මහා භාණ්ඩාගාරයට බරක් නොවී රාජ්‍ය ව්‍යාපාර ගොඩගත හැකිද? | සිළුමිණ

මහා භාණ්ඩාගාරයට බරක් නොවී රාජ්‍ය ව්‍යාපාර ගොඩගත හැකිද?

 බලශක්තිය, බැංකු, නාවික වැනි මූලික ක්ෂේත්‍රයන්හි ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් රටේ ආර්ථිකය ඉහළ වර්ධනයක් කරා රැගෙනයෑමට රජය සතු ව්‍යාපාර සූදානම් කිරීම මේ වන විට ආරම්භ කොට තිබේ.

මහා භාණ්ඩාගාරයට බරක් නොවී රජය සතු වාණිජ ව්‍යාපාර හා වාණිජමය නොවන ව්‍යාපාර ගොඩගැනීම මේ වැඩපිළිවෙළ යටතේ සිදු කැරේ.

රජය සතු ව්‍යාපාර මොනවාද? රාජ්‍ය වාණිජ ව්‍යාපාර මොනවාද? යන්න පවා පැහැදිලි කරමින් වසර 2016 සිය වාර්ෂික වාර්තාව මඟින් අනාගත සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට ගත යුතු මඟ අවධාරණය කරන මුදල් අමාත්‍යාංශය දක්වන අදහස්වලට අපි දැන් අවධානය යොමු කරමු.

ශ්‍රී ලංකා රජය සතුව 400ක් වන රාජ්‍ය ව්‍යාපාරයන් ප්‍රමාණයක් තිබේ. ඒවා වාණිජමය හා වාණිජමය නොවන ලෙස පුළුල් ලෙස වර්ගීකරණය කළ හැකිය. මේ අනුව රජය සතු ව්‍යාපාර යන්නෙන් අදහස් කරන්නේ මොනවාදැයි පැහැදිලි කර ගැනීම ඉතා වැදගත්ය. රජය සතු ව්‍යාපාර යනු පාර්ලිමේන්තු පනතකින් හෝ සමාගම් පනත යටතේ පිහිටුවනු ලැබූ ව්‍යාපාර වේ. මේවා වාණිජ නියාමන හා ප්‍රවර්ධන වශයෙන් වර්ග කර දැක්විය හැකිය.

රජය සතු වාණිජ ව්‍යාපාර යනු වාණිජ ආයතන වශයෙන් පාර්ලිමේන්තු පනතක් මඟින් හෝ සමාගම් පනත යටතේ පිහිටුවන ලැබූ ව්‍යාපාරයන්ය.

අප මුලින් සඳහන් කළ පරිදි රාජ්‍ය ව්‍යාපාර 400 අතුරින් 55ක් වැදගත් වාණිජමය රාජ්‍ය ව්‍යාපාර ලෙසත් 350ක් වාණිජමය නොවන රාජ්‍ය ව්‍යාපාර ලෙසත් හැඳින්විය හැකිය. සියලුම රාජ්‍ය ව්‍යාපාර මහා භාණ්ඩාගාරය මඟින් අධීක්ෂණය කරනු ලැබේ. මේ අතුරින් රාජ්‍ය ව්‍යාපාර 127ක් මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව මඟින්ද රාජ්‍ය ව්‍යාපාර 129ක් ජාතික අය වැය දෙපාර්තමේන්තුව මඟින් ද අධීක්ෂණය කැරේ.

ශ්‍රී ලංකා රජය සතු වාණිජමය වශයෙන් ඉතා වැදගත් රාජ්‍ය ව්‍යාපාර 55 අතුරින් 39ක් ලාභදායි ව්‍යාපාර වේ. 16ක් අලාභදායිව ගිය වසරේත් ක්‍රියාත්මක විය.

රජය සතු වාණිජමය වශයෙන් ඉතා වැදගත් ආයතන 55 බලශක්ති, ජලය, වරාය, මගී ප්‍රවාහන, ගුවන්සේවා, ඉදිකිරීම්, බැංකු හා මූල්‍ය, රක්ෂණය, ලොතරැයි, පශු සම්පත්, වැවිලි, පුනර්ජනනීය නොවන සම්පත්, සෞඛ්‍ය, මාධ්‍යය හා අළෙවිය හා බෙදාහැරීම් යන අංශ ඔස්සේ ක්‍රියාත්මකය.

මේ අන්දමට රටට ජනතාවට වඩාත් වැදගත් හා අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය වාණිජ ව්‍යාපාර පාඩු නොලබා ශක්තිමත්ව පවත්වාගෙන යෑම රජයේ වගකීමකි. එනමුත් විවිධ හේතු හා පරිපාලනයේ ගැටලු නිසා මේ ආයතන වල බිඳවැටීම් සිදු වී තිබේ.

මේ තත්ත්වයන් යටතේ රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉලක්ක ගතවූයේ වගවීම ස්වාධීනත්වය හා ඵලදායිතාවය වැඩිදියුණු කිරීම සඳහා බහුවිධ ප්‍රතිපත්ති තුළින් මැදිහත්වීම් ඇති කිරීම සඳහාය.

ඒ අනුව රජය රාජ්‍ය ව්‍යාපාර වැඩිදියුණු කිරීම සඳහා නව ක්‍රමෝපායන් මුදල් අමාත්‍යාංශය රටට හඳුන්වාදෙන ලදී. ඒ ප්‍රතිපත්තිමය මැදිහත්වීම මත සාමුහික අවබෝධතා ගිවිසුම් ක්‍රමවේදයකට එළැඹීම තුළිනි. රාජ්‍ය වාණිජ ව්‍යාපාර රේඛීය අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය එක්ව මේ ත්‍රයිපාර්ශ්වික ගිවිසුම් අස්සන් කළහ.

රාජ්‍ය වාණිජ ව්‍යාපාරයන්ට ඒවායේ කාර්යසාධනය, සම්පත් රැස්කිරීම තුළින් ප්‍රාග්ධන වත්කම් ගොඩනැගීම වඩාත් තාත්ත්වික මිල ප්‍රතිපත්ති පැවැරීම මේ ගිවිසුම් තුළට ඇතුළත් විය.

රාජ්‍ය ව්‍යාපාර බොහෝමයකට එහි කළමනාකරණ මණ්ඩල තුළට හැකියාව සහ පරිපූර්ණත්වයෙන් යුුත් පත්කිරීම් සිදු නොකිරීම බරපතල දුර්වලතාවයකි. ඒ නිසාම මහජන සුබසෙත සැලැසීම අරමුණින් පිහිටුවූ ආයතන රාශියක් ආරම්භක අරමුණු වලින් පිට පැන ඇත.

මේ අඩුපාඩුව තදින් හැඳිනගත් වත්මන් රජය ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය මඟින් සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේදී අනුගමනය කළ යුතු නිර්ණායක හඳුන්වාදී ඇත. මේ සඳහා මූලික හේතුවක් වූයේ රාජ්‍ය ව්‍යාපාරවලට අවශ්‍ය නායකත්ව හැකියාවන් සහ නිපුණතාවන්ගෙන් යුත් වෘත්තිකයින්ගේ සහභාගීත්වය මඟින් එම ආයතනවල දියුණුවට මඟපෙන්වා ගැනීමයි. රජයේ ප්‍රතිපත්තිය වූයේ සහ වනුයේ ස්වාධීන කළමනාකරණ මණ්ඩල පත් කිරීම තුළින් මූලික කාර්යසාධන දර්ශක කෙරෙහි ඒ ආයතන යොමු කරලීමය.

රාජ්‍ය ව්‍යාපාර මහා භාණ්ඩාගාරයට බරක් නොවී දේශීය හා විදේශීය ප්‍රාග්ධන වෙළෙඳපොළට ඇතුළු වී ඒවායේ දියුණුවට අදාළව අරමුදල් රැස් කරගන්නා තැනට දියුණු කළ යුතු වේ. ඒ අරමුණින් රාජ්‍ය ව්‍යාපාර ශ්‍රේණිගත කිරීමේ නව ක්‍රමවේදයක් රජය රටට හඳුන්වාදෙනු ලැබීය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් සියලු රාජ්‍ය ව්‍යාපාරයන්හි පරිපාලිත සමාගම් විගණකාධිපති විසින් විගණනය කරනු ලබන අතර මෙමඟින් මහජන මුදල් ආයෝජනය කර ඇති එම ආයතනයන්හි වගවීම වර්ධනය කර ගැනීමට අපේක්ෂා ‍කැරේ.

රජය සතු වාණිජ ව්‍යවසායන්හි මූල්‍ය පාලනය මූල්‍ය විනය ඉහළ නැංවීම අරමුණින් ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම යන තෝරාගත් ආයතන පහ සඳහා රජය සාමූහික අවබෝධතා ගිවිසුම් ක්‍රමය හඳුන්වා දුන්නේය.

මේ අවබෝධතා ගිවිසුම් අස්සන් තැබිමෙන් පසු මේ ආයතනවල ව්‍යවසායක සංයුක්ත සැලැස්ම හා සමගාමීව සපයනු ලබන ප්‍රධාන කාර්ය සාධන දර්ශක ඔස්සේ වැඩිදියුණු කිරීමට සූදානම් කැරිණි.

ඒ අනුව මේ සෑම ආයතනයක්ම ඉදිරි වර්ෂ තුනක කාලයක් සඳහා මුලික කාර්යසාධන දර්ශක ඉලක්ක ඉදිරිපත් කෙළේය. සියලුම වාණිජ නොවන භාණ්ඩ හා සේවා සැපැයීම සඳහා වන පුරෝකථනයන්හි මූල්‍ය බලපෑම පැහැදිලිව සඳහන් කෙළේය.

ඉදිරි වර්ෂ තුනක කාලයක් සඳහා විස්තරාත්මක අය වැය හා මූල්‍ය පුරෝකථන හා අනාගත ආයෝජන සැලසුම් එළිදක්වා තිබීම අනිවාර්ය ‍විය.

මේ අන්දමේ ඉතා ඉහළ සැලසුමක් හා දිගුකාලීන දැක්මක් ඇතිව මුල් වටයේ සාමුහික ගිවිසුම් අස්සන් කළ ආයතන ක්‍රියාත්මක වෙමින් පවතී. එය රටේ ජනතාවගේ බදු බරින් නිදහස් ශක්තිමත් වාණිජ ව්‍යාපාර ගොඩනැගීමක් සඳහා ඉලක්ක කළ රටට ජනතාවට වඩාත් ප්‍රතිලාභ හිමි වන උතුම් ප්‍රයත්නයක් වේ.

සේවකයින් බඳවා ගැනීම් නිර්දේශපාලනීකරණය ඔස්සේ සිදු කිරීම හැකි තරම් ලාබදායි කාර්යක්ෂම මෙහෙයුම් ක්‍රමවේදයන් ඔස්සේ මේ රාජ්‍ය ව්‍යාපාර ඉදිරියට ගෙනයෑම මේ වැඩපිළිවෙළ මඟින් සිදු වනු ඇත.

මේ නියමු වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ඇදෙන නිසාම තවත් රාජ්‍ය ආයතන 10ක් මේ අන්දමට ගොඩනැගීමට රජය ඉලක්ක කොට ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අවධාරණය කොට ඇත. ඒ අනුව මහාභාණ්ඩාගාරය, රාජ්‍ය ව්‍යාපාර හා අයවැය දෙපාර්තමේන්තුව, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය ප්‍රමුඛ සෑම අමාත්‍යාංශයක් සමඟම සමීප සබඳතා ගොඩනඟා ගනිමින් ඉදිරියේදී කටයුතු කරනු ඇත.

මෙය රටට ජනතාවට ප්‍රතිලාභ හිමි ණය බරින් නිදහස් ශක්තිමත් ආර්ථිකයක් බිහි කිරීමට මඟ පෙන්වන වැඩපිළිවෙළක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

Comments