දෛව රේඛාව | සිළුමිණ

දෛව රේඛාව

සාර්ථකත්වය උදෙසා කැපවීම අත්‍යවශ්‍යයි

කුම්භ ලග්නයෙන් උපන් අය කලාව, සංගීතය, ගුප්ත විද්‍යාවට දක්ෂයෝය. තලමලක් හා සමාන උස්වූ නාසයක් ඇති, ශරීර සොබාවයෙන් යුතු ගුප්ත ගති ඇත්තෝය. දුරබැහැර හිතවත්කම්, දුරබැහැර ඉඩකඩම් දේපල ලබාගනී. උසමහත හැඩිදැඩි ප්‍රියමනාප ශරීර ඇති අයයි. යම් යම් දේ ප්‍රසිද්ධ නොකරන අතර, ගුප්ත දිවියක් ගෙවයි. කැපවීම හා උත්සාහයෙන් ජයග්‍රහණය කරා ගමන් කරයි. වික්ටර් රත්නායකයන්ගේ චරිත ස්වභාවය විමසා බලන විට මීට සමාන බව කිව හැකිය.

සිංහල සංගීත කලාවේ දශක හතරක් පුරාවට සප්ත ස්වරයෙන්, සුවහසක් දනන් හද සැනසූ සංගීත රාවය ඔහුය. ගීත රචක පරම්පරා හතරක ගේය පද සඳහා ස්වකීය හඬ පෞරුෂය හා නාද රටා මුසු කරමින් ශ්‍රාවකයන් අමන්දානන්දයට පත් කළ වික්ටර් රත්නායකයන් අද කථා නායකයාණන්ය. සිහිල් සුළං රැල්ලේ, අපි ඔක්කොම රජවරු, යසෝධරා... සිහින හතක් දුටුවෙමි. කුරුල්ලන්ට ගී ගයන්න, පොඩි කුමාරිහාමි, නංගියේ මල්ලියේ ‍තොටුපළ අයිනේ පෙම්බර මධූ... මියුරු කල්පනා... ඔහුගේ ගීත සයුරෙන් ගත් දෝතක් පමණි.

ඔරුවල, අතුරුගිරියේ බිරිඳ හෂිනි සමග දිවි ගෙවන වික්ටර් රත්නායකයන් සොයා අප ගියේ ඔහුගේ ජීවන රේඛාව දෛව රේඛාවෙන් සිත්තම් කළ අයුරු සොයා බැලීමටය. නෙක මල් පලතුරු සපිරි කුරුලු කූජනයෙන් සවන් සනහන සුන්දර පරිසරයේ සැඳෑ සමය විවේකයෙන් ගෙවයි.

කඩුගන්නාවේ, සුන්දර ගම් පියසක ජන්මලාභය ලැබූ මේ කුමරුගේ උපන් වෙලාව අතට ගත් දෛවඥ මහතා නළල රැලි ගන්වමින් කටුපෑනෙන් සටහන් වගයක් යෙදුවා. “බොහොම වාසනාවන්ත දරුවෙක්. මුළු ලංකාවට ම ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා. අායේ ඒකෙ දෙකක් නෑ.” යනුවෙන් පැවසූ අයුරු කුමරුගේ පියා, රත්නායක වෙද මහතා අසා සිටියේ මහත් සතුටින්. ලොව පුරා විද්වතුන්, දාර්ශනිකයන්, කලාකරුවන් ශ්‍රේෂ්ඨයන් රැසක් පහල වූ කුම්භ ලග්නයෙන් මෙම දරුවා ඉපදී තිබුණේ 1942 පෙබරවාරි 18 දින පෙරවරු 7.29 උදාවූ නැකතට අනුවයි. ඒ කාල හෝරාවට අනුව කුමරුගේ කේන්ද්‍රය සිත්තම් උනේ මේ විදිහටයි. ගායනයට වාදනයට හිත ගියේ පුංචි සන්ධියෙමයි... ඒ... සංසාර පුරුද්දට....?

කඩුගල්නාව නගර සභා පොලට අම්මා එක්ක යන්නෙ පන් මල්ලත් අරන්. ජපන් මැන්ඩලීනයක් වයමින් ගීත ගයන්නෙක් හා ඩෝලයක් කකුලට යටින් දමාගෙන ගීත ගයන්නෙක් පොලේ හිටියා. සිළුමිණි සෑය වඳිමි, අකිය මිලාකේ ආදී ඔවුන්ගේ ගීත මම තාලයට මිමිනුවා. ඒ කාලේ අපේ ගෙවල් ළඟ චිත්‍රපට පෙන්වන්න කූඩාරමක් ගැහුවා. දින ගණනාවක් එකම චිත්‍රපට පෙන්වන හින්දා මට චිත්‍රපටවල ගීත කටපාඩම්. මම ගීත කියද්දි මගේ සොයුරා විල්ෆ්‍රඩ් අයියා ලැක්ටෝජන් ටික් එකකට ඩෝල් ගැහුවා. දරදඬු පාලකයෙක් වූ අපේ තාත්තා මේ දිහා උපේක්ෂාවෙන් බලද්දි අම්මත් පුදුම වුණා.

දවසක්, අපේ ගේ කිට්ටුව තිබුණු දුම්රිය දෙපාර්තමේන්තු නිවාස පේළියේ සංගීතයක් ඇහුණා. මම හනිකට අඩියට දෙකට එතන. ටිකකින් වාදක මණ්ඩලය තොලකට තෙමාගෙන එන්නට ඇතුළට ගියා. මම අර පිරිස සින්දු කියමින් වාදනය කළ පෙට්ටිය ළඟට ගියා. පුටුවක වාඩිවෙලා කකුල් දෙකෙන් පාගාගෙන හුළං දෙමින් වාදනය කළ සර්පිනාව ෆුට් බෙලෝ සර්පිනා එකක් බව මම දැනගත්තෙ පහු කාලෙක. ඉතිං මම පුටුවෙ වාඩිවෙලා කකුල් දෙකින් බෙලෝ එක පාගමින් ඇඟිලි පුවරුවෙ එහාට මෙහාට ඇඟිලි දුවවද්දි කෙනෙක් මගේ කන් කෙටියෙන් මිරිකලා ඔලුවට හොඳ ‍ටොක්කක් ඇන්නා.

“මේවා තියෙන්නෙ පොඩි එවුන්ට සෙල්ලම් කරන්න නෙමෙයි. යනවා යන්න එළියට කියලා මට බැන්නා. මේ සිද්ධියට ගෙදරින් මට ගහයි කියලා බයේ ඉද්දි තාත්තා ඒ වර්ගයේ ම සර්පිනාවක් ගෙනත් දුන්න වෙලාවෙ කිරි සයුර කලඹා ගත් අමෘතය ලැබුණා වගේ සතුටක් මට දැනුණා. විල්ෆ්‍රඩ් අයියටත් තබ්ලා කුට්ටමක් ගෙනත් දීලා තිබුණා. තාත්තා හවස වැඩ ඇරිලා ‍ආවාම අයියා තබ්ලා ගහද්දි මම ගීත ගයනවා තාත්තට ඇහෙන්න.

තාත්තා තමයි මුලින් ම ඔබව සංගීත ගුරුවරුන් කරා යොමු කෙරෙව්වෙ...?

දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඥා වෑද්දුම්කරුවකු හැටියට සේවය කළ ධර්මදාස මහත්මයා තමයි මුලින් ම මට සර්පිනාව වාදනය කරන්න කියලා දුන්නේ. මට වැඩියක් ම කියලා දුන්නේ ස්වතන්ත්‍ර නිර්මාණ. හැමදාම වගේ හවසට මම සර්පිනාව වයමින් ගීත ගායනා කළේ තාත්තා අහන්න අාස නිසා. ඒ වගේම මමයි, විල්ෆ්‍රඩ් අයියයි, උපජීව කියලා යාළුවෙකුයි අපි තුන්දෙනා මඟුල් ගෙවල්වල හොඳම සාජ්ජ කණ්ඩායම වුණා. මම පුංචි කාලේ හරිම දඟයි. දඩබ්බරකම් කරලා අම්මගෙන් තාත්තගෙන් හොඳටම ගුටිකනවා. ඒ වුණාට පාසල් කාලෙදි පාසලේදි වගේම බාහිර පරිසරයත් මගේ සංගීත කුසලතා ඔප් නංවා ගැනීමට හොඳ තෝතැන්නක් වුණා. සමස්ත ලංකා ඒකල ගායනා තරගෙන් ලංකාවෙන් ම පළමුවැනියා වුණා.

පුංචි වික්ටර් ෆුට් බෙලෝ සර්පිනාවෙ වාඩිවුණාම ඔලුව පමණයි පේන්නේ. ඒ තරම් පුංචියි. කොට්ටයක් උඩ තමයි ඉඳගන්නෙ. බාලසන්ධියේ ඉඳලා සංගීතමය හැකියාවන් විශද කළ ඔබගේ පාසල් වියේදි ඒවා තව තවත් ඔපමට්ටම් කරගත්තා....?

“පාසල් යන කාලේ මාව හැඳින්වූයේ ඩී.වී. නමින් (දොන් වික්ටර්) ඒ කාලේ මම වැඩිහරියක් ම ගායනා කළේ හින්දි ගීත. කඩුගන්නාව මහා විද්‍යාලයෙදි, සාහිත්‍ය සංගමයේ නිවේදක මාව හඳුන්වා දුන්නේ මෙන්න පිළිගන්න ලංකාවෙ අනාගත මොහොමඩ් රාෆි කියලා.” එහෙම නිවේදනය කළේ වික්ටර් රත්නායකයන්ට ගුවන් විදුලි ප්‍රථම ගී පද මාලාව රචනා කළ උදයරත්න බ්‍රාහ්මණනායක නම් එවකට එම පාසල් සාහිත්‍ය සංගමයේ සභාපතිවරයායි.

“මා පිළිබඳ මගේ කුසලතා පිළිබඳ මගේ පියාට පහදා දී සංගීතය පිළිබඳ අනාගතය ඵලදායි වේවැයි තාත්තට වටහා දුන්නේ කඩුගන්නාව විද්‍යාලයේ කරුණාතිලක ගුරුතුමා. ඒ අනුව මහනුවර කලායතනාධිපති සිරිල් පෙරේරා මහතා වෙතට මාව යොමු කර ඔහුගේ උපදෙස් මත, තාත්තා මට වයලීනයක් අරන් දුන්නා.

සංගීතයේ යහපත් දිගු ගමනට ගුවන් විදුලිය හොඳ තෝතැන්නක් වුණේ වාසනා මහිමයට?

ගුවන්විදුලියේ එයාපිෂ් ආධුනික සංගීත තරගයට යොමුකළ අයදුම්පතක් මඟින්, එහිදී ‘යන්නට සිදුවේ මරණය ආදා. මරුවා හට නෑ කිසි විට බාධා’ ස්වතන්ත්‍ර ගීතය මුලින් ම ගැයුවා. කිසිවකුගේ හැඳුනුම්කමක් නැතිවම ගුවන් විදුලියේ ‘ඒ’ ශ්‍රේණියේ ගායකයෙක් වුණේ පෙර පින් ඇතිබව හා වාසනා මහිමය නිසා වෙන්නැති. ඒ විතරක් නෙමෙයි කලායතනයට සම්බන්ධ වීම, මගේ ‘ස’ ප්‍රසංගය ආරම්භ වීම වගේ සුවිශේෂ දේවල් මගේ දිගු සංගීතමය වන්දනාගමනට ‍හේතු වුණෙත් ඒ නිසාම වෙන්නැති. වසර ගණනාවක් ගුරු වෘත්තියෙහි යෙදිලා සංගීත සංචාරයක නිමග්න වෙන්න පසුබිම සැකසුනෙත් දෛවයට අනුව වෙන්නැති...”

වරක් අමරදේවයන් කියා සිටියා එතුමාගෙන් පසු දේශීය සංගීතයේ අනන්‍යතාවය ඔබය කියා...?

“එක්දහස් නවසිය පනස් ගණන්වල මා ඉදිරිපත්වු ඒකල ගායනා තරගයේ විනිශ්චය මණ්ඩලයට පැමිණි අමරදේවයන් කේ.එම්. සුගතපාල ගුරු මහතා සමඟ කියලා තියෙන්නේ මම කවදා හරි හොඳ ගායකයකු වෙනවා කියලයි. ඒ වගේ ම පසුකාලීනව එතුමා පවසා තියනවා මාගේ සෞන්දර්ය චාරිකාව තුළ ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය හා සතතාභ්‍යාසය යන ගුණාංග සපිරී ඇති නිසා එතුමාගෙන් පසුව ඒ තැනට පත්වනේනේ මමය කියලා.”

එදා මෙදාතුර ඔබේ සම්මානනීය ගමන් මඟ හඳහනේ ලියැවිලා තිබුණා. ඕනෑම පුද්ගලයෙක් තමන්ගේ දෛවයට අනුව ඒ දිශානතියට තල්ලු වෙනවා?

“අනිවාර්යයෙන් ම පෙර පින් ඇති බව, වාසනා මහිමය තියෙන්න ඕනෑ. ඒ නිසයි මට මගේ දෙමවුපියන් ලැබුණේ. හැබැයි පුද්ගලයකුගේ සාර්ථකත්වය උදෙසා කැපවීමත් අත්‍යවශ්‍ය ම වෙනවා. මම මේ තැනට එන්න අනන්ත කටුක දුක් වින්දා. එහෙත් සංගීතඥයෙක් විදිහට මේ සා ගමනක් එන්න ලැබුණේ සංසාර පුරුද්ද නිසයි.

මම අන්තවාදීව ජ්‍යෙතිෂය පසුපස හඹා නොගියත් බුද්ධාගම බිහි වෙන්නත් පෙර පටන් බිහිවූ ජ්‍යෙතිෂ ශාස්ත්‍රයේ කිසියම් ගැඹුරක් නැතැයි කියන්නෙ නැහැ. ඒ වගේ ම රාහු කාලය, හඳහන තදින් විශ්වාස කරගෙන කටයුතු කරන අයට එයින් ප්‍රතිඵල යහපත් වෙනවා වෙන්න පුළුවන්. කිසියම් ඉලක්කයක් කරා පානගන්න හැකියාවයි ආශාවයි දෙකම තිබුණත් දෛවෝපගත වාසනාව තිබ‍ුණොත් තමයි හැකිවෙන්නෙ. ලෙඩ දුක් කරදර, මූල්‍යමය ගැටලු, ඥාති සබඳතා අර්බුද වැනි ජීවිතයේ අපහසුතාවලදී හඳහන බලවන එක, දෛවඥයකුගෙන් උපදෙස් ගැනීම වරදක් නොවෙයි. ඒවාට පිළියමක් ලෙස ගෙදර පිරිතක් කීම දානයක් දීම වගේ දේවලින් ජනිත වන සාමූහික බව එම ගැටලු සමනය කිරීමට පිටුවහලක් වෙන නිසා නැකැත් ශාස්ත්‍ර, තක්කාලය, ජ්‍යෙතිෂය, හඳහන, සුභ හෝරාව වගේ දේවල් අපේ ජීවිතය සමඟ බද්ධ වෙනවා. සුබ මුහුර්තිය නොබැලුවත් වාසනාව තියනව නම් සුබ වලොවට තමයි හැමදෙයක් ම යෙදෙන්නේ. හැම කෙනෙකුට ම අටලෝ දහම කැරකැවෙනවා. හත්දින බෝධි පූජාවක් කරලා, පහන් ප්‍රජාවක් මඟින් ශ්‍රී මහා‍ බෝධියට කිරිපිඬු පූජාවකින් නිවසේ ධර්ම දේශනාවකින්, සාංඝික දානයකින් අපල, දුක් දොම්නස් පහකරගත හැකි බව දැනගත්තේ හඳහන බැලීමෙන් තමයි.

“Astrology (ජ්‍යෙතිෂය) ගැන කථා කරද්දි පෙරදිග හා අපරදිග වෙනසක් තියනවා. අපරදිග ජාතීන් විද්‍යාවෙන් හැදෑරීමෙන් වගේ ම පෙරදිග ජාතීන් හිත දියුණු කිරීමෙන් ඉදිරියට යන්න තැත් කරනවා. ජීවිතයේ විවේක සුවය ගෙවමින් පොත් පත් කියවමින් වරෙක භාවනානුයෝගීව සැදෑ සමය ගෙවන්නෙ. ඊළඟ ආත්මය සුවපත් කරගන්නයි. බුදුරජාණන් වහන්සේ වදාරළා තියෙන්නෙත් අප්‍රමාදව කුසල් රැස්කර ගන්න කියලයි. මගේ පියා අවුරුදු 80ක් ජීවන මගේ රැඳුණා. මට දැන් අවුරුදු 75යි. මමත් හිතනවා පතනවා අවු: 80 ජීවත් වෙන්න හැකිවෙයි කියලා. 

අදහස්