දෙමළ කාන්තාවකට වකුගඩුවක් දන් දී මියගිය බිබිලේ ලක්ෂාන්ගේ කතාව | සිළුමිණ

දෙමළ කාන්තාවකට වකුගඩුවක් දන් දී මියගිය බිබිලේ ලක්ෂාන්ගේ කතාව

මගේ පුතා මිය ගියේ ලොකු පිනක් කරගෙනයි

යතුරුපැදි අනතුරු නිසා අකාලයේ තම දිවියෙන් සමුගන්නා තරුණ ජීවිත පිළිබඳ විවිධ සිදුවීම් දවසින් දවස සමාජය වෙත ගෙන එන්නේ දුක්මුසු පුවත්. එවැනි යතුරු පැදි අනතුරක් නිසා දිවියෙන් සමුගත් මහනුවර ප්‍රදේශයේ තරුණයකුගේ හදවත මෙන්ම වකුගඩු පරිත්‍යාග කිරීම නිසා ජීවත් වන්නට වරම් ලැබූ තිදෙනෙකු පිළිබඳ අපට අසන්නට ලැබුණේ නොබෝ දිනකයි. එහි උණුසුම පහව යන්නටත් පළමු පසුගිය සතියේ ද මෙවැනිම යතුරු පැදි අනතුරකින් මොළය මියගිය 19 හැවිරිදි තරුණයකුගේ අවයව පරිත්‍යාගයෙන් දෙදෙනකුගේ ජීවිත සුවපත් කරලීමට හැකිවිය.

මේ තරුණයාගේ වකුගඩු පරිත්‍යාගයෙන් මරණය පෙනි පෙනී දිවිගෙවූ උතුරේ දෙමළ කාන්තාවක මෙන්ම දකුණේ සිංහල තරුණයකුගේ ද ජීවිත රැක දීමට වෛද්‍යවරුන්ට හැකි විණි.උතුම් වූ මිනිසත් බව යළි යළිත් සමාජයට පසක් කරමින් වකුගඩු පරිත්‍යාග කළ තරුණයා බිබිල වෑගම දැවකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.පසුගිය සතියේ බිබිල වෑගම දැවකැටිය ප්‍රදේශයම කම්පාවට පත් කරමින් මෙලෙස යතුරු පැදි අනතුරෙන් මිය ගිය ඒ තරුණයා වයි.කේ සරත් ඉන්ද්‍රපාල මහතාගේ සහ එල්.එච් කුමුදුනි මහත්මියගේ බාල පුතු 19 හැවිරිදි ලක්ෂාන් ප්‍රමෝද්‍යයි.

තම පුතුගේ වකුගඩුවකින් දෙමළ කාන්තාවකට ජීවිතය දෙන්නට හැකි වෙතැයි ලක්ෂාන්ගේ මවුපියන් මෙන්ම ලක්ෂාන් ද කිසිවිටකත් නොසිතන්නට ඇත. එහෙත් උතුම් මිනිසත්කම පෙරදැරි කොටගත් සත්පුරුෂයන් වෙසෙන සමාජයක් තවමත් සිංහල බෞද්ධයන් සතු බව පසක් කරමින් ජාති ආගම් කුල භේද නොතකා තවත් ජීවිත දෙකක් රැක ගන්නට මිය ගිය ලක්ෂාන්ගේ වකුගඩු පරිත්‍යාග කරමින් ඔහුගේ මවුපියන් සහෝදර සහෝදරියන් සිදු කළ සමාජ සත් කාර්යය මුළු ලොවටම උතුම් ආදර්ශයකි.

දිනපතාම උදෑසන අවදිව තම සොයුරා සමඟ රැකියාවට පිටත්ව යෑම ලක්ෂාන්ගේ පුරුද්දකි. ඔවුන්ගේම වාහන අලුත්වැඩියා සිදුකරන වැඩපොළට යෑමට එදින ද ලක්ෂාන් ලැහැස්ති වූයේ කඩිනමිනි. එහෙත් ඒ ගමන මරණයෙන් කෙළවර‍වේ යැයි ,ලක්ෂාන් හෝ ඔහුගේ සොහොයුරා කිසිම විටෙක නොසිතන්නට ඇත. එහෙත් දෛවයේ ලියැවී තිබුණේ එලෙසය.

යතුරු පැදියේ නැගුණු ලක්ෂාන්ට තම සොයුරා සමඟ වැඩපොළට යන මාර්ගයේ යන්නට ලැබුණේ කෙටි දුරකි. යමක් සිතන්නට මොහොතකවත් ඉඩක් නොතබා ත්‍රීරෝද රියක ගැටුණු ඔවුන් ගමන් කළ යතුරු පැදිය, පෙරැළී ගියේය. ජීවිතයේ බලාපොරොත්තු සොඳුරු තාරුණ්‍යය සහ ජවසම්පන්න ජීවිතයක් ඒ තාර පාරේ තැලී පොඩි වී සුණු විසණු වී ගියේ ලක්ෂාන්ගේ දෙනෙත් සදහටම අඩවන් කරමිනි. අනතුරෙන් පසුව ලක්ෂාන් ඇතුළත් කරනු ලැබුවේ බිබිල මහ රෝහලටයි.

එතැනින් බදුල්ල මහ රෝහලටත් අනතුරුව අම්පාර මහ රෝහලටත් ලක්ෂාන් ඇතුළත් කෙරිණි . එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ලක්ෂාන්ගේ තත්ත්වය බරපතළ බව වෛද්‍යවරුනට අවබෝධ විණි. හෘදය වස්තුව හොඳින් වැඩකළ ද ඒ වන විටත් ඔහුගේ මොළය මියගොස් තිබිණි. විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු ඔහුගේ මොළය පිළිබඳ දෙවරකට කරන ලද පරීක්ෂණ අනුව ලක්ෂාන් තවදුරටත් ජීවත් කරවීමට නොහැකි බව ඔහුගේ දෙමවුපියන් වෙත දැන්වූයේ කනගාටුවෙනි.ඒ පිළිබඳ ලක්ෂාන්ගේ පියා අප සමඟ පැවැසුවේ මෙවැන්නකි.

"මට දරුවන් පස්දෙනෙක් ඉන්නවා අනතුරට ලක්වුණේ බාලම පුතා. පසුගිය 17 වැනි දා උදේ 7.30ට පමණ පුතා තවත් පුතෙක් සමඟ වැඩපොළට යන්න පිටත් වුණා. යතුරු පැදියේ ගිය පුතා ත්‍රී විලර් රථයක ගැටීමෙන් අනතුරට ලක් වෙලා තිබුණා. බිබිල,බදුල්ල යන රෝහල්වලින් ප්‍රතිකාර ලබා බරපතළ නිසා පුතා අම්පාර මහ රෝහලට මාරු කළා.එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේ.

ඒ වන විටත් පුතාගේ මොළය මියගොස් ඇති බවත් ඔහු ජීවත් කරවිය නොහැකි බවත් කෘත්‍රීම ශ්වසන පද්ධතිය පුතාගෙන් ගලවා ඉවත් කළ පසු මුළු ශරීරයම මිය යන බවත් වෛද්‍යවරුන් අපට පැවැසුවා. අපේ දරුවා සුව නොවන බව දැනගත්තාම මුළු ලෝකයම නැතිවුණා වගේ තමයි අපිට දැනුණේ. ඒත් පුතාගේ වකුගඩු දෙක අසාධ්‍ය වකුගඩු රෝගීන් වෙත පරිත්‍යාග කරලා ජීවිත දෙකක් බේරා ගන්න පුළුවන් බව වෛද්‍යවරුන් පැවසුවාම අපි එයට කැමැති වුණා. ඒ අනුව පුතාගේ වකුගඩු දෙක දන්දීමට අපි කටයුතු කළා." ඔහු පවසන්නේ හැඬූ කඳුළෙනි.

අම්පාර රෝහලේ වෛද්‍යවරුන්ගේ සහාය ඇතිව මහනුවර මහ රෝහලේ සම්බණ්ධීකරණ ඒකකයේ සහායෙන් මහනුවර මහ රෝහලේ වකුගඩු බද්ධ කිරිමේ ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චරිත් ප්‍රනාන්දු මහතා අම්පාර මහ රෝහලට ගොස් ශල්‍යකර්මයක් මඟින් වකුගඩු දෙක ඉවත් කර මහනුවර රෝහලේ වකුගඩු රෝගයෙන් පෙළෙමින් අසාධ්‍යව මරණය පෙනි පෙනී සිටි 46 හැවිරිදි කිලිනොච්චියේ පදිංචි දෙමළ කාන්තාවකට සහ කුරුණැගල මැල්සිරිපුර පදිංචි තරුණයෙකුට මෙම තරුණයාගේ වකුගඩු දෙක සාර්ථකව බද්ධකර තිබේ.

එම ශල්‍යකර්ම සාර්ථක වූ බවත් මේ වනවිට ඔවුන් රෝහලේ ප්‍රතිකාර ලබමින් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් මහනුවර මහ රෝහලේ වෛද්‍ය අරුණ අබේසිංහ මහතා මාධ්‍ය වෙත පැවසීය.

තම ආදරණීය පුතුගේ වියෝව දරාගත නොහැකිව වැලපෙන ලක්ෂාන්ගේ මව එල්.එච් කුමුදුනි සිය පුතු ගැන අප හා කතා බහ කළේ දැඩි වේදනාවකිනි .

"වෛද්‍යවරුන් මගේ දරුවා බේරා ගැනීමට නොහැකි බව පැවැසූවිට මාත් සැමියාත් පවුලේ අයත් සාකච්ජා කර මියයමින් සිටි දරුවාගේ වකුගඩු දන් දෙන්න තීරණය කළා. මගේ දරුවා මියගියත් දරුවාගේ වකුගඩු දෙකෙන් තවත් ජීවිත දෙකක් සුවපත් වනු දැකීම අපට සතුටක්. එවිට අපට දැනෙන්නේ අපේ පුතා ජීවත් වන බවයි.පුතා ගේ වකුගඩු දෙකෙන් ලංකාවේ කවුරුන් හරි ජීවත් වෙනවා.

දෙමළ කාන්තාවකට එක් වකුගඩුවක් බද්ධ කර තිබෙනවා. ඒ අයගේ මවුපියන්, දරුවන්, ඥාතීන් හැම දෙනාටම එය සතුටක්. ඔවුන්ට ලැබුණු ඒ සතුටේ පින මගේ පුතාට අත් වෙන්න ඕන.මගේ පුතා මේ විදිහට අපෙන් සමුගනීවි කියා මට හිතා ගන්නවත් බහැ. එය අපට හීනයක් වගේ.

මගේ පුතා මිය ගියත් එයා ලොකු පිනක් කරගත්තා. පුතාගේ තුන් මාසේ දානය අවස්ථාවේ පුතාගේ වකුගඩු දෙකින් ජීවන් වන දෙදෙනා දැකගන්න මට ආසයි. එයට මට අවස්ථාව ලැබේවා කියා මම පතනවා. එවිට මට දැනෙයි මගේ පුතා අපි ළඟ ඉන්න බව." මගේ එකම ප්‍රාර්ථනාව එයයැයි ඇය පැවැසුවේ දෙනෙතේ නැඟුණු කඳුළු පිසදමමිනි.

මියගිය ලක්ෂාන් පිළිබඳ ප්‍රදේශවාසීන් පවසන්නේ මෙවැන්නකි.' "ලක්ෂාන් කියන්නේ ගමේ හොඳින් ජීවත් වුණු තරුණයෙක්. කා සමඟත් සුහදයි. ඒ වගේ තරුණයෙක් මිය ගිය එක ගමට වගේම රටටම පාඩුවක් ලෙසයි අපිට දැනෙන්නේ. මේ අනතුර සිදු වුණේ මහියංගණ නුවරපාරේ. දැන් පාරවල් හොඳට හදලා නිසා වාහන වේගෙන් යනවා එනවා. මීට පෙරත් ලක්ෂාන් අනතුරට පත් වූ තැන ජීවිත කිහිපයක්ම නැති වුණා. මෙයට බලධාරීන් යම් පියවරක් ගන්නවා නම් හොඳයි"

පසුගිය 20වැනිදා මිය ගිය ලක්ෂාන් ප්‍රමෝද්‍යගේ දේහය 23 වැනි දින මිහිදන් කෙරුණේ පවුලේ හිතමිතුරන්ගේ හා ප්‍රදේශවාසීන්ගේ සෝ සුසුම් මැදිනි.

ස්තූතිය- වෑගම එක්සත් සමාජ සේවා අවමංගල්‍යාධර සමිතියේ ලේකම් ආර්.රාජකරුණා මහතාට.

 

තුෂාරි නේරංජා වික්‍රමසිංහ
පසුබිම් තොරතුරු හා ජායාරූප
ඌව පළාත් සමූහ ප්‍රසන්න බණ්ඩාර

Comments