පිලිස්සුණු තුවාලකරුවන් සුව කිරීමට කදිම ඔසුවක් වූ මාළු හම් | සිළුමිණ

පිලිස්සුණු තුවාලකරුවන් සුව කිරීමට කදිම ඔසුවක් වූ මාළු හම්

මෙය දුටු විගස ඔබට දැනෙන්නට ඇත්තේ දෙඋර හැකිළෙන තරම් විදියේ පිළිකුලක්, අරුචියක්. එහෙත් එවන් පිළිකුල දනවන දෑ ඖෂධ දක්වා වර්ධනය කොට නවීන වෛද්‍ය විද්‍යාව ලත් ජයග්‍රහණය අගය කොට යුත්තක් වේ. එලෙස, බ්‍රසීලියානු ජාතික වෛද්‍යවරුන් පිරිසක් සිදු කළ අත්හදා බැලීම්වලට අනුව, පිලිස්සුණු තුවාල සුව කිරීමට කදිම ඖෂධයක් සොයා ගෙන ඇත.

තිලාපියා මාළු. ඔබේ ආහාර වේලට ආධුනිකයෙක් නම් නොවේ. ඊට අමතරව, බ්‍රසීලයේ ගංගා හා ජලාශවල ඉතා බහුලව දක්නට ලැබෙන මාළු වර්ගයක්.මේ පිළිබඳව පර්යේෂණ සිදු කළ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, අධික පිලිස්සුම්වලට ලක් වූ රෝගීන් හට තිලාපියා මාළු හම සිසිල ගෙන දෙන්නක් මෙන්ම අධික වෛද්‍ය ගාස්තුවලටද පිළියමක් වන බවයි.

පිලිස්සුණු තුවාලයක සුවය සඳහා අවශ්‍ය වන collagen සහ තෙතමනය තිලාපියා මාළු හම තුළ අන්තර් ගත වී ඇති බව උතුරු බ්‍රසීලයේ Ceara නම් ෆෙඩරල් විශ්වවිද්‍යලයේ විද්‍යාඥයින් පිරිසක් සිදු කරන ලද පර්යේෂණවලින් අනාවරණය කොට ගෙන තිබේ. එමෙන්ම, මෙය ගෝස් කැබැල්ලකට වඩා ඉහළ මට්ටමකින් තෙතමනය රඳවා තබා ගනියි."පිලිස්සුම් තුවාල මත තිලාපියා මාළු හම් ඇතිරීම ඉතා අපූර්වයි. මාළු හම් කියන්නේ අපි බැහැර කරන දෙයක්.

නමුත් සමාජයට ප්‍රයෝජනවත් වන නිෂ්පාදනයක් ලෙස අපි මෙය යොදා ගන්නවා" Ceara විශ්වවිද්‍යාලයේ මහාචාර්ය odorio de Morais පවසා සිටියි.

බ්‍රසීලියානු පර්යේෂකයන් තවදුරටත් පෙන්වා දෙන්නේ, මේ මාළු හම්වල ඉතා වේගවත් සුව කිරීමේ ගුණයක් ගැබ් වී ඇති බවයි. නිතර නිතර වේදනාවට ඖෂධ දැමීමේ අවශ්‍යතාවද මෙය අවම කරවයි.

මේ තිලාපියා මසුන්ගේ හම් රෝහල් වෙත යැවීමට මත්තෙන් විද්‍යාගාර තාක්ෂණ ශිල්පීන් විසින් විවිධ ජීවානුහරණ ක්‍රියාවලීන්ට භාජනය කොට, එහි ඇති virus විකිරණ මගින් විනාශ කිරීමට Sao Pauloහි ඇති රසායනාගාර වෙත යවනු ලැබේ. වරක් ජීවානුහරණය කොට පිරිසිදු කරන ලද මාළු හම් වසර දෙකක පමණ කාලයක් තබාගත හැකි බවයි පර්යේෂකයන් පවසා සිටින්නේ. මෙසේ ජීවානුහරණ ක්‍රියාවලීන්ට ලක් කළ මාළු හම් වලින් තවදුරටත් මාළු ගන්ධය වහනය නොවේ.

Antonio Janio යනු මෝටර් රථ යන්ත්‍ර ශිල්පියකු වන අතර, පෑස්සුම් ගෑස් සිලින්ඩරයකින් සිදු වුණු කාන්දුවකට ලක් වී බාහුව අධික ලෙස පිලිස්සුණු අයෙක්. මාළු හම් ප්‍රතිකාරය ලත් ඔහු පවසන්නේ, දවස් දෙකකින් දෙකකට මාරු කළ යුතු bandageවලට වඩා මහඟු සුවයක් මාළු හම් මගින් ඔහු ලබා ගත් බවයි.

පිලිස්සුම් තුවාලයක් ඇති වුණු විට, එම තුවාල ප්‍රදේශය පුරාවටම තිලාපියා මාළු හම අතුරා bandage එකකින් ආවරණය කෙරේ. මෙයට කිසිදු ආලේපනයක් භාවිත නොකෙරේ. දින 10කින් පමණ පසු වෛද්‍යවරුන් විසින් bandage ඉවත් කරනු ලැබේ. ඉන් පසු වියළි භාවයට පත්ව ඇති තිලාපියා සම පිලිස්සුම් තුවාලයෙන් මනාව ගලවාගත හැකි වේ.

Morais පවසන පරිදි, තිලාපියා ප්‍රතිකාරයට වැය වන්නේ පිලිස්සුණු රෝගීන් මත සාමාන්‍යයෙන් ආලේප කරන sulfadiazine ආලේපනයේ මිලට වඩා 75% අඩු පිරිවැයක්. එමෙන්ම, මේ සොයාගැනීමේ ඉදිරි පියවරක් ලෙස පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ, තිලාපියා ප්‍රතිකාරය වාණිජමය ලෙස නිෂ්පාදන මට්ටමෙන් දියුණු කිරීමටයි.

උදානි ඉන්ද්‍රචාපා

Comments