පොත්ගුල්ලී සුන්ද­රයි | සිළුමිණ

පොත්ගුල්ලී සුන්ද­රයි

ඉන්ද්‍රචාපගේ සමීප රූප අතරට අපූරු ළමා නාට්‍යයක දර්ශන පෙළක් එකතු වෙනවා, පහුගිය දහසය වැනිදා හවස කොළඹ බිෂොප් විදුහල් ශ්‍රවණාගාරයේදී. මේ ළමා නාට්‍යයේ නිෂ්පාදකයා අපි කවුරුත් හොඳින් අඳුනන, ළමුන් සමඟම ජීවත්වෙන ළමුන්ගෙ නිර්මාණ හැකියාවන්, හැම තිස්සෙම මතුකරල පෙන්වන නාලක ස්වර්ණතිලක.

එයාගෙ වයිට් ලීෆ් ප්‍රසංග කලා ඇකඩමිය නිෂ්පාදනය කළ පොත් ගුල්ලී තමයි, සමීප රූපයේ ඇඳුණු අපූරු ළමා නාට්‍යය. whyte leafe ඇකඩමිය පහුගිය කාලය පුරාම, ළමයින්ගේ නිර්මාණශීලී කුසලතා මතු කරන්න ඒවා අඳුනාගන්න, සමාජගත කරන්න නිරන්තරයෙන්ම උදවු කරන ආයතනයක් විදියට ඉන්ද්‍රචාප අඳුනගෙන තියෙන්නෙ.

අවුරුදු පතා පවත්වන සම්මාන උත්සවවලදී, ඉන්ද්‍රචාපට වයිට්ලීෆ් ඇකඩමියෙ, විශිෂ්ට නිෂ්පාදන, ඒ කියන්නෙ, ගායක ගායිකාවො, නළුවො නිළියො නර්තන ශිල්පියො, විචාරක විචාරිකාවො, නිවේදක නිවේදිකාවො වගේ විශාල ළමා නිර්මාණකරුවන් දැකගන්න ලැබිල තියෙනවා.

පොත්ගුල්ලී, ලොව ප්‍රකට ළමා නාට්‍යයක රෝල්ඩ් ඩාල්ගේ මැටිල්ඩා, කෘතියෙන් තමයි, වස්තු විෂය තෝරගෙන තියෙන්නෙ. මැටිල්ඩා සිනමාවෙත් නිෂ්පාදනය වුණු බව ඉන්ද්‍රචාප දන්නවා. ඒත් ශ්‍රී ලංකාවේදී මැටිල්ඩා පොත්ගුල්ලී වෙලා අපේ රටේ දරුවන් අතරට එනවා. නාට්‍යය පටන්ගත්තෙ අපූරු තේමා ගීතයකින්. ඉන්ද්‍රචාප ඒ ගී පදවලට කැමැතියි.

“හීනවලට තටු ඇවිදින්

පියාඹන්න යන්නේ

නෑ නෑ අපි හීනවලට

පියාඹන්න දෙන්නේ

එකතු කරන හීනවලට

සාක්කු මදිවෙන්නේ

තාත්තගේ සේප්පුවේ

නෑනෙ ඉඩක් දෙන්නේ...”

ළමා ලෝකයේ දරුවන් විවිධ සිහිනවල ජීවත්වෙන බව නාලක තම දරුවන් ලවා ප්‍රේක්ෂකයන්ට කියනවා. ඒ හීනවල වැඩිපුරම තියෙන්නෙ අනාගතයෙ ඔවුන් කවුරුන්ද වෙන්නෙ, ඔවුන් තෝරගන්න කැමැති වෘත්තිය මොකක්ද කියන එක. කණ්ඩායම් රංගනය එක්වරම ඉන්ද්‍රචාපගෙ සමීප රූපයෙ ඇ‍ඳෙන්නෙ අපූරු ආරම්භයක් නාට්‍යයට එකතු කරමින්.

මැටිල්ඩා (ගිහිණි කංකානම්ගේ) පොත්ගුල්ලියක් වෙන්නේ එයා පොත් කියවන්න පුදුම ආසාවක් තියෙන දරුවෙක් නිසා. ඒත් එයාගෙ ගෙදර දොර අම්ම තාත්තගෙන් ඒකට කිසිම සහයෝගයක් උදව්වක් නෑ. තාත්තා එයාගෙ බිස්නස් ලෝකෙ ජීවත් වෙනකොට අම්ම වෙනස්ම ලෝකෙක. නැටුම්, රූපවාහිනී වැඩ සටහන්, බියුටි කල්චර් එයාගෙ තෝරා ගැනීම්.

ඒත් මැටිල්ඩා පාසල් වැඩ අතරෙත් කියවීමටම මුල් තැන දීල වැඩ කරන්නෙ. පාසල් වැඩවලින් විශේෂ දක්ෂකම් තියෙන නිසා පංතියෙ ළමයි එක්ක එකතුවෙලා ගුරුතුමීට, ප්‍රින්සිපල් මැඩම්ගෙන් සිදුවෙච්ච අසාධාරණයකට එරෙහිව නැඟී සිටිනවා.

ප්‍රධාන නළු නිළියන්, විදුහල්පතිනි අගතා ට්‍රැන්ච්චුල් (කුසුම් රේණු) මිස් හනී (අමා විජේසේකර, වින්ටර් වර්ම්වුඩ් (ප්‍රියංකර රත්නායක) වර්ම්වුඩ් මහත්මිය (සංකාරා විජේරත්න) යන වෘත්තිය නළු නිළියන් තමන්ගෙ භූමිකා, ඇකඩමියෙ දරුවන් සමඟ, අපූරුවට රඟපානවා, නාට්‍යයේ කුතුහලය, නාට්‍යමය ගුණය රැක ගනිමින්.

මැටිල්ඩාගේ චරිතය රඟපාන දිහිණි කංකානම්ගේ ශිෂ්‍යාව නාට්‍යය පුරාම තමන්ගෙ රංගනයෙන්, දෙබස් උච්චාරණයෙන්, නාට්‍යයේ නාටකීය අවස්ථා දක්ෂ විදියට රැකගත් විදිය තමයි ඉන්ද්‍රචාපගෙ සමීප රූපයෙ ඇඳිල තියෙන්නෙ. ළමයින්ට ගැළපෙන ළමුන් ගැන කතා කරන, ළමා නැත්නම් යෞවන නාට්‍ය විශාල ප්‍රමාණයක් ඉන්ද්‍රචාපගෙ සමීප රූප අතරෙ නෑ.

සෝමලතා සුබසිංහ හදපු නාට්‍ය ටික ඇරුණම, අලුත් ළමා නාට්‍ය හැදෙනව අඩුයි මේ කාලෙ. ඒ වගේ පසුබිමක ඉන්ද්‍රචාපගෙ සමීප රූප අතර ඇඳුණු නාලක ස්වර්ණතිලකගේ පොත් ගුල්ලී වර්තමාන ළමා පරපුරට වයිට්ලීෆ් ඇකඩමියෙන් පිදුණු තෑග්ගක් වගේ.

නාට්‍යයේ රඟපෑ ළමා නළු නිළියන් හැමෝගෙම රඟපෑම් වගේම නාට්‍යයෙ සංගීතය, ඇඳුම් පැලඳුම්, රංග භාණ්ඩ, රංග වස්ත්‍ර, හැම දෙයක්ම වගේ හොඳ නිෂ්පාදනයක ලක්ෂණ පෙන්නුම් කළා. ඉන්ද්‍රචාපගෙ සමීප රූපයෙ ඇඳුණු දර්ශනේ තවත් පුහුණුවීම් කීපයකටවත් ගියානම් හුඟාක් ලස්සන වෙන්න තිබුණා.

Comments