රාලගෙ ගේ උඩින් හැඬූ මිණි කුකුළේ යා | සිළුමිණ

රාලගෙ ගේ උඩින් හැඬූ මිණි කුකුළේ යා

කුරුණෑගල සිය රාජධානිය කොටගෙන රාජ්‍ය විචාළ තුන්වැනි බුවනෙකබාහු රජ්ජුරුවො හරිම විනෝදකාමියෙක්. ඒ වගේ ම සෙල්ලක්කාරයෙක්. රටේ රජතුමා වුණාට ඔහු මාළිගයට වෙලා නිකරුණේ කාලය ගත කෙළේ නෑ.

පොදු ජනතාව සමඟ ඉතා සමීපව කටයුතු කළා. රටේ විවිධ ප්‍රදේශවල ඇවිදිමින් ජනතාවගේ දුක සැප දකින්න බෙහෙවින් උනන්දුවක් දැක්වූවා.

රජ්ජුරුවො තමන්ගෙ ගම් බිම් බලන්න එනව කියල ආරංචි වුණාම ගැමියො බොහොම ගරු බුහුමන් දක්වමින් රජු පිළිගත්තා. ආදර සංග්‍රහ කළා. ගම්බද රූමත් තරුණ නාට්‍යාංගනාවන් රජු ඉදිරියේ නැටුම් දක්වමින් රජු සන්තෝෂ කළ බවත් සඳහන් වෙනවා. මේ රජ්ජුරුවන්ගෙ අන්තඃපුරය අග මෙහෙසිය සමඟ ඔක්කොම බිසෝවරු හැත්තෑහත් දෙනෙකු වාසය කළ බවයි එවකට රටේ ජනතාව දැන හිටියෙ. ඒ අන්තඃපුරය රජුට කොයිතරම් නම් සුවදායක ස්ථානයක් වෙනු ඇද්ද? රජ්ජුරුවන්ට ඒත් මදිවෙලා හැත්තෑ අට වැනි බිසවක් සොයාගත් හැටි තමා මේ කතාවෙන් කියැවෙන්නෙ.‍

එක දවසක් රජ්ජුරුවො ඇමැතිවරුන් කීප දෙනෙකුත් සමඟ දඹදෙණිය පැත්තෙ ඇවිදින්න ගියා. රජු වුණත් සාමාන්‍ය කෙනෙක් හැටියටයි මේ ගමන් යන්නෙ.මේ ගමනෙදි ගල්ගමුවෙ එක්තරා රාල කෙනෙකුගෙ ගෙදරටත් රජ්ජුරුවො නිකමට ගොඩ වැදුණා. මේ වෙලාවෙ ඒ ගෙදර හිටපු රාලගෙ තරුණ දූ කුමරිය දැකල ඇගේ රූපශ්‍රීයට වහ වැටුණු රජු ප්‍රේමයෙන් උන්මාද වුණා. රජුගේ නෙත්සර ඇගේ හදවත විනිවිද ගියා. ඇයත් ප්‍රේමයෙන් රජුට වශී වුණා. එහෙත් කුමක් කරන්නද? ඒ රටේ මහ රජු, තමන් ගම්බදව වෙසෙන ළාබාල අසරණ තරුණියක්, අපේක්ෂාවක් තැබිය නොහැකි අසම්මත ප්‍රේමයකට සමුදී ඇය නිහඬ වුණා.

මේ තරුණිය කෙරේ සිත් ඇදීගිය රජු ආපසු මාළිගාවට ගියා. රජුට මාළිගාවේ විසුමක් නෑ. ඇය පිළිබඳ ප්‍රේමාන්විත හැඟීම් රජුට වධ දෙන්න පටන් ගත්තා. හැත්තෑ අටවැනි බිසව බවට පත් කරගෙන ඇයගේ පහස ලබාගැනීමට අදිටන් කළ රජු ඊට හොඳම උපක්‍රමයක් සකසා ගෙන අමුතුම ගමනක් යන්න පිටත් වුණා. පොර කුකුළන් කොටවන ගමින් ගමට යන තරුණයෙකු සේ වෙස් වළාගත් රජු කවදාවත් නොගිය ගමනක් යන්න පිටත් වුණා.

හිසේ තලප්පාවක් බැඳගෙන ගෙළේ ඇට වැලක් පැළැඳි කෝටුවක් එක් අතකින් ගත් මිණිබැඳි පොර කුකුළෙක් කිහිළි ගන්නාගෙන ගමින් ගමට යන පොර කුකුළු කොටවන්නෙක් ලෙස වෙස්වෙළාගෙනයි.

එක් දවසක මළහිරු බැසගෙන යන යාමයේ අර පෙම්වතිය සිටින ඇයගේ නිවස ඉසව්වට ළඟා වුණා. දැන් වටින් ගොඩින් අඳුර ගලාවිත් කළුවර පැතිරී ගෙන යන වෙලාව.

තවත් ටිකක් රෑ බෝ වෙන්නට ඇරල අර රාලගෙ ගෙදරට ගොඩ වැදුණා. තමාට හෙට උදෑසන දක්වා රැය ගත කිරීමට මේ ගෙදර පිල උඩ රැය නිදාගැනීමට අවසර ඉල්ලුවා.

රාල ඒ ‍ඉල්ලීමට කැමැති වුණා. ඒ විතරක් නෙමේ ආහාර පානවලිනුත් හොඳට සංග්‍රහ කළා. මේ අතර පොර කුකුළුකරුවා දුටු රාලගෙ දියණිය එක්වරම තිගැස්සී ගියා. ඇය හොඳ හැටි රජු ඇඳින ගත්තා. විළියෙන් ගෙතුළට දිව ගියා...

“... එ‍ෙහනං දැන් ඉතින් නිදා ගනිං...” කියල රාල රටා වියපු අලුත්ම අලුත් පැදුරක් පිළ උඩට දැම්මා. ඔහු එක පාරටම නිදාගත්තෙ නෑ.

සප්පායම් වෙලා රෑ හොඳට හඳ පායල තියෙන වෙලාවෙ රාලත් එක්ක ගම රට තොරතුරු කතාබහ කරන්න පටන් ගත්තා.

ඔහු තම පොර කුකුළා ගැන රාලට වහසි බස් දෙඩුවා. මේ කතා අහං ‍උන්න රාලට පොර කුකුළව බලන්න ඕනෑ වුණා.

“‍‍‍‍..... කෝ... බලන්න ඕකා...”

රාල කුකුළ අරගෙන එහාට මෙහාට හරවල පොරකටු අතගාල බලල ටිකක් කල්පනා කළා.

“... මේක නං පොරට හොඳ කුකුළෙක් වෙන්න බෑ...”

තරුණය උද්දාමයෙන් කතා කරනවා” පොරට ඇරල බලන්ඩෙපෑ... කොහොමද පොරේ කියල...”

මේ කතා අහං හිටපු රාලගෙ දුව විළියෙන් යුතුව දොර අස්සේ රැඳී හිටියා‍.

කුකුළගෙ දස්කම් ගැන ඔහු බොහෝ වේලාවක් රාල සමඟ දොඩමළු වුණා.

වෙස් වළාගෙන රජු තමා සොයා පැමිණ සිටින බැව් දත් තරුණිය ගේ තුළ සිට මේ කතාබහට ‍ඕනෑකමින් සවන් දුන්නා‍. වරෙක විළියෙන් ඇඹරුණා. අඩවන් දොර අස්සෙන් බලා හිටියා. රාලට හොරෙන් උකුළු මුකුළු පෑවා. තරුණයාට සතුට නිම් හිම් නෑ. තමා ආ ගමන සාර්ථක වුණාය කියන සතුට ඔහු අත්වින්දා.

දැන් මහ රෑත් ළඟා වෙන්න ආසන්නයි. සඳ පායා අලංකාරෙට දිලිසෙනවා.

රැය පහන් කිරීමට කුකුළා ද තුරුලු කරගෙන පිල උඩම වැතුරුණු තරුණයා නොලද පහසකට අර අඳිද්දී රාල දොර අඩවන් කර ගෙතුළට වී නිදා ගත්තා.

සිදුවිය යුතු දේ සිදු වෙන්නට යද්දී ඊට ඉඩදුන් සඳරැස් කළු වලාවකට මුවා වී විළියෙන් මෙන් ඉවතට ඇදී ගියා.

ඒ රැය පහන්වීගෙන එන අලුයම් වේලේ මිණිබැඳි පොර කුකුළා රාලගෙ ගෙය උඩ සිට හඬලන නදින් අවදි වූ රාල පිළ වෙතට නැඹුරු වන විට එහි නිදා උන් තරුණයා ආගිය අතක් නැති බව ඔහු දැක්කා.

පසුදින රාලගේ ගෙය සොයා පැමිණි රාජකීය පණිවුඩකරුවෙකු තමාට බාරදුන් රාජ ආඥාව වෙව්ලන දෑතින් පිළිගත් රාලට තම දියණිය සරසා රජවාසලට පිටත්කර හැරීමට සිදුවුණා.

මේ ප්‍රේම වෘත්තාන්තය අදත් අපට කියාදෙන මේ කවිය තවමත් දනන් තුඩ තුඩ රැව් දෙන අපූරු කියමනකි.

ඔය බඩ දෙණිය බඩ වේවැල්      අකුලේයා
මිරිවැඩි නොලා ගල් ඇනි කැට  කකුලේයා
පරෙවියනේ වී පුරු පුරු           උකුළේයා
රාලගෙ ගේ උඩින් හැඬු මිණි     කුකුළේයා

ජෝ. නවරත්න සඳලංකාව 

Comments