කලිසම් ගැලවෙන ක්‍රිකට් | සිළුමිණ

කලිසම් ගැලවෙන ක්‍රිකට්

දකුණු ආසියාවේ ක්‍රිකට් යනු හුදු ක්‍රීඩාවෙන් එහා ගිය ක්‍රියාවලියක් බව පැහැදිලිය. ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පළමු වටයෙන් ම ඉවතට විසි වී අසරණ වි සිය රට එද්දී, ඉන්දියාව අවසාන මහා තරගයට පවා පිවිස පාකිස්තානය හමුවේ පරාජය වන විට ඉන්දීය ක්‍රීඩකයන්ගේ නිවාසවලට පොලිස් ආරක්ෂාව පවා යොදවන්නට සිදු විය. ඒ තරමට ක්‍රිකට් ක්‍රීඩාව දකුණු ආසියාතිකයන්ගේ ජීවිත හා බැඳී පවතින්නක් බවට පත්ව තිබේ. මේ දිනවල මෙරට පැවැත්වෙන ඉන්දු - ලංකා ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාව 2002 - 03 දී ඔස්ට්‍රේලියාව හමුවේ 3 - 0 කින් පරාජය වූවාට පසුව වසර 15 කට පමණ පසු සත්කාරකයන් ලෙස ශුද්ධ වූ ටෙස්ට් තරගාවලි පරාජයක් හිමිකර ගත්තේය.

මේ ටෙස්ට් තරගාවලි පරාජය හමුවේ ඇරැඹුණු එක්දින තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් පැත්තෙන් හැරවුම් ලක්ෂයක් බවට පත්ව තිබේ. මෙකී එක්දින තරගාවලිය ද ඉන්දියාව හමුවේ තරග දෙකක් ජය නොගතහොත් 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත. මෙයින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීමේ දිග සහ පළලය. ක්‍රීඩකයන් හතළිස් ගණනක් එහා මෙහා කළද කඩා වැටීම තවමත් නතර කර ගැනීමට හැකියාව ලැබී නැති බව ප්‍රතිඵලවලින් පැහැදිලිය. ප්‍රතිඵල එසේ වුවද අද මුදලට හෙට ණයට න්‍යායෙන් වුවද තවමත් මෙරට ජනයා ක්‍රිකට් අත්හැරීමට මැළිවන බව පෙනෙන්නේ බැන බැන හෝ අද පැරදුනත් හෙට හරි දිනයි යන විශ්වාසය සිත්හි දරාගෙනය. මේ අතර තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ප්‍රකාශ කරන්නේ ටෙස්ට් තරගාවලිය සඳහා යොදා ගත් ක්‍රීඩකයන් අසාර්ථක යැයි පැවැසිය නොහැකි බවය.

එක් අතකින් එකී ප්‍රකාශය ද බැහැර කිරීම ද අසාධාරණයකි. ශ්‍රී ලංකාව 2002 - 03 ඔස්ට්‍රේලියාව හමුවේ 3 - 0 කින් පරාජය වූ ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම, සනත්, මාවන්, තිලාන්, සංගා, මහේල, ඩිල්ෂාන්, හෂාන්, වාස්, නුවන්, මුරලි, රංගන එක්ක බලද්දී අද මේ ක්‍රීඩකයන් පාලකයන්ගේ කලිසම් ගැලවෙන තැනට ක්‍රිකට් ක්‍රීඩාව ඇද දැමීම ගැන පුදුම වියයුතු නැත. පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව පරාජය කළවිට පස්ස උඩ දමාගෙන නැටූ අයගේ අද පස්ස බිම ඇනී ඇත. මේ බිම ඇනීම කෙතරම් රිදෙනවාද යන්න එය පොළොවේ පස් කන තරමටම දරුණුය.

සංගා සහ මහේල ගියේ ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ පදාසයක්ම ගලවාගෙන බව නොරහසකි. එය ගලවා ගෙන යාමටත් වඩා ගලවා ගෙන යන තැනට ම තල්ලු කර දැමූ විපාක ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව මේ විදින්නට පටන් ගත්තා පමණි. ඉන්දු ලංකා එක්දින සහ විස්සයි 20 තරගවලින් ටෙස්ට් නායකයා හැලෙන විට ටෙස්ට් තරගවල අටවත් පාස් නැති උපුල් තරංග නායකයා වීම ගැන එක අතකින් පුදුම විය යුතු නැත.

Comments

පිටු