දුක් කඳුළු පිසදමා හැකියාවෙන් දිවි දිනන “දිරිය ළඳුන්” | සිළුමිණ

දුක් කඳුළු පිසදමා හැකියාවෙන් දිවි දිනන “දිරිය ළඳුන්”

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ඇරැඹූ දා ජාත්‍ය­න්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේන­සිංහ, හේමා ප්‍රේමදාස සහ රෝසි සේනානායක යන මහත්ම මහත්මීහු ඇතුළු ආරාධිත අමුත්තෝ මෙහි වෙති.

අපේ අරමුණ දිළිඳු කතුන් ආර්ථික අතින් සවිමත් කිරීමයි. පවුලේ බිරිඳ ආර්ථික අතින් සවිමත් වන විට නිරායාසයෙන් ම ඒ පවුලේ සංවර්ධනයක් ඇති වෙනවා.

සැමියාත් බිරිඳත් දෙදෙනාම හරිහරියට වෙහෙස වුණත් අද කාලේ පවුලක් නඩත්තු කරන එක ලේසි පහසු කාරියක් නොවෙයි. උගත්කමත් හැකියාවත් උනන්දුවත් තිබුණත් රැකියාවක් නැතිව ළතැවෙන කාන්තාවන් කොතරම් සිටිනවාද? සැමියා පමණක් ආදායම් උපදවන පවුලක බිරිඳක් ආර්ථික අතින් සවිමත් නොවීමෙන් ඇය කිහිප ආකාරයකින් පීඩාවට පත් වෙනවා. ආහාර පාන, අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි මූලික අවශ්‍යතා පිරිමසා ගන්නට සැමියා උපයන ධනය ප්‍රමාණවත් නොවන කල ඔවුන් බොහෝ ගැටලුවලට මුහුණ පානවා. බොහෝවිට මෙවැනි අඩු ආදායම් ලාභී පවුල්වල සැමියන් මතට යොමු වී සිටීමෙන් තත්ත්වය තව තවත් බරපතළ වෙනවා. සැමියාගේ තාඩන පීඩන ද විඳ දරා ගනිමින් බිරිඳට පවුල රැක බලා ගන්නත් සිදු වෙනවා. එවන් අවස්ථාවල “අනේ මටත් යමක්කමක් උපයා ගන්න ක්‍රමයක් ඇත්නම්?” යැයි සිතා ලතැවෙන ළඳුන් කොපමණ අප අතර සිටිනවාද? දෑතේ කර්මාන්තයක් උගෙන ගෙන නැති, එවැනි පුහුණුවක් ලබා ගැනීම සඳහා වියදම් කරන්නට තරම් මුදලක් අතේ මිටේ නැති ළඳුනට පිහිට වන යහපත් සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස “දිරිය කතුන්” ස්වයං රැකියා වැඩසටහන හඳුන්වා දෙන්නට පුළුවන්.

ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ සංකල්පයක් මත බිහි වුණු “දිරිය කතුන්” වැඩසටහන 2016 සැප්තැම්බර් මස 17 වැනිදා ඇරැඹුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

දිරියෙන් නැගිටින ලාංකික කතුන්ට ස්වයං රැකියා දැනුම හා පුහුණුව ලබාදී භාණ්ඩ නිෂ්පාදනය කර ඒ සඳහා දෙස් විදෙස් වෙළෙඳ පොළ අවස්ථා උදා කරදීම ‘දිරිය කතුන්’ වැඩසටහන මඟින් ඉටු කෙරෙනවා. ආරම්භයේදී කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල්වල කාන්තාවන් සඳහා බිහිකළ “දිරිය කතුන්” වැඩසටහන ඉදිරියේදී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් කරාම ව්‍යාප්ත කිරීමට අදහස් කරන බව එම වැඩසටහන් අධ්‍යක්ෂිකා මනෝජි සමරවීර මහත්මිය පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තාවන් දහසකින් ඇරැඹුණු මෙම පාඨමාලාවෙන් විවිධ වර්ගයේ අත්කම් භාණ්ඩ 12ක් නිර්මාණය කිරීමට දැනුම හා පුහුණුව ලබා දෙනවා. මේ වැඩසටහන යටතේ දැනට කාන්තාවන් 2000ක් පුහුණුව ලබා අවසන් කර තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පුහුණු මධ්‍යස්ථාන 15 කදී තවත් කාන්තාවන් 3000 ක් දැනට පුහුණුව ලබමින් සිටිනවා.

දිරිය කතුන් වැඩසටහන සුජීව සේනසිංහ පදනම මඟින් දියත් කෙරෙන අතර මේ සඳහා සම්පූර්ණ ප්‍රාග්ධනය ඇමැතිවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදු කෙරෙනවා. සම්පූර්ණයෙන් ම නොමිලේ පැවැත්වෙන මෙම පාඨමාලාව සතියට දිනක්, පැය තුනක් පුරා පැවැත්වේ. සම්පූර්ණ පාඨමාලා කාලය මාස පහකි. ඒ ඒ පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ විහාරස්ථානයන් හිදී මෙම පාඨමාලා පැවැත්වේ. එම්බ්‍රොයිඩරි කුෂන් කවර, ඇඳුම් පැලඳුම්, අත්බෑග්, ඇඳ ඇතිරිලි, විසිතුරු බිත්ති සැරසිලි, බුමුතුරුණු, විසිතුරු ආභරණ හා පාවහන් නිෂ්පාදනය සඳහා මෙරට මෙන් ම අන්තර්ජාතික කීර්තියට පත් අත්කම් හා මෝස්තර නිර්මාණය පුහුණු ආයතනයක උපදේශිකාවන් විසින් පුහුණු පාඨමාලා පවත්වනු ලැබේ.

සාර්ථක ලෙස පුහුණුව අවසන් කරන කාන්තාවන්ගේ නිෂ්පාදන පදනම මඟින් ඔඩෙල් සමාගම වැනි ඉහළ මට්ටමේ දේශීය ව්‍යාපාර ජාල වෙත අලෙවි කිරීමට කටයුතු යොදා ති‍ෙබ්. දිරිය කතුන් විසින් නිර්මාණය කරනු ලබන උසස් මට්ටමේ භාණ්ඩ වර්ග 25ක් මිලදී ගැනීමට ඔඩෙල් සමාගම එකඟ වී ඇතැයි ද මනෝජි සමරවීර මහත්මිය පැවැසුවාය.

“මේ පාඨමාලාවේ විශේෂත්වය වන්නේ පුහුණුව මෙන් ම භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉඳිකටු නූලේ සිට ආනයනික රෙදිපිළි දක්වා වූ අමුද්‍රව්‍ය හා භාණ්ඩ සියල්ල ම අභ්‍යාසලාභී කාන්තාවනට නොමිලේ ලබා දීමයි. භාණ්ඩ ලබා දී ඔවුන් හදන නිෂ්පාදන සඳහා වෙළෙඳ පොළ සොයා දීමටත් අපිම කටයුතු කරනවා. එයින් ලැබෙන සම්පූර්ණ ආදායම අපි කාන්තාවන්ට ලබා දෙනවා. ඔවුන්ගේ හැකියාව හා කැපවීම අනුව සාර්ථක ලෙස භාණ්ඩ නිපදවා තමන්ට කැමැති තැනකට අලෙවි කරන්නට හෝ කඩයක් සාප්පුවක් දමා ගන්නටත් හැකියාව තිබෙනවා. අපේ අරමුණ දිළිඳු කතුන් ආර්ථික අතින් සවිමත් කිරීමයි. පවුලේ බිරිඳ ආර්ථික අතින් සවිමත් වන විට නිරායාසයෙන් ම ඒ පවුලේ සංවර්ධනයක් ඇති වෙනවා. සැමියාගෙන් වුවත් විශේෂ සැලකිල්ලක් ඇයට ලැබෙනවා. දරුවන්ට සවියක් වෙනවා. එවිට ඇයට හිමිතැන ලැබෙනවා. ආදායම ඉහළ යන විට ඒ පවුලේ ළමයින්ගේ ශාරීරික මානසික සුවය, අධ්‍යාපනය මෙන් ම යහපැවැත්ම ද තහවුරු වෙනවා.

ආර්ථික අපහසුතා නිසා පවුලේ බිරිඳ ‍හෝ මව විදෙස්ගත වීමෙන් අද රටේ ඇති වී තිබෙන ගැටලු විශාලයි. එවිට දරුවන් මෙන් ම සැමියන් ද විවිධ ගැටලුවලට මුහුණ පානවා. එම ගැටලු මැඬ පවත්වා ගැනීමට ඇති හොඳම විසඳුම මවුවරුන් විදෙස්ගත වීමෙන් වළක්වා ගැනීමයි. ඒ සඳහා කළ යුත්තේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවිමත් කිරීමයි. අපගේ උත්සාහය කාන්තාවන් ආර්ථික වශයෙන් බලගන්වා ඔවුන් කිහිප දෙනෙකු වත් විදෙස් ගත වීමෙන් වළක්වා ගැනීමයි. සමරවීර මහත්මිය පවසයි.

සාර්ථකව පුහුණුව නිම කරන කාන්තාවන් බොහෝ දෙනකු පාඨමාලාව අවසන් වීමටත් පෙර සිටම තම භාණ්ඩ අලෙවි කරගැනීම සඳහා වෙළෙඳපොළ සොයා ගැනීමට සමත් වන අතර මසකට රු.25000ක් පමණ උපයන අවස්ථා ඇතැයි සමරවීර මහත්මිය කියයි.

අපි මේ පාඨමාලාවට බඳවා ගන්නේ ඉතා දිළිඳු ආර්ථික අපහසුතා ඇති කාන්තාවන්. ආරම්භයේදී ඔවුන් ගේ ඇඳුම පැලඳුම කතාබහ ‍මෙන්ම පෞද්ගලික සැලකිලිමත් බවත් එතරම් ඉහළ මට්ටමක නෑ. ඒත් පාඨමාලාවට සහභාගි වී මාසයක් දෙකක් යන විට ඔවුන්ගේ හැකියාව පමණක් නොවෙයි, කතාබහ, ඇඳුම් පැලඳුම්, ගමන බිමන පමණක් නොවෙයි රූපයෙහි පවා පැහැදිලි වර්ධනීය වෙනසක් දකින්නට පුළුවන්. එයට හේතුව අපි ඔවුන්ට ලංකාවේ ප්‍රවීණතම ගුරුවරියන් පිරිසක් වෙතින් අත්කම් පුහුණුව ලබා දෙන අතරම පෞරුෂ වර්ධන පාඩම් ද කියා දීමයි. පිළිවෙළට පිරිසුදුව ඇඳුම් පැලඳුම් සකස් කර ගන්නා ආකාරය, අඩු වියදමින් පෝෂ්‍යදායී ආහාර පාන සකස් කර ගන්නා ආකාරය, සිරිත් විරිත්. දරුවන් හා සැමියන් යහමඟට ගන්නා ආකාරය මෙන් ම තමන්ගේම රූපය වර්ධනය කර ගන්නා ආකාරය පිළිබඳ උපදෙස් ලබා දෙනවා. ඕනෑම කාන්තාවක් ලස්සනට පිළිවෙළට ඉන්න කැමතියි. ඒ වගේම මේ කාන්තාවන් ඉගෙන ගන්න හරි ආසයි. ඔවුන් හැම දෙනා තුළම බොහෝ දස්කම් තිබෙනවා. හැකියාවන් වර්ධනය කර ගන්නට ඔවුන්ට මිල මුදල් මෙන් ම අවස්ථාවක් නොලැබීමයි තිබුණු අඩුව. මේ අඩුපාඩුව සම්පූර්ණ වූ විට ඔවුන් ලබන දියුණුව විස්මය ජනකයි. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟම ඔවුන් තුළ විශාල ආත්ම විශ්වාසයක් ගොඩ නැ‍ඟෙනවා. ආත්ම විශ්වාසය තුළින් ගොඩනැ‍ඟෙන පෞරුෂත්වය තුළින් තමන්ගේ පවුලෙන් එල්ලවන අභියෝග සියල්ලට දිරියෙන් යුතුව මුහුණ දෙන්නට ඔවුනට හැකියාව ලැබෙනවා.

“මුලදී මේ වැඩසටහන්වලට බිරිඳ එනවාට ඇතැම් සැමියන් කැමති වුණේ නෑ. එහෙත් මේ වැඩමුළුවලින් පසුව කාන්තාවන් ලබන දියුණුව දකින විට දැන් ඇතැම්විට සැමියන් විසින් ම ඔවුන් වැඩමුළු වෙත කැඳවා ගෙන එනවා. වැඩමුළුව අතරේ ම අපි මතට යොමු වූ සැමියන් ඉන් මුදා ගැනීමට පවුලේ අඬදබර ගහමරා ගන්නේ නැතිව විසඳා ගන්නට කාන්තාවන්ට කියා දෙනවා. අපි මේ පාඨමාලා රජයේ පිළිගත් ආයතනයක හෝ පන්සලක් වැනි තැනක පවත්වන්නේත් එහි කිසියම් පිළිවෙළක් විනයක් තිබිය යුතු නිසයි. මෙම වැඩමුළුවලට සහභාගී වන කාන්තාවන්ගේ විනය පිළිබඳ අපි තදින් සැලකිලිමත් වනවා. දුකින් තැවෙමින් හෙටක් ගැන සිතා ගන්නට බැරිව තැවුණු දැවුණු කතුන් දහස් සංඛ්‍යාවක් අද දිරිය කතුන් බවට පත් වී සතුටින් හිනැහෙනවා. සමරවීර මහත්මිය කියනවා. ආබාධ සහිත හෝ සෙමෙන් ප්‍රතිචාර දක්වන (Otism) දරුවන් සිටින ඇතැම් මවුවරුනට අප පුහුණුවට එන විට ඒ දරුවන් ද කැටිව එන්නට අවසර දී තිබෙනවා. අම්මලාත් එක්ක ම දරුවොත් ඔවුන්ට සුදුසු අත්කම් භාණ්ඩ සෑදීමට පුහුණු වෙනවා. එවැනි දරුවන් 136ක් දැනට සිටිනවා. මේ පන්තිවලට සහභාගී වීමෙන් ඔවුන් ලබා ඇති මනෝ සමාජීය සංවර්ධනය විශ්මිතයි. ඇය කියනවා.

“බැංකු හා පෞද්ගලික ආයතන සමඟ සාකච්ඡා කර උසස් තත්ත්වයේ වටිනා මහන මැෂින් දහසක් අඩු මුදලකට මිලදී ගෙන ඒවා ඉතාම අඩු මුදලක් සහිත ණය වාරික ක්‍රමයකට ගෙවා ලබා ගැනීමේ පහසුකම් කතුනට ලබා දී තිබෙනවා. දැනට පුහුණු මධ්‍යස්ථාන 20කට මෙලෙස මැෂින් 50 බැගින් යොදවා පුහුණුව ලබා දෙනවා. ලංකාවේ කාන්තාවන් ලක්ෂයකට පුහුණුව ලබා දී ඔවුන්ගේ ආර්ථිකය නංවාලීම මෙම වැඩසටහනේ අරමුණයි.” එහි අධ්‍යක්ෂ රනිල් ආටිගල මහතා පවසනවා.

ස්වයං රැකියා ලාභීන්ගේ භාණ්ඩ විදේශයනට අලෙවි කිරීම සඳහා “වෝල් මාර්ට්” වැනි අන්තර්ජාතික වෙළෙඳ සමාගම් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින අතර මෙරට අලෙවි කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍ර‍ාදේශීය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා කර තිබේ. උසස් තත්ත්වයේ නිෂ්පාදන විදේශිකයන් සඳහා අලෙවි කිරීමට විශේෂ ප්‍රදර්ශනාගාරයක් ඇරැඹීමට ද පදනම කටයුතු යොදා ඇති බවද ඇල්විටිගල මහතා පවසයි.

“ලාංකීය කාන්තාව ආර්ථික සමාජීය හා මානසිකව සවිබල ගැන්වීමේ පිරිසුදු චේතනාවෙන් යුතුව මා මේ වැඩසටහන ඇරැඹුවේ මගේ අභාවප්‍රාප්ත පියාට පින් සිදුවීම සඳහායි. දිරිය කතුන් වැඩසටහන සඳහා මගේ සහ පවුලේ හිතවතුන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයන් මඟින් අරඹන ලද අරමුදලක් හරහා මුදල් වැය කරනවා. පාඨමාලාව සඳහා එක් කාන්තාවක් සඳහා රුපියල් 80,000 ක් පමණ වැය කරනවා. අපේ රටේ ජනගහනයෙන් 57%ක් ම කාන්තාවන්. එයින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට 33.4%ක් දායක වන්නේ කාන්තාවන්. තවදුරටත් එම ප්‍රතිශතය ඉහළ නැංවීම සඳහා කාන්තාව නිෂ්පාදන ක්ෂේත්‍රයට යොමු කළ යුතුයි. ලංකාවට වැඩියෙන් ම විදේශ විනිමය ආදායමක් ලබා දෙන්නේ ගෘහ සේවයට හා‍ ‍වෙනත් සේවාවන් සඳහා විදෙස් ගත වන කාන්තාවන්. කාන්තාවන් විදෙස්ගත වීම නිසා අද ළමයිනට ඒ පවුල්වලට විශාල ලෙස අහිතකර බලපෑම් එල්ල වී තිබෙනවා. පවුලක අම්මා හෝ බිරිඳ රට යෑමෙන් ඇතිවන ගැටලු විසඳා ගැනීමට නම් ඇයට මේ රටේ සිට ආදායම් උපයන්න ක්‍රමයක් තිබිය යුතුයි. ආර්ථික අතින් කාන්තාව සවිබල ගැන්වීමෙන් වර්තමානයෙහි ඇතිවී තිබෙන ගැටලු රාශියකට විසඳුම් ලැබෙනවා. අපේ උත්සාහය විදේශ වෙත ඇදී යන කාන්තාවන් සවිබල ගන්වා ඇය මෙරට තුළම රඳවා ගැනීමයි.” දිරිය කතුන් වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පවසයි.

“දිරියෙන් නැගිටින දැයේ කාන්තාවන්ට අපෙන් අත්වැලක්” යන තේමාව යටතේ ඇරැඹුණු මෙම වැඩසටහන තුළින් මේ වන විට සවිමත් වු කතුන් සංඛ්‍යාව හාර දහස ඉක්මවා තිබේ. ඉදිරියේදී මෙම වැඩපිළිවෙළ දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකම පැවැත්වීමට පදනම අපේක්ෂා කරයි. හැකියාව වර්ධනය කරගෙන දිරියෙන් දිවිය දිනන්නට කැමැති ඕනෑම යුවතියකට හෝ කාන්තාවකට වයස, පක්ෂ, පාට, ජාති, ආගම්, කුල භේදවලින් තොරව මෙම වැඩසටහනට සහභාගී විය හැකි බව එහි අධ්‍යක්ෂිකා ම‍නෝජි සමරවීර මහත්මිය පවසයි. වැඩි විස්තර 071-7708858 යන අංකයෙන් විමසා දැනගත හැකිය.

 

Comments