ඒ හීනෙ ඇතුළේ තවත් හීන තිබුණා | සිළුමිණ

ඒ හීනෙ ඇතුළේ තවත් හීන තිබුණා

තරුණ කාලේ තිබ්බ ලොකුම හීනේ මොකක්ද?

තරුණ කාලෙ කියන්නේ, යන්නම් තේරෙන වයසේ ඉඳලම තිබ්බ හීනේ තමයි ලංකාවේ ඉහළම පෙළේ ගායකයෙක් වෙන එක.

ඒ හීනය ඒ විදිහටම ඉටු කරගන්න පුළුවන් වුණා කියලා හිතනවද?

එහෙම හිතනවා.

ඒ හීනය වෙනුවට වෙනත් අරමුණක ජීවිතය ගෙන ගියා නම් හොඳයි කියලා හිතනවද?

නැහැ. කොහෙත්ම එහෙම හිතන්නේ නැහැ. මම බලාපොරොත්තු වුණු දේ ඒ විදිහටම හරිගියා. මුළු රටම මට ආදරය කරන්න ගත්තා. එහෙම වුණේ මම මේ ක්ෂේත්‍රයට ආපු නිසා. වෙනත් කිසිම ක්ෂේත්‍රයක ඉන්න අයට එහෙම මිනිස්සුන්ගේ ආදරය ලබන්න බැහැ.

ජීවිතයේ තිබුණු වෙනත් හීන ගැන කිව්වොත්?

හීනය කියන්නේ ඉලක්කයකට. සමාජය ගැන යාන්තම් දැන ගත්ත කාලේ ඉඳලා මගේ තිබ්බ හීනය ගායකයෙක් වෙන එක. ඒ හීන‍ේ අතුළේ නම් තවත් හීන තිබුණා. ශක්තිමත් ආර්ථිකයක් ඇති කරගන්න එක, ජනතාවගේ ආදරයට ලක් වෙන එක. අලුත් ගීත නර්මාණය කරන එක වගේ ඒවා. දැන් අන්තිමට මම දකින හීනය තමයි කවදාහරි ජනතාව ලබා දුන් ප්‍රසාදය අප්‍රසාදයට ලක් නොකර මිය යන එක. ඒ හීනය තමයි මගේ අන්තිම හීනය.

හීන බිඳිලා තියෙනවද?

බිදිච්ච හීන කියලා එකක් කියන්න බැහැ. හීන කියන්නේ ඉලක්ක. මට අවශ්‍ය ඉලක්කය සපුරාගන්නා තෙක් ඒ අරමුණ ඔස්සේ එතනට යනඑක මගේ හැටි. මොන පැත්තකින් හරි මට හැබෑ කරගන්න ඕනෑ හීන කරා යන්න මට පුළුවන් වුණා. ඒ නිසා බිඳිච්ච හීන නැහැ.

සියදිවි නසාගන්න උත්සාහ දරලා තියෙනවද?

අපෝ හීනෙන්වත් හිතලා නැහැ. මම බෞද්ධයෙක්. පොඩි කාලේ ඉඳලා දහම්පාසල් ගිහින් ධර්මය ඉගෙනගත්ත කෙනෙක්. ඒ නිසා එහෙම දෙයක් ජීවිතේට හිතලා වත් නැහැ. සමාජයට මට කියන්න තියෙන්නේත් එහෙම සියදිවි නසාගන්න එපා කියලයි.

පසුතැවිලි වෙන දේවල් කරලා තියෙනවද?

පසුතැවිලි වෙන දේවල් කවදාවත් කරලා නැහැ. අනුන්ට පසුතැවිලි වෙන්න දේවල් කරලත් නැහැ. සමහරවිට අපි පෘථග්ජන මිනිස්සු හැටියට අපේ අතින් වැරදි වෙලා ඇති. ඒත් වැරදි නිවැරැදි කරගෙන අන් අයගේ අදහස් එක්ක ගැටිලා, ප්‍රතිපත්ති ගරුකව ජීවත් වෙන කෙනෙක් තමයි මම.

තරුණ කාලෙදි විවේචනයට ලක් වෙලා තියෙනවද?

කොච්චරවත් විවේචනයට ලක් වෙලා තියනවා. සිළුමිණ පත්තරෙන් විතරක් 18 පාරක් මාව විවේචනය කරලා තියෙනවා. මගේ ගාව paper cuttings තියෙනවා. විවේචනය කියන්නේ වැරැද්දක් පෙන්වා දෙන එකයි. ඒ විවේචන සාධාරණ නම් ඒ වැරැද්ද හදාගෙන ඉදිරියට යනඑක දියුණුවට හේතුවක්. මම කරන්නේ සාධාරණ විවේචන සැලකිල්ලට ලක් කරලා මගේ වැරදි හදාගන්නඑක. සිළුමිණ මාව 18 පාරක් විවේචනය කළා. 19වැනි අවස්ථාව තවම උදා වුණේ නැහැ.

තරුණකම ඔබ දකින්නේ කොහොමද?

තරුණකම ගැන කලාකරුවෙක් විදිහට කිව්වොත් මෙහෙමයි. කලාකරුවකුගේ තරුණකම තියෙන්නේ හිතේ. ශරීරය වැහැරෙනවා. ඒත් පැවැත්ම යහපත් නම් තරුණකම සදාකල් පවත්වාගන්න පුළුවන්.

එක කාලකෙ ඔබ කැසට් ලොවේ ජනප්‍රියම ගායකයා. ඒත් අද එහෙම නෑ.

කැසට් කියන තාක්ෂණික ක්‍රමවේදයත් අද නෑ නේ. ඒ කාලේ එහෙම වෙන්න මට වාසනාව තිබුණා. නමුත් එහෙම කියලා ඒ කාලේ හිටපු අනික් අයටත් අඩුවක් තිබ්බේ නැහැ. නමුත් මට තරම් නැහැ. දැන් වෙනස තමයි හැමෝටම අවස්ථාව තිබෙනවා. ගුවන්විදුලි නාලිකා තියෙනවා. බලන්න අපේ රටේ ජනගහනය එක් කෝටි අසූතුන් ලක්ෂයයි. හැබැයි කෝටි දෙකක් විතර පත්තර තියෙනවා. රේඩියෝ චැනල් තියෙනවා කෝටි දෙකහමාරක් විතර. මුදල් තියෙනවා නම් ගායකයෙක් වෙන එක සුළු දෙයක්. ඒ කාලේ ගුවන්විදුලියෙන් අපි ආවේ ප්‍රමිතියක් ඇතිව. ඒත් දැන් එහෙම නෑ. පොලිසියේ එන්ට්‍රි පොතට තනුවක් දාලා කියන තරම් එකක් දැන් තියෙන්නේ. දෙවියන්ගේ පිහිටෙන් අපි දැනුත් මිනිස්සු අතරට ගියාම, මිනිස්සු අපට ආදරෙයි. මිනිස්සුන්ට ව්‍යාජ දේ හඳුනාගන්න පුළුවන්. බොරුව තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම හොඳ නිර්මාණ තේරුම් ගන්නත් පුළුවන්. ඒ නිසාම මගේ රසිකයන් මට තියෙන ආදරය සදාකාලිකයි. ඒත් දැන් ඉන්න ඔක්කෝමල්ලා ආවා ගිය අය. ජෝතිපාලයි, සුජාතයි නැත්නම් රියැලිටි ෂෝ නැහැ. එහෙම වෙන්නේ තවමත් ඒවාට උඩින් නිර්මාණ බිහිවෙලා නැති නිසා.

තරුණ පරපුරට කියන්න තියෙන්නේ මොනවාද?

තමන්ගේ කියලා අනන්‍යතාවක් හදාගන්න. ඒ අනන්‍යතාව පවත්වාගෙන ගන්න පුළුවන් නිර්මාණ බිහි කරන්න. තමන් කරන දෙයින් තමන් සතුටු වෙන්න. ඒ කියන්නේ තමන්ට සතුටු වෙන්න පුළුවන් දෙයක් කරන්න. මේ අතර වැදගත්ම දේ තමන්ගේ පැවැත්ම හරියට තියාගන්න. එහෙම කළොත් වරදින්නේ නැහැ.

ටිරෝනි වෑවලගේ

Comments