අවදානම ගැනීමයි ව්‍යාපාරයක සාර්ථකත්වය

 ඔබ සංචාරක හෝටල් ගණනාවක හිමිකරුවෙක්...

ව්‍යවසායකයෙක් කියනවා නම් ඊට වඩා කැමැතියි. නිර්මාණකරුවෙක්... ඇ‍ඟේ ‘උණක්’ තියෙන මනුස්සයෙක් කියන්නත් පුළුවන්. මඩ වගුරක වුණත් මනස්කාන්ත පරිසරයක් මවන, සංස්කෘතිය - කලාව - විද්‍යාව මිශ්‍ර කරපු අමුතු හෝටල් හදන මහා අමුතු ම මනුස්සයෙක් කියන්නත් පුළුවන්. ඇත්තට ම මේ කොයි හැඳින්වීමත් මට ගැළපෙනවා.

මොනවද ඔබට තිබෙන ව්‍යාපාර...

‘තීම් රිසෝට්ස්’ යටතේ තිබෙන සංචාරක හෝටල් ජාලය. එයින්, මං මුලින් ම හැදූ කල්චර් ක්ලබ් එකේ අද තිබෙන්නේ කොටස් අයිතියක්. ල - කැන්ඩියන්, මාළු මාළු, අලියා, මවුන්ට් බැට්න් බංග්ලෝ, ස්කොටිෂ් ප්ලාන්ටර්, කියලා කියන සංචාරක හෝටල් සහ හදාගෙන යන ආයුර් වී, ආයුර්වේද හෝටලය මගේමයි. ඊට අමතරව, මං 1982 ප්‍රංශයේ ඉඳලා ඇවිත් පටන් ගත්තු අවුරුදු 35 ක් තිස්සෙ පවත්වාගෙන යන, ‘කොනෙයිසොන් ද සෙලාන්’ කියන ට්‍රැවල් ඒජන්සිය. ඒක තමයි ලංකාවේ පටන්ගත්තු මගේ පළමු බිස්නස් එකත්. ඊළඟට ‘CDC event’ ආයතනෙයන් කෙරෙන දැන්වීම් ප්‍රචාරණ කටයුතු.

ඇයි හෝටලයක් හදද්දි කැලේ කොළේ ම තෝරා ගන්නේ...

මට අංක එකත් දෙකත් තුනත් ලොකේෂන්. ඉස්සර සංචාරක හෝටල් ඉදිවුණේ ලංකාවෙ පාලම් දෙකක් අතර විතරයි. ඒ, මීගමුව කොච්චිකඩේ පාලම සහ අලුත් ම පාලම අතරෙ විතරයි. මං කන්දලම වගේ කැලෑ ගමක ‘කල්චර් ක්ලබ්’ හැදුවෙ එහෙම පසුබිමක. කැලෑව ඇතුළෙ කැලෑ ගතියට මිස මොඩර්න් ‍හෝටල් මං හදන්නෑ. සංචාරකයො ‍වැකේෂන් එන්නෙ හොඳ ලොකේෂන් හොයාගෙන. වෙනසක් හොයාගෙන. ඒ ‘චේන්ජ්’ එක තුළ රිලැක්ස් වීමයි ඔවුන්ට වැදගත් ම දේ.

හෝටලයක් හදද්දි හිතන්නෙ මොනවද...

සංචාරක ආකර්ෂණය තියෙනවා නම් හෝ‍ටලයකට ලාභය ප්‍රශ්නයක් නෙවෙයි. ආකර්ෂණීය ලෙස හෝටලයක් හදන එකත් ම ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ඒ කලාව මගේ ඇ‍ඟේ තියෙනවා. මම වද වෙන්නෙ කාරණා තුනක් ගැන විතරයි. එක, සංස්කෘතිය රැකෙන්න ඕනේ. දෙක, පරිසරය රැකෙන්න ඕනේ. තුන, අපි යන්නෙ කොයි පළාතට ද, ඒ පළාතේ මිනිස්සුන්ගෙ ආර්ථිකය හැදෙන්න ඕනෙ. මේ කාරණ තුන සම්පූර්ණ නම්, මට පුළුවන් මේ රටට වැඩි වැඩියෙන් රැකියා අවස්ථා හදන්න.

ඔය කියන කතාවට ඔබේ ජීවිතයෙන් උදාහරණයක් ‍කියන්න...

නායකයො මොන දේ කළත් මිනිස්සුන්ගෙ අතේ සල්ලි නැත්නම් ඒ ජීවිත සහ ආර්ථිකය බිංදුවයි. එහෙනම් රටකට වැදගත් ම දේ ආර්ථික සංහිඳියාවයි. යුද්දෙ ඉවරවෙනකොට උතුරු නැගෙනහිර ජන ජීවිතය හෙම්බත් වෙලා. බැලූ බැලූ අත දරිද්‍රතාව. යුද්දෙන් පස්සෙත් ඒ වෙරළ තීරයේ ලස්සන එහෙම ම තිබුණා. මං පාසිකුඩා හෝටලයක් හදනවා කියලා හිතුවෙත් ඒ නිකැළැල් පරිසරය නිසා. ඒත් ඒක දැන ගත්තම හැමෝම කිව්වේ, ‘යන්න එපා. යුද්දෙ ඉවර නැහැ, ආපහු පටන් ගන්නවා...’ වගේ පසුබාන කතා. රජයේ බැංකුවලින් පවා ණය ගන්න අමාරු වුණා. නමුත් මං තබපු පළමු පියවර පිටුපසින් තව ආයෝජකයො මොන තරම් ආවද..., ඒ පළාත්වල මිනිසුන්ට ආර්ථිකයක් ගොඩනැඟුණද.... රස්සා හැදුනද... වෙන්න ඕනෙත් ඒ දේ.

ව්‍යාපාරය වෙනුවෙන් ගත් ‍ලොකු ම අවදානම කුමක් ද...

89 භීෂණ යුගයෙන් පස්සෙ කවුරුවත් වැඩිය අහලවත් නැති කන්දලම කියන අති දුෂ්කර කැලෑ ගමේ ‘කල්චර් ක්ලබ්’ හදපු එක. ඊළඟට යුද්දෙන් පස්සෙ නැගෙනහිරට පුද්ගලිකව ගිය මේ රටේ ලොකු ම ආයෝජකයා මං. යුද්දෙ ඉවර වෙලා අවුරුද්දක් යන්න ඉස්සරවෙලා මං ‘මාළු මාළු’ හෝටලය හදලත් ඉවරයි. මේ කිසිම අවස්ථාවක රටේ ආර්ථිකය ස්ථාවර වෙනකල් කියලා මං බලා හිටියෙ නැහැ. සංචාරකයො එයිද නොඑයිද කියලා හිත හිතා හිටියෙත් නැහැ. අවදානමක් ගත්තා. හැදුවා. අවදානම තමයි, ව්‍යාපාරයක සාර්ථකත්වයත්.

ඔබේ හෝටල් ජාලයේ ගමේ තරුණයන්ට අවස්ථාව තිබෙනවද...

අනිවාර්යෙන්. ඕ - ලෙවල් ෆේල් වුණත් අපි ‘රූම් බෝයි’ රස්සාව දෙනවා. හැබැයි අවුරුදු පහක් යන්න ඉස්සරවෙලා එයා උඩට එන්න ඕනේ. ‘රූම් බෝයි - රූම් අංකල්’ වෙනකල් ඉන්න බැහැ. රස්සාවට අදාළ පාඨමාලා කරලා ඕන කෙනෙකුට පුළුවන් ඉහළට යන්න, පිටරට යන්න. පුහුණුව සහ අත්දැකීම් ලබන්න.

සේවකයන් පිළිබඳ හිතන්නෙ මොනවද...

ඔවුන් තමයි අපේ සාර්ථකත්වය. ‘පුහුණුවෙන් දැනුමින් සහ ආකල්පවලින් ඔවුන් ඉහළට යා යුතුයි’ මං නිතර කියන්නෙත් ඒ නිසයි. මට ඉන්නවා හොඳ සේවක පිරිසක්. සේවකයා බඩගින්නෙ තියලා, හොඳට කන බොන බොස් කෙනෙක් නෙවෙයි.

ඔබේ හෝටල් ඩිසයින් කරන්නෙ ‍ඔබම ද...

ඉඩම දැක්කගමන් මගේ හිතේ හෝටලේ මැවිලා ඉවරයි. ගහ කොළ කඳු බෑවුම් ලස්සන විව්ස් බේරලා හෝටලේ හැදෙන හැටි මගේ ඔළුවෙ මැවෙනවා. මගේ සංකල්පය පොලිෂ් කරගන්න විතරයි මං ආකිටෙක්ට් කෙනකුගෙ උදව් ගන්නේ. මොකද මාත් හුඟක් වාස්තු විද්‍යා සහ ඩිසයින් පොත් කියවන කෙනෙක්.

කවුද ඔබේ ජීවි‍තයේ Role Model….

යමක් ඉගෙන ගන්න පුළුවන් කාගෙන්ද එයා මට Role Model කෙනෙක්. මං තනිව හැදුණු (Self made Person) කෙනෙක්. තනිව නැගිටපු කෙනෙක්. හෝටල් ක්ෂේත්‍රයේ හොඳම අත්දැකීම් ලබන්න පුළුවන් ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් විදියට වැඩ කිරීමෙන්. මොන ඩිග්‍රි ගැහුවත් මං මගේ පුතාවත් ගයිඩ් කෙනෙක් හැටියට යවනවා. එයා මේ බිස්නස් එකට එනවා නම් අනිවාර්යෙන් ඒ අත්දැකීම ලබන්න ඕනේ.

ඔබ තීන්දු තීරණ ගනිද්දි හිතන්නෙ කොහොම ද...

දැන් ගන්න ඕන තීරණෙ, මං හෙට ගන්නැහැ. තව පැයකින් ගන්නෙත් නැහැ. හරියන්න හරි වරදින්න හරි මේ දැන් ගන්නවා. වැරදිලා නැත්තෙ නැහැ. නමුත් මට වැඩිපුර සාර්ථක වෙලා තියෙන්නෙ ඉක්මන් තීරණ. අද ලංකාවේ සාර්ථක ම ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරාත් එහෙම කෙනෙක්. බලන්න ඔහුගේ සාර්ථකත්වය.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

කුරුණෑගල මලියදේවයේ. අපි හිටියෙ ටවුමට කිලෝමීටර තුනහමාරක් විතර ඈතින් තිබුණු විල්බාව ගමේ. ඒ මුළු දුරම අපි ඉස්කෝලෙ ගියේ පයින්. ආවෙත් පයින්. ඒ යන එන ගමනෙදි අපි වෙල් එළි දිය කඩිති පහු කළා. ඒවායේ නැටුවා. මාළු ඇල්ලුවා. ඕ ලෙවල් කළාම තමයි තාත්තා බයිසිකලයක් අරන් දුන්නෙ. ඒ කාලෙ අපේ ගමට ලයිට් නැහැ. පාඩම් කළේ ලාම්පු එළියෙන්. ඒ වුණාට මං ඕ ලෙවල් ඉහළින් ම පාස්. ඒ ලෙවල් කරලා එළියට එ‍නකොට රටේ රස්සා නැහැ. 71 කැරැල්ල.

පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක් ද...

පවුලෙ හිටපු දඟම ළමයා. අක්කයි අයියලා දෙන්නටයි පස්සෙ මම. මට බාල මල්ලියි නංගිලා තුන්දෙනයි. දරුවො අට දෙනෙක් ඉන්න ලොකු පවුලක්. උසස් පෙළ පන්තියේදි අ‍පේ තාත්තා නැති වුණා. ඒ නිසා කැම්පස් යන හීනයක් මට තිබුණෙ නැහැ. ඒ වෙනකොටත් රටේ කලබල. මේ වෙනකොට මං මගේ ජීවිතේට අරමුණක් ඇතිකරගෙන.

ඒ කියන්නෙ ‘තරුණ අසහනය’ උග්‍ර වෙච්චි යුගයක්...

ඔව්. රස්සාවලට ඇප්ලිකේෂන් දානවා. දානවා. කැඳවීමක්වත් නැහැ. මං හිතුවා පඨමාලාවක් කරන්න. අන්තිමේ මරදාන ටෙක්නිකල් කොලේජ් එකේ ‘ඩිප්ලෝමා ඉන් ටුවරිසම්’ කෝස් එකට මාව තේරෙනවා. මං කොළඹ එනවා. දවස් කිහිපයක් නෑ ගෙදරක ඉඳලා බෝඩිමක් හොයනවා. බෝඩිංවල නවත්ව ගන්නෙත් නැහැ. ‘ගෙදරින් හාල් සේරු දහයක් ගෙනාවොත් පුළුවන්....’ කියනවා. මොකද මිනිස්සුන්ට කන්න හාල් නැහැ. රට පුරා හාල් පොලු. මිරිස් පොලු.

ඔබ මොකද කළේ...

මොනව කරන්නද ග්‍රාමසේවකගෙන් පර්මිට් අරගෙන මාසෙන් මාසෙට කුරුණෑගල ඉඳන් කොළඹට හාල් සේරු දහය ගානෙ අරගෙන යනවා. නැත්නම් බෝඩිම නැහැ. බස් එකේ එන‍කොට පොලු දෙකක්වත් හම්බෙවෙනවා. බැහැලා ඉතින්, පර්මිට් එකයි හාල් ටිකයි පෙන්වන්න ඕනේ.

අම්මා තාත්තගෙන් ජීවිතයට ලැබුණු හොඳ ම වටිනාකම් මොනවද...

‘පුතා කිසි කෙනකුට අත පාන්න එපා! ඔයා ඉගෙන ගන්න ඕනෙ රස්සාවකට අදාළ දෙයක් පමණයි’ අම්මා තාත්තා කියපු මේ දේ මගේ හිතේ හැමදාම තැන්පත් වුණා. අද මං මගේ ගෝලයන්ටත් මේ දේ කියනවා. ඔබ ප්‍රංශ ඉගෙන ගන්නවා නම්, ප්‍රංශ කවි කියව කියවා ඉඳලා වැඩක් නැහැ. කරන්න යන වෘත්තියට අදාළව ඒ භාෂාව ඉගෙන ගන්න. අනික තමයි යමක් සාර්ථක වෙනකල් ඒ දේ අත්නොහැරීම.

මොකක්ද ඔබේ ජීවිතයේ Turning point එක...

ප්‍රංශ භාෂාව ඉගෙන ගැනීම. මගේ මුල් ම ප්‍රංශ ගුරුවරයා ආචාර්ය සෝමරත්න බාලසූරිය. ඔහු බොහොම ආකර්ෂණීය ගුරුවරයෙක්. අපිට ප්‍රංශ උගන්වපු විදිය, ඒ ටෙක්නික්ස් හරිම ආකර්ෂණීයයි. අඳින පලඳින විදියෙ පවා තිබුණෙ ප්‍රංශ උරුවක්. මාත් දිගින් දිගට ම ප්‍රංශ ඉගෙන ගත්තා. එතැනින් එහාට මගේ ජීවිතේ අලුත් හැරවුම් ලක්ෂ්‍ය ගණනාවක් උදා වුණේ ප්‍රංශ භාෂාව නිසා. අද වෙන‍කොට ප්‍රංශයට ආපු ගියපු වාර ගණන මමවත් දන්නෑ. ප්‍රංශය මගේ ජීවිතයේ ම කොටසක් වුණා. අන්තිමේ මගේ බිරිඳ කර ගත්තෙත් ප්‍රංශ යුවතියක්.

මොකක්ද ඔබේ පළමු රස්සාව...

ටෙක්නිකල් කොලෝජ් එකේ ඉගෙන ගන්න ගමන් මං ආණ්ඩ‍ුවෙ හොටෙල් ස්කූල් එකෙත් ෆ්රන්ට් ඔෆිස් කෝස් එකක් කළා. එතැන හොඳම ශිෂ්‍යයා වුණාම ටාජ් සමුද්‍ර එකේ ෆ්රන්ට් ඔෆිස් එකේ පොඩි රස්සාවක් ලැබුණා. ඊළඟට නෙප්චූන් හෝටලයේ රස්සාවක් ලැබුණා. අවුරුද්දකට විතර පස්සෙ මට රිසෙප්ෂන් එකක වාඩිවෙලා ඉන්න ඒ රස්සාව ඇතිවුණා. ඊළඟට මං ගියේ ට්‍රැවල් ඒජන්සියක ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් හැටියට. මං ප්‍රංශ භාෂාව හොඳ හැටි කතා කළේ මේ රස්සාවෙදි.

හෝටල් ජීවිතයේ ‘කට්ට කාලා’ නැද්ද...

ඇයි නැත්තෙ. ‘නයිට් ඔෆිසර්’ කෙනෙක් හැටියට වැඩකරන කොට කරන්න දේ හුඟක් තිබුණා. කාමර කීයක් තියෙනවද. කවුද ඉන්නේ, හෙට යන ගෙස්ට්ලා ඉන්නවද, ඉන්නවා නම් ඒ අයට බිල් ලෑස්ති කරලා තියෙන එක, එකවුන්ට්ස් ෂීට්ස් හදන එක... රෑ එකොළහෙන් පස්සෙ ගෙස්ට් කෙනකුට ප්‍රශ්නයක් ආවොත් විසඳන එක..., මේ සියල්ල රෑට ‘ඩේ බුක්ෂිට්’ එක හදන නයිට් ඔෆිසර්ගෙ රාජකාරි. එළිවෙනකල් කරන්න වැඩ තිබුණත් මං ඒවා ආසවෙන් කළා. අමාරුම දේ තමයි, ඒ හුඟක් දවස්වල මං නයිට් කළේ, එදා මුළු දවස ම අලුත්ගම ඉඳන් කොළඹ ගිහින් ෆ්‍රෙන්ච් ක්ලාසස් කරලා. ඒ ඉඳලා, අලුත්ගම ඇවිත්, රෑ බේරුවලට ආපහු යනවා නයිට් කරන්න. හුඟක් මහන්සියි. ඒ වුණාට හිතේ හයියට අපි ඕන දෙයක් කළා.

ඔබ තෝරා ගත් ක්ෂේත්‍රයේ හැම ඉසව්වක් ම ඉගෙන ගෙන තිබෙන හැඩයි...

නැතුව බැහැ. විශේෂයෙන් අපි වගේ ගම්වලින් ආ තරුණයන්ට වෙන මඟක් තිබුණෙ නැහැ. ඔය නයිට් කරන කාලෙ මට විතරයි හෝටලයේ ප්‍රංශ කතා කරන්න පුළුවන්. ප්‍රංශ ගෙස්ට්ලත් හරියට ආවා. ඒ වෙලාවට මං තමයි හෝටලයේ අත්‍යාවශ්‍ය පුද්ගලයා. ඒ වෙනකොට මං ‘ටුවරිස්ට් ගයිඩ්’ කෝස් එකකුත් කරලා ඉවරයි. ටිකෙන් ටික මං මටම වටිනාකමක් හදාගත්තා.

එතකොට පළමු වතාවට ඔබ ප්‍රංශෙට යන්නෙ...

ඒ වෙනකොට මං ලංකාවෙ ‘අලියොන්ස්’ සංගමයේ හොඳ ම සාමාජිකයෙක්. වීසා ගන්න අමාරු කාලයක් වුණත් ප්‍රංශෙට යන්න මට වීසා ලැබුණා. අවුරුදු දෙකහමාරක් මං පොඩි පොඩි රස්සා කරමින්, ප්‍රංශ ‘අලියොන්ස්’ සංගමයෙන් වැඩිදුර භාෂාව ඉගෙන ගත්තා.

ලංකාවට ඇවිත් ඔබ මොකද කරන්නේ...

ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් හැටියට වැඩ පටන් ගත්තා. ඉකෝ ටුවරිසම් සහ කල්චර් ටුවරිසම් එකතු කරපු ක්‍රමයක් මමම හදාගත්තා. ටුවරිස්ට් හා ට්‍රැවලර් කියන්නෙ පැහැදිලිව ම දෙන්නෙක්. ටුවරිස්ට් කෙනෙක් හැමදාම එන්නෙ එකම හෝටලයකට. ඉල්ලන්නෙ පුරුදු කාමරය. දවස් දෙක තුනක් විවේකීව රැඳිලා කාලා බීලා පැය ගණන් එක තැන අව්ව තැපලා යන සංචාරකයාට වඩා, ට්‍රැවලර් වෙනස්. ඔහු සොබාදහම සහ සංස්කෘතිය හොය හොයා ඇවිදිනවා. සංස්කෘතික ත්‍රිකෝණයේ දවස් තුන හතර රැ‍ඳෙනවා. සීගිරිය, පොළොන්නරුව, අව්කන, රිටිගල දවස් ගණන් ඇවිදිනවා. විඳිනවා. මම ගේන්න කැමතිත් එහෙම සංචාරකයන්. ඔවුන් එක්ක මාත් ‍මේ දේවල් යළි යළිත් විඳිනවා. ඔවුන් අයිති ‘ට්‍රැවලර්’ වර්ගයට. කොහොමටත් සංචාරකයන්ගෙ දැන් වැඩි ප්‍රවණතාවක් තිබෙන්නෙ කැලෑව - සොබා දහම - සත්තු අඩු නැති හරිත සුන්දරත්වයට.

ඒකද ඔබේ හෝටල්වලට සත්තුන්ගෙ නම් දාන්නෙත්...

මුලින් ම මම හදපු හෝටලය ‘කල්චර් ක්ලබ්’. ඒකත් ආන්දෝලනාත්මක නමක් වුණා. ඊළඟට හැදුවේ ‘ල - කැන්ඩියන්’ ඒක ප්‍රංශ නමක්. ‘මවුන්ට් බැට්න් බංග්ලෝ’ කියන්නෙ, මවුන්ට් බැට්න් සාමිවරයා භාවිත කළාය කියන නුවරඑළියෙ තවත් බංගලාවක්. එතැනින් එහාට මං සියල්ල‍ වෙනස් කළා, අපේ කම, අපේ පරිසරය අපේ සතා සීපාවා ගැන කියැවෙන නම් තමයි දිගට ම දැම්මේ. මාළු මාළු, අලියා, කිතලා ඒ නම්. මගේ අලුත් ම හෝටලේ තමයි ආයුර් වී. තනිකරම ආයුර්වේද හෝටලයක්.

එතකොට ‘මාළු මාළු’ වගේ නමක්...

මගේ ටුවරිස්ට් ජීවිතය පුරාම මං දැකපු දෙයක් තමයි සංචාරකයො සුරංගනීට මාළු ගෙනාවා මාළු මාළු මාළු මේ දැන් ගෙනාපු මාළු....’ සිංදුවට දක්වන කැමැත්ත. නම ගත්තෙ ඒ සිංදුවෙන්. ‍ඒ නම නැඟලා ගියා.

‘අලියා’ සහ ‘කිතලා’.... ආවේ කොහොමද...

අලියා බොහොම ප්‍රිය මනාප සතෙක්. මේ හෝටලය තිබෙන හරියෙ වැඩිපුර ම ඉන්නෙ අලි. කොහොමටත් මං අලියට හරි ආදරෙයි. කිතලා කියන්නෙත් ලස්සන කොරවකු විශේෂයක්. හොට තැඹිලි - රතු පාට ඇඟ තද නිල් ලස්සන කුරුල්ලෙක්. ඒ ඒ පළාත්වල ආවේණික දේයි මේ නම්වලට පසුබිම් වෙලා තියෙන්නේ.

සංචාරක ව්‍යාපාරයෙ ඉදිරිය ඔබට පේන්නෙ කොහොමද...

තව ටික දවසකින් මේ රටේ තේ නැතිවෙලා යනවා. රබර් නැතිවෙලා යනවා. පොල්වලටත් ඒ ආනිසංසෙමයි. ඉදිරියට එන්නෙ සංචාරක ආර්ථිකයක්. People to people Business එකක්. සූපවේදයද... සත්කාරයද... විඳින්න තිබෙන ලස්සන ද අඩු නැතිව සංචාරකයො හොයන හැමදේම ලංකාවෙ තියෙනවා. Online ගිහින් ටිකට් එක ගත්තු ගමන් ඩොලර් 30ක් ලංකාවට එනවා. එහෙම මිලියනයක් දෙකක් ආවොත් කොයි තරම් මුදලක් ද... සංචාරක ආර්ථිකයක් ගොඩ නැ‍ඟෙන එහෙම සුබවාදි අනාගතයක් පෙනෙන්න තිබෙනවා. නමුත්, ගංවතුර නායයෑම් ඩෙංගු වගේ රටේ පොදු ප්‍රශ්නත් ඉතාම අහිතකර ලෙස සංචාරක ව්‍යාපාරයට ඍජුව ම බලපානවා.

ඔබේ ව්‍යාපාර, පහුකළ දුෂ්කර ම කාලය මොකක්ද...

1983. අපි නැත්තට ම නැතිවුණා. ට්‍රැවල් ඒජන්සිය වහලා දාන තැනට ආවා. මං නිතර ප්‍රංශෙට ගියා. ෆොටෝ අරන් පොත් හදලා ප්‍රංශෙ වටේ ගිහින් ට්‍රැවල් ඒජන්ට්ස්ලා මුණගැහුණා. ඒ කාලෙ අද වගේ ටැබ් නැහැ. කම්පියුටර් නැහැ. ෆෝන් නැහැ. විස්තර කර කරා ෆොටෝ පෙන්වනවා. ‘මේ පැත්තෙ විතරයි කලබල තියෙන්නේ. අනික් පැතිවලඩ යන්න පුළුවන්. බය නැතිව එන්න...’ කිය කියා බොරු දහසක් කියනවා. 1983 රට තිබුණෙ කොහොම තැනකද. ඒ වුණාට 1992 වෙනකොට මං කල්චර් හදලත් ඉවරයි. ඒක කළේ 83 - 92 දක්වා මගේ ට්‍රැවල් ඒජන්සියෙන් හම්බ කරපු මුදල් වලින්.

හෝටල් ගණනාවක හිමිකරුවෙක්. හැම කෑම වේලක් ම ගන්නෙ ඒ සුපිරි හෝටල්වලින්ම ද...

මොන පිස්සුද. අපේ ගෙදර වැඩ කරන මනුස්සයට හොඳ බත් මාළු පොල් සම්බෝල කරවල හදන්න පුළුවන්. මං වැඩිපුර කන්නෙ එදා වගේ ම ගමේ කෑම. මගේ වයිෆ් ප්‍රංශ වුණාට දැන් එයත් රයිස් ඇන්ඩ් කරිවලට පුරුදු වෙලා

ආගමත් එක්ක තිබෙන්නෙ කොහොම බැඳීමක් ද...

ආගම්වල තිබෙන මිත්‍යාවට අන්ධ භක්තික දේවලට මම නැහැ. මං පංසල් බෞද්ධයෙක් නෙවෙයි. ධර්මය තිබෙන්නෙ හදවතේ. ගෙදර තමයි මගේ පංසල. මගේ බිරිඳත් එහෙමයි. පුතත් එහෙමයි.

එතකොට හම්බකරන දෙයින් දනට පිනට යමක් දෙන්නෙ නැද්ද...

ඒකට ආගම අදාළ නැහැ. දෙන්න ඕනෙ තැන පසුබාන්නෙත් නැහැ. මායි වයිෆුයි පුතයි සුනාමියට අහුවුණා. මරණ බිය අත්දැක්කා. ඒ වුණත් අපේ ජීවිත බේරුණා. පස්සෙ අපි පොඩි සංවිධානයක් හැදුවා. ඒකට මාත් ඇතුළුව ප්‍රංශෙන් සහ අපේ රටේ හිතවතුන්ගෙන් ආධාර ලැබුණා. ‘වික්‍රමසිංහ පුර’ කියලා මගේ නම තියලා අපි බූස්සෙ ගෙවල් 51 ක ගමක් හැදුවා. ඊළඟට කතලුවෙ ‘තුප්පහි වත්තෙ’ ත් ගෙවල් 32 ක් හැදුවා.

ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් ආදර්ශයක් කියන්න...

ගමකින් ආපු මං අද කොතැනද ඉන්නේ. මරදානෙ ටෙක්නිකල් කොලේජ් එකෙන් පටන් ගත්තු ගමනින්, දවසක මේ තරම් කලාත්මක හෝටල් සමූහයක් ලංකාවට හැදුවා. එදා මෙදා තුර මං වැඩ කරපු හැටි වැටුණු පැරදුණු හැටි, නැගිටපු හැටි ඔබ ඔළුවට ගන්න. ඔබ ඉගෙන ගන්න ඔබේ ඉලක්කයට අදාළ දේ. කාලය ටිකයි. ඒ නිසා හැම මොහොතම ඔබේ අරමුණට පාර හදා ගන්න.

ඉනෝකා පෙරේරා බණ්ඩාර
ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.