හේම­ලාල් ගීත­දේව උප­න්දි­නය දා නවමු අත්දැ­කී­මට සැර­සෙයි | සිළුමිණ

හේම­ලාල් ගීත­දේව උප­න්දි­නය දා නවමු අත්දැ­කී­මට සැර­සෙයි

නා ලොවින් ආ දළු දෙතොල් ගැන

නාන තොට පියගැට පෙළේ

හෙමින් පිය මැන මවෙත ඇදෙනා

නාරි ළඳමයි මානයේ..

නා වනේ නා උයනෙ නා මල්

සුවඳ අරගෙන ආ නෙතේ

මාද මිණිකැට යුවළ උවනත

කෙළෙස කිව මැන යා වුණේ..

නාග බරණින සැරහි ආලෙද

සුසැට බරණිද දිලිසුනේ

නාම ගොතවග කිසිත් නොහදමි

කවර නා ළිය මයෙ වුණේ...

ගායනය,තනු නිර්මාණය-හේමලාල් ගීතදේව

පද රචනය -සුසන්ත රනුක කුමාරසේන

තම පනස්වෙනි උපන්දිනය දා හා පුරා කියමින් තමන්ගේම හඬින් ගීතයක් ගයන්නට සැරසෙන මේ ප්‍රවීණ ශිල්පියා කලාලෝකයට නම් නවක තරුවක් නොවේ. සංගීත අධ්‍යක්ෂණය, ශබ්ද ඉංජිනේරු, රංගන ශිල්පි, වාදන ශිල්පියකු ලෙසින් දශක තුනක පටන් කලා ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් කාලෙන් කාලෙට කලාවේ නවමං සලකුණු තබන ඔහු මෙවර සැරසෙන්නේ අලුත්ම අත්දැකීමක් රසිකයන් වෙත තිළිණ කරන්නයි . ඒ ගැන අප සමග කළ කථා බහයි මේ.

*මොකක්ද මේ අලුතෙන් කරන්න යන වැඩේ..?

සැප්තැම්බර් පළමුවැනිදා මගේ ජීවිතයේ පනස් වෙනි වියට පා තබනවා. ඒ නිමිත්තෙන් මට හිතුණ මගේම කියා ගීතයක් ගායනා කිරීමට. මේතරම් කාලයක් වෙනත් ගීතවලට සංගීතය සැපයු මම මේ ජීවිතයේ පළමු වතාවටයි මගේම ගීතයක් ගායනා කරන්නේ. ඒකටක් හේතුවක් තිබෙනවා. ඒ නවක පද රචකයින් අට දෙනෙක් සහ නවක ගායන ශිල්පීන් 11ක් සම්බන්දකරගෙන මගේ කාලය, ශ්‍රමය ,ධනය, ශක්තිය වැයකර නිර්මාණය කළ නව ගීත එකොළහක් එදිනම එළි දක්වනවා.මේ ප්‍රසංගයේ තිබෙන විශේෂත්වය ඒකයි.

*ප්‍රසංගය පැවැත්වෙන්නෙ නවකයන් වෙනුවෙන්මද..?

නවකයන් වෙනුවෙන්මයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ. සැප්තැම්බර් 01දා සවස 2.30ට කොළඹ නව නගර ශාලාවේදි සවස 2.30ට මෙම ප්‍රසංගය පැවැත්වෙනවා. ඔවුන්ගේ ඉල්ලීම මත තමයි මමත් එදාට ගීතයක් ගායනා කරන්නේ. ඔවුන්ගේ ගීත ඇතුළත් ඇල්බමය එදාට එළිදක්වනවා.මගේ ගීතය එම ඇල්බමයට ඇතුළත්කරන්නේ නැහැ.

*මේ නවක ගායන ශිල්පීන් තෝරාගත්තේ විශේෂ ක්‍රම වේදයකින්ද..?

මගේ හිතවතෙක් වු විමාන් ගමගේ මහතාගේ අදහසක් අනුව මේ ප්‍රසංගය පවත්වනවා. ඒ අනුව දක්ෂ නවක පද රචකයින් අට දෙනෙක් සහ නවක ගායන ශිල්පීන් 11ක් මුහුණු පොතෙන් තෝරාගෙන ඔවුන්ට කිසිම වෙහෙස මහන්සියක් නැතිව ඔවුන්ගේ දක්ෂතා රටටම පෙන්වන්න ලැබෙන මහඟු අවස්ථාවක් මෙය.

මේ තෝරාගත් ශිල්පීන් සැබවින්ම දක්ෂයින්. ඔවුන්ට තමන්ගේම කියා නිර්මාණයක් කිරීමට අවශ්‍ය ශක්තියක් නොමැති කමින් ඔවුන් අසරණවෙලා. එවැනි දක්ෂයන්ට අතහිතදීමක් ලෙසින් සහ රටට හැකියාවැති ගායන ශිල්පීන් හා ගීපද රචකයින් හදුන්වා දීමත් මෙහි අරමුණයි.

මේ සඳහා lion gate entertetment ආයතනයේ අධිපති ශ්‍රි ලංකා මානව හිමිකම් ආයතනයේ අධ්‍යක්ෂ සුගත් බුළුකුඹුර මහතා ගීත එකොළහටම විෂුවල් සඳහා වැයවන මුදල් නොමිලේ ලබාදෙනවා. එය සිදු කරන්නෙ සුසන්ත රනුක කුමාරසේනගේ ඉල්ලීමකට. ඔහුත් මේ ප්‍රසංගයට විශාල සහයෝගයක් ලබා දෙනවා.

*තනු නිර්මාණ ශිල්පියෙක් වු ඔබ ඉදිරියට ගායන ශිල්පියෙක් වෙයිද..?

මම වාදන ශිල්පියෙක්. ජනප්‍රිය ගීත රැසකට තනු නිර්මාණය කර තිබෙනවා. ඒ අතර ප්‍රින්ස් ගායනාකරන 'පිනි වැටෙනා මල් යායේ', රන් අරුණැල්ලේ ආදි ගීතසඳහා තනුනිර්මාණය කර තිබෙනවා.

රංගන ශිල්පියෙක් ලෙස රාජ්‍ය සේවය පිණිසයි, මුතු වැස්සක්, දර ගැරේජ්, ආදි ටෙලිනාට්‍ය සහ චිත්‍රපටවලට රංගනයෙන් දායක වී තිබෙනවා. කලාව මගේ ජීවිතම වෙලා. ඒ නිසයි මෙවැනි නවක ශිල්පීන්ට අතදෙන්න මෙච්චර වෙහෙස වන්නෙ. 

 

Comments