පළමුව ආණ්ඩුව ආරක්ෂා කළ යුතුයි | සිළුමිණ

පළමුව ආණ්ඩුව ආරක්ෂා කළ යුතුයි

අනුර විදානගමගේ
ඌව පළාත් සභාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, සංස්කෘතික සේවා හා වනිතා කටයුතු ඇමැති

මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ චරිත ඉස්මතු වී තවත් චරිත යට යමින් පවතියි. එසේ ඉස්මතු වූ චරිතයක් වූයේ ඌව පළාත් සභා මන්ත්‍රී අනුර විදානගමගේ මහතාය. 2014 වසරේ සිට ඌව පළාත් සභාවේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ඒ මහතා 2015 වසරේ ඔක්තෝබර් මස සිට මන්ත්‍රීවරයකු ලෙස පමණක් කටයුතු කළේය. එහෙත් පසුගියදා ඔහු දැරූ පළාත් අමාත්‍ය ධුරයන් යළිත් ඔහුට හිමි විය. ඔහුගේ දේශපාලන ගමන් මඟ මෙන්ම වත්මන් දේශපාලන ක්‍රියාකාරීත්වයන් සම්බන්ධව පළාත් සභා ඇමැතිවරයා සිළුමිණට අදහස් දක්වා සිටියේ මෙලෙසිනි.

 ඔබගේ දේශපාලන ගමන්මඟේ වෙනස් වීමක් පසුගිය දිනවල දක්නට ලැබුණා...

මේක දේශපාලන ගමනේ වෙනස් වීමක් නෙමෙයි; අහිමි කළ පළාත් සභා ඇමැතිධුරය මට යළි හිමි වුණා පමණයි.

ඇයි, ඔබේ ඇමැති ධුරය අහිමි වුණේ? ආපහු ලැබීමට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?

දේශපාලනය කියන්නේ හරිම අසීරු ගමනක්. ඒ ගමනේදී ගනු ලබන නිවැරැදි තීරණ මෙන්ම වැරැදි තීරණත් තිබෙනවා. ඒක දේශපාලන ඉතිහාසය දෙස බැලූ විට මැනැවින් පේනවා. මගේ ඇමැති ධුරය පසුගිය 2015 ඔක්තෝබර් මාසයේ ඉඳල අවුරුදු එකහමාරක් විතර අහිමි කරලා තිබුණා. මම ඒ ගැන තැන් තැන්වල දොස් පවර-පවරා ගියේ නැහැ. ජනාධිපතිතුමා මගේ පාක්ෂිකභාවය වගේම දේශපාලනයේ මගේ ගමන්මඟ හොඳින් දැක, යළිත් අමාත්‍ය ධුරය ලබා දුන්නා.

ඔබේ පාක්ෂිකභාවය කියල අදහස් කළේ කුමක්ද?

මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. මම හැම තිස්සෙම කටයුතු කරන්නෙ පක්ෂයේ දියුණුව පිණිස මිසක්, මගේ දේශපාලනය බබළවගන්න නෙමෙයි. පක්ෂයට පසුගිය පළාත් සභා මැතිවරණ දෙකේදීම ජයග්‍රහණ ලබාගන්න මම උපරිමයෙන් කටයුතු කළා. 2009 වසරේ වැඩිම ඡන්ද ලබාගත් මම 2014 අවුරුද්දේ කලින් වරට වඩා ඡන්ද 10000ක් ලබාගත්තා. දිස්ත්‍රික්කයේම පක්ෂය දිනවන්න මගේ ඒ කැප වීම බොහෝ දුරට ඉවහල් වුණා. ජනාධිපතිතුමා ඒ බව තේරුම් අරගෙනයි මට යළිත් මේ පළාත් අමාත්‍ය ධුරයන් ලබා දීමට කටයුතු කළේ.

ඔබේ සහෝදරයාගේ දේශපාලන ගමන්මඟත් මේ දිනවල වෙනස් වෙලා...

අපි දෙන්නාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය කරන්නේ. මම පළාත් සභාවේ මගේ දේශපාලන ගමන යනවා. එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස එතුමාගේ දේශපාලන ගමන යනවා. දෙන්නාම පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුවයි කටයුතු කරන්නේ. පක්ෂය රැකගැන්මටයි අපි හැම තිස්සේම කටයුතු කරන්නේ. පක්ෂයට යම් අකටයුත්තක් වෙනවා නම් අපි ඒ සඳහා සියලු කැපවීම් කිරීමට ඉදිරිපත් වෙනවා.

කොහොම වුණත් දැන් පවතින්නේ ජාතික ආණ්ඩුවක්. මේ ජාතික ආණ්ඩුවේ සම්මුතිවාදී ගමන ගැන මොකද හිතෙන්නේ?

රට තුළ යම් දේශපාලන අස්ථාවරයක් තිබෙන බව ඉතා පැහැදිලියි. ඒ බව ආයිත් හංගන්න ඕන නැහැ. පක්ෂ දෙකේම නායකයන්ගේ අවශ්‍යතාව වෙලා තියෙන්නේ රට එක තැනකට ගේන්න; සංවර්ධනය නිසියාකාරව කරන්න. ඒත් පක්ෂ දෙකේම ඉන්නවා කකුලෙන් අදින අය. ඒක ලොකුම ගැටලුවක්. එක මාර්ගයකට රට ගෙනියන්න මේ සියලු පිරිස් තම පක්ෂ නායකයන්ට සහාය දිය යුතුයි. විශේෂයෙන්ම ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් අවශ්‍ය සහාය නොදුන්නොත් මේ ගමන යන්න අමාරුයි.

ඒ සහාය ලබාදීමට පළාත් සභා මට්ටමින් ගෙන ඇති පියවර තිබෙනවාද?

අපේ මට්ටමෙන් ඒ සම්බන්ධව කළ හැකි බලපෑම ඉතා අවමයි. අපේ මට්ටමෙන් තීන්දු තීරණ ගන්න බැහැ. ඒ සම්බන්ධව තීරණ ගත යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රට ගැන පළමුව සිතිය යුතුයි.

ඒත් එවැන්නක් අපට දකින්න නැහැ. එක් අයෙක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න කතා කරනවා. තවත් අයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න කතා කරනවා. කෝ සම්මුතිවාදය?

ඒක තමයි ප්‍රශ්නෙ. පළමුව රට ගැන නොසිතා කටයුතු කිරීමයි මෙයට හේතුව. පක්ෂයක් තියෙන්නත් රටක් පවතින්න ඕනෑ. මේ ක්‍රියාදාමයන් නිසා රට දැඩි අස්ථාවර මට්ටමකට පත් වෙනවා. එවන් අස්ථාවර දේශපාලනයක් සහිත රටකට ආයෝජකයන් පවා ඒමට මැළිකමක් දක්වනවා.

පක්ෂ දෙකේ මැති-ඇමැතිවරන්ගේ ප්‍රතිපත්ති වෙනස් වීම මීට හේතුව බවයි පෙනෙන්නේ....

ඒ කතාව ඇත්ත. එජාපයේ පක්ෂ ප්‍රතිපත්ති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති අතර ලොකු වෙනසක් තිබෙනවා. ඒ කොහොම වුණත් ජාතික ආණ්ඩුවකට ලොකු වගකීමක් ති‍බෙනවා. මේ පක්ෂ දෙක සම්මුතීන් ඇති කරගෙන තියෙන ප්‍රධාන කරුණු හෝ ඉටු වන තුරු සම්මුතිවාදය ආරක්ෂා කරගත යුතු වෙනවා. නායකයන් විසින් මේ සියලු දෙනා එක් මතයක පිහිටුවා කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගත යුතු වෙනවා.

කොහොම වුණත් මේ පක්ෂ ඇතුළේ කඹ ඇදිල්ලෙන්, මැති-ඇමැති අර්බුදයෙන් පාක්ෂිකයන් විශාල අපහසුතාවකට මුහුණ පානවා...

එය සත්තකින්ම ඇත්ත. පාක්ෂිකයන් දැඩි කලකිරීමකට පත්ව තිබෙන බව අපට පෙනෙනවා. ගම් මට්ටමින් ජනතාව සමඟ අප වැඩිපුරම ගැවසෙන නිසා මේ තත්ත්වය මැනවින් පේනවා. අප ජනතා නියෝජිතයන් බව තේරුම් ගත යුතුයි. අපගේ දේශපාලන ගමන් මඟ තීරණය කරන්නෙ ජනතාව බව තේරුම් ගත යුතු වනවා. මෙහෙම ගියොත් මේ ජාතික ආණ්ඩු සංකල්පය ඔවුන් ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්.

මේ අර්බුදකාරි තත්ත්වය ප්‍රාදේශීය දේශපාලනයේදී දැඩි අර්බුද මතු කරවන බවයි පෙනෙන්නේ...

එය පැහැදිලියි, රජයේ සංවර්ධන කටයුතුවලදී පවා ඒ තත්ත්වයන් බාධා වී තිබෙන බව පැහැදිලියි. මේ නිසා ප්‍රාදේශීය මට්ටමින් දේශපාලනය කිරීම පවා අපහසු තත්ත්වයකයි අප ඉන්නේ. පළාත් සභාවල පවා මේ තත්ත්වය හමුවේ කටයුතු කිරීම අපහසුයි. මේ තත්ත්වයන්ට කඩිනමින් විසඳුමක් අවශ්‍යයි‍.

මොන වගේ විසඳුමක්ද බලාපොරොත්තු වන්නේ?

පළමුව මේ රජය ආරක්ෂා කරගත යුතුයි. දෙවනුව අපේ පක්ෂය ආරක්ෂා කරගත යුතුයි.

පක්ෂය දෙකඩ වීම ගැන මේ වන විට දේශපාලන කරළියේ නිතරම කතා වන්නක්.

පොහොට්ටුවෙන් එහෙමත් නැත් නම් වෙනත් කුමන හෝ ක්‍රමයකින් මේ පක්ෂයට බාධා ඇති වුණොත් එය පක්ෂයේ අනාගත පැවැත්මට ඉතා හානිදායකයි. ඒ බව ජනාධිපතිතුමා හොඳින් තෙරුම් ගෙන තිබෙනවා. හිටපු ජනාධිපතිතුමා වුණත් ඒ බව තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් බවයි මගේ හැඟීම.

කොහොමත් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති-ඇමැතිවරුන් පක්ෂ දෙකක ඉඳගෙනයි කටයුතු කරන්නේ.

ඒ තත්ත්වය පක්ෂයේ පැවැත්මට හානිකරයි. මගේ අදහස නම් මේ සියලු දෙනා එක්ව පක්ෂය ආරක්ෂා කරගන්න කටයුතු කළ යුතු බවයි.

ඔබ එසේ කීවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම බහුතරයක් සිටින ඒකාබද්ධ විපක්ෂය නිරතුරුවම ආණ්ඩුවේ ගමන් මඟ දැඩි ලෙස විවේචනය කරනවා. රජයේ සියලු ක්‍රියා ඔවුන් දකින්නේ රට අගාධයට ඇද-දමන කාර්යයන් ලෙසයි.

විපක්ෂයක කාර්යය විය යුත්තේ අඩුපාඩු පෙන්වා දීමයි. ඒත් සියලු කාර්යයන්ගේ අඩුපාඩු දකිනවා නම් එතැන ඇත්තේ විවේචනයක් නොවේ. බැඳුම්කර ප්‍රශ්නය අරගෙන බලන්න එහි ඇති වූ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කොමිසමක් පවා පත් කළා. ඒ අනුව එහි කාර්යයන් සිදු වෙනවා. ඒත් එහි හොඳක් දකින්නත් ඇතැම් අය අකැමැතියි.

ඒ තත්ත්වය උඩ ඔබ පැවසූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකතුව ගමන් යෑම කළ හැකිද?

මා සිතනවා මතභේද දුරලමින් පක්ෂයට එකතු වී ගමනක් යන්න පුළුවන් වෙයි කියා. පක්ෂය කැඩුණොත් නායකයන්ටත් හොඳ නෑ.

පක්ෂයේ සභාපතිකම පිළිබඳවත් පසුගිය දිනවල කතාබහක් ඇති වුණා...

ජනාධිපතිතුමා පක්ෂයේ සභාපතිවරයා ලෙස පිළිගෙන ඉවරයි.

එසේ වුවත් හිටපු ජනාධිපතිවරයා තවමත් පක්ෂයේ සභාපතිවරයා තමා බවත්, තමා ඒ තනතුර කිසිවකුට බාර නොදුන් බවත් ප්‍රකාශ කර තිබෙනවා. දැන් පාක්ෂිකයා පිළිගත යුත්තේ කුමක්ද?

මේ කතා හමුවේ පාක්ෂිකයා අතරමං වනවා. පක්ෂයේ පැවැත්මට කටයුතු කළ යුතු බව මා කීවේ එනිසයි. සියලු කරුණු සම්බන්ධව පාක්ෂිකයා දැනුම්වත් කළ යුතු වෙනවා.

ඌවේ අද ලොකුම ගැටලුව බවට පත්ව ඇත්තේ උමා ඔය ව්‍යාපෘතියයි. මේ නිසා අද ජනතාව පත්ව ඇති අසරණභාවය සුළු-පටු නැහැ. නිහඬව සිටින ඔවුන් යළිත් පාරට බසින බවට වාර්තා වෙනවා...

උමා ඔය ව්‍යාපෘතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා ජනතාව අසීරුතාවට මුහුණ දුන් බව ඉතා පැහැදිලියි. එහෙත් මේ මහා පරිමාණ ව්‍යාපෘතිය දැන් අතරමඟ නතර කිරීමට හැකියාවක් නැහැ. මේ වගේ මහා පරිමාණ ව්‍යාපෘතිවල මෙවන් දෝෂයන් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස රන්දෙණිගල, රන්ටැඹේ මෙන්ම කොත්මලේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදීත් මෙවන් තත්ත්වයන් ඇති වුණා.

මේ වන විට විශේෂඥයන් පැමිණ ඒ සම්බන්ධ විශේෂ අධ්‍යයනයන් සිදු කර, අවශ්‍ය ප්‍රතිකර්ම යෝජනා කර තිබෙනවා. ගැටලු නිරාකරණය කරගනිමින් කටයුතු කිරීමටයි අප කටයුතු කළ යුත්තේ. හානි වූ ජනතාවට අවශ්‍ය කටයුතු කඩිනමින් කළ යුතු වෙනවා. මෙහිදී රජයේ නිලධාරීන්ගේ ක්‍රියා පිළිවෙත බෙහෙවින්ම වැදගත් වනවා.

ඔබ නියෝජනය කරන ඌව පළාතේ පිහිටි කතරගම පුදබිමේ පසුගිය දිනක අලුයම පූජාව පැවැත්වුණේ නැහැ. ඒ ඉතිහාසයේ පළමු වතාවටයි. මේ ක්‍රියාව ඔබ දකින්නේ කෙසේද? ඒ සඳහා පළාත් සභාවට කළ හැකි යමක් තිබෙනවාද?

පළමුවෙන්ම මේ ක්‍රියාව අපි තරයේම හෙළාදකිනවා. පළාත් සභාවම ඒ ක්‍රියාව පිළිකුල් කරනවා. ඒක ලොකු අපහාසයක්. දෙවියන්ගේ පුදබිමේ අප කටයුතු කළ යුතු ආකාරයක් තිබෙනවා. මේ සිදුවීමේ වරද කා අත වුවත්, ඒ වරදකරුවන්ට නිසි පියවර ගත යුතු වනවා. කතරගම පුදබිමේ සියලු ක්‍රියාදාමයන් පාලනය වන්නේ විහාර හා දේවාලගම් පනත යටතේ නිසා පළාත් සභාවට ඒ සම්බන්ධව ගත හැකි ක්‍රියා මාර්ගයක් නැහැ. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ නියමය අනුව රජය විසින් නිසි පියවර ගනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.

 

Comments