ඉස්සර හිටිය හැටි මතක් වෙද්දී දැන් හරි දුකයි | සිළුමිණ

ඉස්සර හිටිය හැටි මතක් වෙද්දී දැන් හරි දුකයි

රුක්නාද් මන්ත්‍රීවරයා තමාගෙන් ඉල්ලා සිටින පොරොන්දුව කුමක්දැයි විමසිලිමත් සිතින් නරේන්ද්‍ර දෙළුම් මඳ කිහිපයක් මුව තුළට ලා ගත්තේය.

“සර්”

“කියන්න රුක්නාද්”

“සර් අපිට පොරොන්දුවක් වෙන්න ඕන. කිසිම හේතුවක් නිසාවත් අපිව අතාරින්නෙ නැහැ කියලා. මට ඕන මගේ මාතෘභූමියේ ජීවත්වෙන හැමදෙනාම නිදහස් මිනිසුන් වෙනවා දකින්න. මේ අරමුණ ජය ගන්න ලේසි නැහැ. කැමති අයට වඩා අකැමැති අය, පක්ෂ වෙනවට වඩා විපක්ෂ වෙන අය, උදව් කරනවට වඩා කපා දාන කපන අය වැඩි වේවි.”

“රුක්නාද්... මුහුදෙ හත් ගව්වක් තියා පිහිනන්න ලෑස්ති වෙන්න එපා. කුහකකම මිනිහා නොමිනිස් කරන බව ඇත්ත. ඒකට බය වුණොත් එක තැන ම තමා. ඉදිරි ගමනක් නැහැ. මං මනුෂ්‍යයෙක් බව ඔයා හිතේ තියා ගන්න. එච්චරයි... අපි කතාව නවත්වලා වැඩ පටන් ගන්න ඕන.”

මුළුතැන්ගෙට ගිය මනෝහාරි විදුලි කේතලයට අත තැබුවා පමණි. ඇගේ දුරකථනය නොනැවතීම හඬ දෙන්නට විය. බන්දුල පැමිණ තේ පිළියෙල කිරීමේ කාර්යය බාර ගත්තෙන් තරුණිය දුරකථනය අතට ගත්තාය. ඇමතුම රෝජා සඳපාණිගෙනි.

“මනෝ අක්කා. මට අද ම දැන් ම ඔයා මුණ ගැහෙන්න ඕන. ඉක්මනට එන්න.”

ඇය ඉල්ලා සිටියාය. දුරකථනය විසන්ධි විය.

මනෝහාරිට එක් අරමුණ සිහිය පිහිටුවා ගැනීම අපහසු විය. මේ කුමන ඉල්ලීමක් ද? කුමන කලබලයක් ද? ඇය නැවත නැවතත් මිතුරිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. රුක්නාද්ට තේ ගෙන ඒමේ කාර්යය බන්දුලට පැවරූ තරුණිය නරේන්ද්‍රට උණුවතුර බඳුනක් ගෙන වහ වහා පුස්තකාල කුටියට ආවාය.

“නරේන් මාමා, රෝජා කතා කරලා කිව්වා දැන්ම එයාට මාව මුණ ගැහෙන්න ඕන කියලා.”

“ඇයි?”

“දන්නෙ නෑ. දැන් එයා ෆෝන් එකට උත්තර දෙන්නෙත් නැහැ.”

නරේන්ද්‍රගේ සිත නොසංසුන් විය. තරුණියට කිසියම් විපතක් කරදරයක් ද? සොර සතුරු උවදුරක් ද? නේෂන් වෛද්‍යවරයා රෝහලේ විය හැක. මුණ ගැසීමේ අවශ්‍යතාව කීවා මිස කරදර කතාවක් කියා නැත.

“මනෝ යනවද රෝජා මුණ ගැහෙන්න? මං බන්දුලට කියන්නම් ගිහින් දාන්න. කතා බහා ඉවර වෙලා මට කෝල් එකක් දෙන්න. මං එන්නම්.”

“නෑ සර් ඉන්න. මං මනෝ එක්ක යන්නම්. මටත් රෝජා මුණ ගැහෙන්න වුවමනාවක් තියෙනවා.”

රුක්නාද් සහ ම‍නෝහාරී ඉක්මන් සමුගැනීමකින් නරේන්ද්‍රගෙන් වෙන් විය. ඔහු සිත උපන්නේ ශෝකාකූල සිතුවිලිය. මේ තරුණ තරුණියන්ගේ කාලයයි. ඔවුන් හා අනාගතයට යෑම හෝ අනාගතය තීරණය කිරීමට විසල් දැනුමක් හා විසල් ජීවගුණයක් අවශ්‍යය ය. නරේන්ද්‍ර දුරකථනයෙන් රාජඍෂි සොයා ගැනීමට දුරකථනය අතට ගත්තේය.

රෝජා සඳපාණි මනෝහාරි මිතුරිය එනතුරු මහත් නොඉවසිල්ලකින් පසු වූවාය. ඇය ඒ මේ අත යන්නීය. වාහන හඬකින් ප්‍රමෝධයට පත්ව දොර හැර බලන්නීය. වරින් වර අධිකව දැනෙන පිපාසය නිසා මඳින් මඳ දිය බඳුනක් මුවට ළං කර ගන්නීය.

නොසංසුන් ළය තුළ වැඩෙන සතුට දෝරේ ගලායමින් ගහ කොළ තුරු ලතාවන්ට පවා මිහිරි පණිවිඩයක් දෙන්නා සේ තරුණියට දැනුණේ කුඹුරුයාය පැත්තෙන් ඇසෙන්නට වූ කුරුලු කිචි බිචිය පරිසරය නළවමින් කළ ගායනයක් සේ පැතිරෙමින් තිබුණෙනි.

රුක්නාද් හා මනෝහාරි මහල් නිවාස සංකීර්ණයේ රෝජාගේ වාසයට පිවිසෙන දොර අසලට ළංවූ සැණින් තරුණිය වහා ඉදිරියට පැමිණ මනෝහාරි වැලඳ ගත්තාය.

“ඇයි මේ? මොකද කලබලේ?”

මනෝහාරි ඇසුවේ මවිතයෙනි. මෙතරම් දඟකාර හැසිරීමක් ප්‍රීතිමත් සිනා මුහුණක් මින් පෙර ඇය මිතුරියගෙන් දැක තිබුණේ නැත.

“ඉස්සෙල්ලා ඇතුළට ඇවිත් වාඩි වෙන්න. ඊළඟට කියන්න ඔය දෙන්නා කොහොමද එකට ආවෙ?”

මනෝහාරී ඇයට යන්තමින් පිළිතුරු දුන්නාය. ඇයට අවශ්‍යව තිබුණේ ප්‍රශ්න කරන්නට මිස පිළිතුරු දීම නොවේ.

“රෝජා කියන්න මොකද මේ? අපි හොඳට ම බය වුණා.”

“මනෝ මට චන්දිරම් කතා කළා.”

මනෝහාරිට අකුණු සැරයක් වැදුණා නොවේ. හද පුපුරවන විදුලියක් කෙටුවා නොවේ. කිසිසේත් විශ්වාස කළ නොහැකි පුවතක් කන වැටුණ පරිද්දෙන් ඇය සමීපයේ වූ සෝෆාව මතට ඇද වැටුණා මිස ඉඳ ගත්තා ද නොවේ. ඇගේ දෙනෙතට රැකවරණය ‍දෙන නෙතු පියන් සහ දෙබැම තරගයකට මෙන් ගැහෙනු රුක්නාද්ට පෙනිණි.

චන්දිරම්ගේ ඇමතීම ඉන්ද්‍රජිත් සොයා ගැනීමකි. සිතට දුක් දෙමින් පැවති පීඩාවක කෙළවර හෝ අවසානය හමුවී ඇත.

“රෝජා අපිට විස්තර කියන්න.”

රුක්නාද් කීවේ මනෝහාරිට සහය පළ කරන්නට සිතුවා සේය. මිතුරිය සමීපයෙන් ඉඳ ගත් රෝජා ඇගේ අතක් අල්වා ගත්තේ දෙනෙත් කුඩා කොට ගොළුව සිටින්නේ ඇයිදැයි නිහඬව අසමිනි.

“රුක්නාද් අයියා අපි දිගින් දිගට ම ෆේස් බුක් එකට ඉන්ටර්නෙට් එකට තොරතුරු දැම්මනෙ ඉන්ද්‍රජිත් හොය හොයා.”

රුක්නාද් හිස සැළුවේය. ඉන්ද්‍රජිත්ට මේ පණිවිඩ කිසිවක් හමුවී නැත. චන්දිරම් දිනක නිකමට මෙන් අන්තර්ජාලයේ සැරි සරද්දී රෝජා සඳපාණි දැක ඇත. ඇගේ ළදරු මතකය තුළ රෝජා කෙනෙකු නොසිටියත් විදුලි පහන් කණ‍ුවේ කතාව යන්තමින් මතකයට නංවා ගැනීමට හැකි වී ඇත. ඇය රෝජා ගේ දුරකථන අංකය දුටු සැණින් රෝජා ඇමතුවා ය. දෙදෙනා අතර දීර්ඝ සංවාදයකින් පසු චන්දිරම් ගේ සිතෙහි රවිහාරි සහ මනෝහාරි පිළිබඳ මතකයන් අවදි කිරීමට රෝජා සමත් වූවාය.

අතීත අමිහිරි සිදුවිම් යළි යළිත් ස්මරණය නොකරවිමට රෝජා ප්‍රවේශම් වූවාය. ඒ ප්‍රවේශම නොදැනෙන ලෙස ළමා වියේ සුන්දර සිදුවීමෙහි ආශ්වාද ජනක මිහිර පිළිබඳව ඇය පවසන විට චන්දිරම් හඬනු ඇයට දැනිණි. නොහඬන්නැයි ඇය ඉල්ලා සිටියේ නැත.

“ඉස්සර අපි හරිම සතුටෙන් හිටිය හැටි මතක් වෙන ‍කොට මට හුඟක් දුකයි රෝජා. දැන් අපිට බාහිර සම්පත් ඕනැවට වැඩියත් තියෙනවා. ඒත් මැරෙනකන් ම හිතේ අඩුව තියේවි. ලෝකයේ ලස්සන ම රට ලංකාව කියලයි මම හිතන්නෙ.”

චන්දිරම් ගේ වදන් තුළ සැඟවුණු නොව නිධන්ව ඇති ශෝකය රෝජා සිත දුක් සිතුවිලි ඇති කරන්නක් විය.

ඇය උතුර අත්හැර ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියේ මව සහ පියා සමඟය. සොහොයුරු ඉන්ද්‍රජිත් ස්විට්සර්ලන්තයේ පදිංචි මාමා කෙනෙකු වෙත යවනු ලැබුවේය. ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස ඉහළ සරසවි අධ්‍යාපනයක් ලබන තුරුම ඉන්ද්‍රජිත් එරට රැඳී සිටියේය. ජිනීවා සරසවියෙන් ගෘහ නිර්මාණ ශිල්පී උපාධිය ලබා ගත් පසු ඔහු පීජි දූපත්වල ස්ථිර වාසයට ගියේය.

වසරකට වරක් පමණ සොහොයුරා සො‍ෙහායුරිය සහ මවුපියන් එකට මුණ ගැසී සතුටක් ලැබුවද මවුපියෝ ආපසු උපන් බිමට ඒමේ කැමැත්තෙන් සිටිති.

චන්දිරම් චීන ඇමෙරිකන් මිශ්‍ර විවාහයකින් උපන් ලී නික්සන් නම් වෛද්‍යවරයෙකු හා විවාහ වී සිටින්නීය. ඇගේ විවාහ මවුපිය විරෝධය මැද සිදුවී ඇත. පසුව ඇගේ පළමු දරුවා බිහිවීමෙන් පසු විරෝධයේ දැඩි බව මඳක් ලිහිල් වුවද පියා සහ දියණිය අතර විරසකය තවමත් ගැටුම් සහගතය.

“රෝජා අපේ ජීවිත දෛවයට බාරදීලා ගොළුවො වගේ ඉන්නයි අපට සිද්ධ වුනේ. ලී යහපත් මනුෂ්‍යයෙක්. මිනිස්සු හිතන්නෙ ජීවත් වෙන්න යහපත් වෙලා විතරක් මදි කියලා.”

චන්දිරම් මවුපියන් ගැන, ස්වාමියා ගැන, දරුවා ගැන තරම් උනන්දුවෙන් ඉන්ද්‍රජිත් ගැන කතා නොකිරීම රෝජා සඳපාණි තරුණිය පුදුම කරවන්නක් විය.

“මං අහලා තියෙනවා ඉන්ද්‍රජිත් ම‍නෝහාරිට රෝස මලක් දුන්න කතාවක්.”

ඇය කුතුහලය සඟවා ගෙන සිනාසෙමින් ඇසුවේ සුන්දර විහිළුවක මුල අග සොයන්නට මෙනි.

“මට මතක නැහැ. මට මතක විදුලි කණුවට කොන්ක්‍රිට් ඇණයක් ගැහුවා විතරයි. සමහර විට අයියාට මතක ඇති. එයා කතා කළාම ඒ ගැන අහන්නකො.”

තම සොහොයුරා පිළිබඳව ඍජුව යමක් කීමට චන්දිරම් මැලි වන බව රෝජා වටහා ගත්තාය. ඒ මන්දැයි ඇය ඇසුවේ නැත. සොහොයුරාගේ දුරකථන අංකය, විද්යුත් ලිපිනය දීමට පවා පසුබට වූ චන්දිරම් කීවේ සොහොයුරා ඔවුන්ට කතා කරන්නට ඉඩ ඇති බවය. රවිහාරි ගේ හෝ මනෝහාරිගේ දුරකථන අංක විද්යුත් ලිපිනය ඔහුට දීමද ඇය ප්‍රතික්ෂේප කළාය.

“චන්දිරම් ඉන්ද්‍රජිත් අයියා දැන් විවාහ වෙලා දුවලා පුතාලත් ඇති නේද?”

‍රෝජා ඇසුවේ කුතුහලය සඟවා ගත නොහැකි තැනය.

“රෝජා ඒ සේරම අයියා කියාවි. මම ඔයාගෙ ෆෝන් නම්බර් එක අයියට දෙන්නම්. දැනට ඒ ඇති. රෝජා තරහ වෙන්න එපා. අපි අද ඉඳන් හොඳ යාළුවො කියලා හිතා ගනිමු.”

චන්දිරම් එයින් නිම කළ සංවාදය ඇත්තී දුරකථනය විසන්ධි කළාය. රෝජා සඳපාණි අදහාගත නොහැකි ඇමතුමක මහත් බරක් සිත ඇතිව මඳ වේලාවක් නිසොල්මනේ නිහඬව, නිහඬ වූ දුර කථනය දෙස බලා සිටියාය. ආපසු නිහඬ සිත අවදි කරමින් ඇය මනෝහාරි ඇමතුවේ කලබලයෙන් වහ වහා වුණත් ඇගේ දෙනෙත් සතුටත් දුකත් මිශ්‍ර කඳුළෙන් පිරී ගියේ ඇයටත් නොදැනීමය.

“දැන් අපිට ඉන්ද්‍රජිත් වෙනුවට චන්දිරම් හම්බ වුණා. මොකද දන්නෙ නැහැ චන්දිරම් අයියගෙ ඊ මේල් එඩ්ඩ්‍රස් එක හරි ෆෝන් නම්බර් එක හරි රෝජාට නොදුන්නෙ?”

තරුණියට සාවධාන සවන් දෙමින් සිටි රුක්නාද් ඇසුවේ කුතුහලයෙනි.

“මාත් ඒ ගැන කල්පනා කළා.”

රෝජා ඉන් නිහඬ වූවාය. මනෝහාරී ගැටලු සහගත නිහඬ ගැඹුරු කල්පනාවකය. ඔහුට ඒ අතීතය අමතක ද? ඔහුගේ සොහොයුරියට මතක ඇති අතීතය ඔහුට අමතක වීමට පුළුවන.

කොන්ක්‍රිට් ඇණයට විදුලි පහන් කණුවට වඩා සිත නොසංසුන්කරවන මතකයක් රෝසමලෙහි සැඟවී ඇත.

මේ මිහිරි සිදුවීමේ මිහිරියාව කෙසේ සිතින් ග්‍රහණයට ගෙන ආශ්වාදජනක සතුටක ගිලී සැනසෙන්නට හැකිද?

“ඉන්ද්‍රජිත්ට ඔය පුංචි කතන්දර දැන් අමතක ඇති”

බොහෝ වේලාවක් නිහඬව සිටි ඇය උත්සාහයෙන් කතා කරන්නට වූවාය.

“නෑ ඒ අයියාට ඒ කතාව හොඳට මතක ඇති. වෙලාව ආවම එයා මනෝහාරි අක්කට කතා කරාවි. චන්දිරම් ඕස්ට්‍රේලියාවෙ. ඉන්ද්‍රජිත් පීජි දූපත්වල. ඉක්මනින් තීරණ තීන්දු ගනීවි. චන්දිරම් ලංකාවට එන්න ආසයි. ඇවිත් යන්න තමා ඉතින්.”

මනෝහාරි රෝජාට කෙසේ ස්තුති කළ යුතුදැයි සිතන්නට වූවාය. මේ නම් දෛවෝපගතයක් වන් පුදුමයකි. කුමන ප්‍රතිවිරුද්ධ අදහස් තිබුණත් පවුලේ සියලු දෙනාට ම චන්දිරම් කතා කිරීම මහා පුදුමයක් වනු ඇත. මව අතීතයට ගිය ද නොගියද බිහිසුණු සිදුවීම්වල කම්පනය යළි සිහිපත් කරනු ඇත.

ඉන්ද්‍රජිත් කුමන මොහොතක හෝ කතා කරනවා නම් ඒ රෝජාටය. සමහරවිට චන්දිරම් පැවසූ සියලු තොරතුරු රෝජා නොපවසා සිටිනවා වීමට ද පුළුවන.

“රෝජා අපි මේ ගැන රවිහාරිටත් කියමු.”

මිතුරිය පරීක්ෂා කරන සිතුවිල්ලෙන් මනෝහාරි යොජනා කළාය.

“එපා... ඉන්ද්‍රජිත් කතා කරනකන් අපි තුන්දෙනා මේක රහසක් කර ගනිමු.”

ඇයට එකඟවීම වඩා හොඳ යැයි රුක්නාද් කීවේ දෙනෙත් බැල්මෙනි.

“ඉන්ද්‍රජිත්ට දැන් තිහක් තිස්දෙකක් විතර ඇති නේද?”

රුක්නාද්ගේ ප්‍රශ්නයට දිය යුතු පිළිතුර මනෝහාරි දැන සිටියේ නැත. ඔහුගේ පැමිණීම සුරංගනා කතාවක ‍හෝ ජනප්‍රිය සිනමා අන්දරයක ප්‍රේමය පිළිබඳ වස්තු බීජයක් නොවේ.

නැවත නැවත සිහි නොකළ යුතු අභාග්‍යයකට මුහුණ දීමට සිදුවීමේ වේදනාව දරා ගත නොහැකිව ඔහු යන්නට ඇත.

රෝජා සඳපාණිගේ දුරකථනය ඇමතුම් නාදයක් පතුරුවන්නට විය. චන්දරම් නැවතත් දුරකථනයේය.

“රෝජා ස්කයිප් තියෙනවා නේද? ඔන් කරන්න.”

ඉල්ලීම ක්ෂණිකව ඉටු විය.

ලබන සතියට

හර්ෂ ගුණවර්ධන අඳියි

Comments