‍යයට විවර කළේ ය; සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ පරිශීලනය සඳහා මඟ පෙන්වීය. විද්‍යා දැනුම සිංහලෙන් ලබා ගැනීමේ අවශ්‍යතාව ඇති පුළුල් පාඨක පිරිසකට අවශ්‍ය කෘති කිහිපයක් සම්පාදනය කළේ ය.

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පිහිටුවීමේ එක් අරමුණක් විය යුතුව තිබුණේ වෙනත් භාෂාවලින් පළවෙන කෘති සිංහල භාෂාවෙන් පළ කිරීම ය. එයින් සිදු වන්නේ නවීන දැනුම ලැබීම ය. එය සිංහල වදන් ශුද්ධියට වඩා පුළුල් ව්‍යාපෘතියකි. එහෙත් එම දෙපාර්තමේන්තුවට අවශ්‍ය දැක්ම, මානව හා භෞතික සම්පත් ලබාදීම සිදු නොවී ය. මේ නිසා, එයින් විය යුතු කාරියෙන් කොටසක් ඉටු වූයේ ස්වාධීන ලේඛකයන් පිරිසක් අතිනි.

සදාචාරය හා නිරෝගී සම්පත, ග්‍රාමීය විද්‍යා ප්‍රවේශනය, විද්‍යා විනෝද කතා, කුරුකුහුඹු සත්තු, මුහුදු වෙරළ, සත්ව සන්තතිය යනාදී කෘති සම්පාදනය කළ මාර්ටින් වික්‍රමසිංහ එම වගකීම ඉටු කළ පු‍රෝගාමී ලේඛකයෙකි.

ආචාර්ය ඊ.ඩබ්. අදිකාරම් පාඨශාලීය විද්‍යා ශබ්ද කෝෂය සකස් කිරීමෙන් නොනැවතී සඟරා හා පුවත්පත් ලේඛන මඟින් විද්‍යාත්මක දැනුම සිංහලෙන් ලබා දුන්නේ ය. නාරාවිල පැට්‍රික් ද එම මෙහෙවර ඉදිරියට ගෙන යමින් අගනා කෘති කිහිපයක් සම්පාදනය කළේ ය. වත්මනෙහි එකී මෙහෙවර ඉදිරියට ගෙන යන ලේඛක පරපුරක් නොසිටීම බලවත් අඩුවකි.

නාරවිල පැට්‍රික් යනු පරම්පරා කිහිපයක ෙනත් පෑදූ කීර්තිමත් ගුරුවරයෙකි. ඔහු නිදහස් අධ්‍යාපනයේ නියම හරය වටහාගත් අයකු ලෙස සැලකිය හැකි ය. ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විසින් හඳුන්වා දෙනු ලැබූ නිදහස් අධ්‍යාපන පනත පංච මහා නිදහසකින් සමන්විත විය. ලෙඩ රෝගවලින් අත් මිදීමේ නිදහස, රැකියා වියුක්තියෙන් අත්මිදීමේ නිදහස, භීතියෙන් අත්මිදීමේ නිදහස, අවිද්‍යාවෙන් අත්මිදීමේ නිදහස යනාදී වශයෙන් නිදහසේ අදහස පුළුල් කිරීම නිදහස් අධ්‍යාපනයේ පරමාර්ථය විය. 1931 දී ගුරු පත්වීම් ලැබූ දැනට ජීවමානව සිටින ගුරුවරයකු වන විලියම් සිඤ්ඤෝ මහතා (අවුරුදු 101) මෙසේ පවසයි.

“අපි ගුරු රස්සාවට ආවෙ රෙගුලාසිවලට අස්සන් කරලා. ගුරු වෘත්තිය හැර කිසිම වෘත්තියක යෙදීම තහනම්. දේපල රැස්කිරීම තහනම්. ගුරු වෘත්තියට වැටුපක් ලැබෙනවා.‍ නමුත් එය සේවයක්.‍ වැටුපක් ලබාදෙන්නේ එම සේවයටයි. අධ්‍යාපනය කියන්නේ හම්බු කරන මාර්ගයක් නොවේ.”

විලියම් සිඤ්ඤෝගේ මේ ප්‍රකාශය ඉතා වැදගත් ය.

අධ්‍යාපනය වත්මනෙහි වෙළෙඳ භාණ්ඩයකි. සාහිත්‍යකරුවන්, කලාකරුවන් හා විද්‍යාඥයන්ට නොමැති පිළිගැනීමක් ටියුෂන් මුදලාලිලාට ලැබේ.

පරමාදර්ශී ගුරු දිවියක් ගත කළ නාරාවිල පැට්‍රික් මහතාට තිබූ දැනුම් සම්භාරය ආයෝජනය කළේ නම් ඔහුට ද ප්‍රකෝටිපතියකු වීමේ හැකියාව පැවතිණ. එසේ වුව ද කන්නන්ගර දර්ශනය අනුව ගිය ඔහු විලියම් සිඤ්ඤෝ ගිය මග ගිය ගුරුවරයෙකි.

තවත් වැදගත් කරුණක් වනුයේ ඔහු සාහිත්‍යයේ බලු පොරයට නොවැටීම ය. තමා ලියූ පොත පසු පස එළවා යෑමේ පුරුද්දක් ද ඔහුට නොවී ය.

ජනගහනයට සාපේක්ෂව පාඨක සංඛ්‍යාවෙහි සීමිතකම අනුව බැලූ කල මෙරට ලේඛකයන්ට තම පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා අමතර අරගලයක ද යෙදීමට සිදු වේ. එනිසා කුඩා දූපතක උදේ හවා හමු වන ලේඛකයන් අතර පවා තරගයක් ඇතිවීම නිරන්තරයෙන් සිදු වේ. මෙය මට සිලිටි අයුරින් මෙන් ම සිත් රිදවන අයුරින් සිදුවන අවස්ථා ද නැත්තේ නොවේ. මේ කිසිදු කලිකලහයක නාරාවිල පැට්‍රික් මහතා දක්නට නොලැබිණ. ජී.බී. සේනානායකයන් පරිදි ම සාහිත්‍ය සම්මන්ත්‍රණාදියට සහභාගි වීමෙන් ද ඔහු වැළකී සිටියේ ය. මෙහිදී ඔහුගේ සීමාකම් ඔහුගේ සාහිත්‍ය දිවියට හානියක් කර ඇතැයි කිසිවකු පැවසුව හොත් ‍මම එය මුළුමනින් ම ප්‍රතික්ෂේප කිරීමට ඉක්මන් නොවෙමි.

මීට වසර පහළොවකට පමණ පෙර අපගේ ඇරියුම පරිදි ඔහු රාවය පුවත්පතට ශාස්ත්‍රීය ලිපි කිහිපයක් සම්පාදනය කළේ ය. ඔහු එම ලිපි එවා තිබුණේ පැරණි යතුරු ලියනයක ආධාරයෙනි. සමහර අකුරු කියවීම් දුෂ්කර විය. භාෂා ශෛලියෙහි පුවත්පතට එතරම් උචිත නොවන දෘඪ බවක් ද විය. එසේ වුව ද, කරුණු සංවිධානය කිරීම, ඉදිරිපත් කිරීම හා තර්කානුකූල බව අතින් ඒ ලිපි පොහොසත් ය. ගම්භීර බවකින් යුක්තය. ඒවා පුවත්පතට උචිත වන පරිදි සකස් කිරීමට ද ඔහු කැමැති නොවී ය.

එ පමණක් නොවේ. ඔහු එම ලිපි අප වෙත එවූයේ අප කළ කන්කෙඳිරි ගෑමට ය.

“හොඳ නම් ගන්න” කීවා මිස, කීර්තිමත් ලේඛකයකු හැටියට තම රැස්වළල්ල පෙන්වීම ඔහු විසින් කිසි විටෙක නොකළ බව ඔහුට ගෞරවය පිණිස ලියා තබමි.

අදහස්