ගම්පෙරළිය මාර්ටින් වික්‍රමසිංහ සහ ඇන්ටන් චෙකොෆ් | සිළුමිණ

ගම්පෙරළිය මාර්ටින් වික්‍රමසිංහ සහ ඇන්ටන් චෙකොෆ්

“සාහිත්‍ය විචාරකයො ගම්පෙරළියෙන් එහාට ඇවිත් නෑ”

“ගම්පෙරළියට වඩා දියුණු නවකතා පළ වෙලා තියනවා.”

“තවමත් විශ්වවිද්‍යාලවල තියෙන්නෙ මාර්ටින් වික්‍රමසිංහගෙ සාහිත්‍යය විතරයි.”

“ගම්පෙරළිය අනුන්ගෙ ප්ලොට් එකක්” ඉහතින් දක්වන ලද්දේ ගම්පෙරළිය නවකතාව සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල විවිධ පාර්ශ්ව වෙතින් මට අසන්නට ලැබුණු කියමන් ය. මේවා නැවත සිහිපත් වූයේ බර්ට්‍රම් නිහාල් විසින් අධ්‍යක්ෂණය කරන ලද “ගම්පෙරළිය” ටෙලිනාට්‍යය ජාතික රූපවාහිනිය ඔස්සේ නැවත නරඹන්නට ලැබීමෙනි.

ටෙලිනාට්‍යය නාමයෙන් රූපවාහිනී මාධ්‍ය අරක්ගෙන සිටින බහුබූත නරඹමින් සිටින ප්‍රේක්ෂකයන් හට “ගම්පෙරළිය” ආස්වාදයක් ලබාදුන් බවට සැකයක් නොමැත.

වසර 30 කට පසුව “ගම්පෙරළිය” ටෙලිනාට්‍යය නැවත රසවිඳීමේ දී එදා නොදුටු සියුම් තැන් මනසින් ස්පර්ශ කිරීමේ අවස්ථාව උදාවූ බව නොකියා බැරි ය.

එහි තේමා සංගීතය ඇසෙන විට කාන්දමක් මෙන් දුරක සිටියත් රූපවාහිනී යන්ත්‍රය අසලට දෙපා ඇදී යයි. අති දක්ෂ සංගීතඥයකු වූ සරත් ප්‍රනාන්දුගේ සංගීතය ශෝකයේ මධුර බව නින්නාද වන ස්වර සංකලනයකින් යුක්තය. කිසියම් ප්‍රමෝදජනක හැඟීමක් පතුලෙහි සෝකය තැවරී ඇති බවක් හැ‍ඟෙයි.

ගම්පෙරළිය නවකතාවෙහි අන්තර්ගත ජීවන අත්දැකීම සහ සමාජ චින්තනය විශද කිරීමෙහි සමත් සංගීත රාවයකි එය.

ගම්පෙරළිය සිංහල නවකතාවෙහි සන්ධිස්ථානයකි. නවකතාව බිහි වූ යුගය අනුව බලන විට ගම්පෙරළිය යනු අහම්බයක් වැන්න. සිංහල නවකතාව කුමන ඉසව් කරා වර්ධනය වුව ද ගම්පෙරළිය දියමන්තියක් ඔප වෙන්නාක් මෙන් දිනෙන් දින අලුත් වෙයි. නූතන සාහිත්‍ය විචාරකයන් හා ප්‍රබුද්ධ රසිකයන් මේ අදහස් යල් පැන ගිය ඒවා ලෙස සලකන්නට පුළුවන. “ගම්පෙරළියෙන් මෙහාට ඇවිත් නෑ” චෝදනාව ගෙනෙන උදවිය තිඹිරියාගම බණ්ඩාර ගම්පෙරළිය නවකතාව අපොස ‍උසස් පෙළට කට පාඩම් කළ ගිරවෙකැයි චෝදනා නගන්නට ද ඉඩ තිබේ.

මේ ලියුම්කරු උසස් පෙළ ලියද්දී නියමිතව තිබුණේ යුගාන්තය නවකතාවයි. එහෙත් ඊට කලකට පෙර තුන් ඈඳුතු නවකතාව ද ඒ පිළිබඳ ගැඹුරු විමර්ශනයක් කරමින් සුගතමුනි ඤාණසිරි සහ නාමෙල් වීරමුනි සම්පාදනය කළ ග්‍රන්ථ විඥාන ඇතුළු විචාර පොත් ද කියවා සිටියෙමි. විචාර කෘතිවලින් ලැබුණු අවබෝධය නැතත් ගම්පෙරළිය කියවද්දී දැනෙන සියුම් හැඟුම් සමුදාය වසන් කළ නොහැක. මිනිස් ජීවිතයේ බේදය පිළිබඳ දැනෙන සියුම් රිදුම සඟවා ගෙන වෙන වෙන කතා කිව හැක්කේ කුහක වතින් කටයුතු කරන අයකු හට ය.

පියල් නන්දා සමඟ අතිනත ගැනීම ප්‍රමෝදජනක අවසානයකි. එසේ වතුදු ඒ ප්‍රමෝදය ඛේදවාචකය සමඟ එකට ලැඟුම් ගනී. මහගෙදර බිඳ වැටීමට සමාන්තරව පියල්ගේ නවීන නිවහන ඉදිවෙයි. එහි පදිංචියට යන නන්දා ජිනදාසගේ ඇත්ත මරණයෙන් පසු මහගෙදර දකින්නට යන ගමන පුරන් වූ අධ්‍යාත්මයේ සැකිලි දකින්නට යෑමක් වැන්න.

බර්ට්‍රම් නිහාල් ගේ නිර්මාණ ප්‍රතිභාන මහිමය ගම්පෙරළිය ටෙලිනාට්‍යයෙන් අපූරුවට පෙනෙයි.

“එහෙනම් ජිනදාස භූමදානය කොට අවසන් ගෞරවය දැක්වූයේ මගේ සල්ලිවලින්” පියල්ගේ ප්‍රකාශයෙන් කම්පනයට පත්වන නන්දා එතැනින් බැහැරට යද්දී පයෙහි ගැටෙන පිත්තල පහන හඬ නඟා පෙරළෙයි.

පහනට එබෙන පියල් තම මුහුණේ පිළිබිඹුව ආලෝකයෙන් දිලිසෙන පිත්තල පහනෙන් දකී. බර්ට්‍රම් නිහාල් ඒ පිළිබඳ මෙසේ පවසයි.

“පියල් තමාගේ මුහුණෙන් තමා දකින අවස්ථාවක්. මෙ වැනි රූප රාමු ගණනාවක් ටෙලිනාට්‍යයෙදි භාවිත කළා. නවකතාවේ වචනවලින් කියැ‍ෙවන සියුම් තැන් රූප රාමුවලින් කියවන්න බොහෝ වෙහෙසක් ගත්තා. ඒක අසීරු වැඩක්. ගම්පෙරළිය රූපරාමුවලට ගැනීම ම අභියෝගයක්. මනෝවිශ්ලේෂණ න්‍යාය අනුව සාහිත්‍ය විමර්ශනය කරන අය දැන් ඉන්නවා. ඔවුන්ට ගම්පෙරළිය නොපෙනීම පුදුම සහගතයි. ගම්පෙරළිය කිසිසේත්ම නූතන විචාර න්‍යායන් අනුව ප්‍රතික්ෂේප කළ හැකි කෘතියක් නොවෙයි.”

බර්ට්‍රම් හොඳ කෙටිකතාකරුවෙකි; හොඳ කියැවීමක් ඇති සාහිත්‍යකරුවෙකි. ගම්පෙරළියෙහි චරිතවල සියුම් තැන් දැනෙන අන්තර්ඥානයක් ද විචාර සිද්ධාන්තවලින් කුරුවල් නොවූ තියුණු මනසක් ද ඔහුට ඇත.‍

ගම්පෙරළිය කියවන හැම විටම ඇන්ටන් චෙකොෆ් මගේ මනසට පිවිසෙයි. චෙකොෆ්ගේ මුහුදු ලිහිණියා නාට්‍ය පිටපත කියවද්දී ඇති වන හැඟීම් සමුදාය ගම්පෙරළිය කියවද්දී ඇතිවන හැඟුම් සමුදායට මඳක් සමීපවෙයි.

මුහුදු ලිහිණියා නාට්‍යය මුලින් ම ප්‍රදර්ශනය කෙරුණු විට ප්‍රේක්ෂකයන්ගෙන් සුහද ප්‍රතිචාරයක් නොලැබුණු බව චෙකොෆ්ගේ සාහිත්‍යය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වන ආරියරත්න විතාන සඳහන් කරයි.

චෙකොෆ්ගේ මුහුදු ලිහිණියා නාට්‍ය ඇතුළු ප්‍රධාන පෙළේ නාට්‍යවල නාට්‍ය ගුණය හීන බව බැලූ බැල්මට පෙනෙයි‍. එසේ වතුදු ඒ චරිත මුවට නංවන දෙබස්වල යටි පෙළෙන් ආදරය, මනුෂ්‍යත්වය සහ ජීවිතයෙහි ඛේදනීයත්වය පිළිබඳ හැඟුම් සමුදායක් මතුවෙයි.

මුල් කාලයෙහි චෙකොෆ්ගේ නාට්‍ය ප්‍රතික්ෂේප කළ රසිකයන් පසු කාලයෙහි එම නාට්‍ය අදරින් නැරඹීමේ හේතුව ස්ටැනිස්ලච්ස්කි නමැති විශිෂ්ට විද්වතාගේ අදහස් අනුව නාට්‍ය නැවත නිෂ්පාදනය කිරීම බවට නා නා නයින් කරුණු දක්වන්නෝ සිටිති. එසේ වතුදු චෙකොෆ් කෙටිකතාවල මෙන් ම නාට්‍යවල ද ජීවත්වන මිනිසුන් හුස්ම ගන්නා හඬ හෙමින් ඇසෙන්නට පටන් ගන්නේ එම කෘති නැවත නැවත ආස්වාදය කරන විට ය.

මාර්ටින් වික්‍රමසිංහ රුසියානු සාහිත්‍යයෙහි නියම හරය වටහා ගත් සාහිත්‍යධරයෙකි.‍ සංස්කෘති සඟරාවෙහි ඇන්ටන් චෙකොෆ් අංකයට මාර්ටින් වික්‍රමසිංහ ලියූ නිබන්ධය චෙකොෆ් පිළිබඳ හොඳම නිරීක්ෂණයකි.

“තමා ඉතාම දුරුව සිටගෙන ච‍රිත සිත්තම් කිරීම සඳහා කෙලෙසුන් තැවූවකුගේ විරාගයට සමාන විරාගයකුත් මධ්‍යස්ථභාවයකුත් රචකයකුට අවශ්‍ය වෙයි.”

මේ කියුම මා උපුටා ගන්නේ 80 දශකයේ මුලදී යුගාන්තය කියවූ මතකය ඔස්සේ එහි පෙරවදනෙනි. ගම්පෙරළියෙහි චරිතවල සියුම් වියමනට සමාන වියමනක් චෙකොෆ්ගේ කෙටිකතා හා නාට්‍ය පිටපත්වල ඇතැයි මට හැ‍ඟේ.

පුද්ගල ඛේදවාචකය යනු වියුක්ත ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් නොවේ. එය සමාජ පරිවර්තනය සමඟ අත්‍යන්තයෙන් සම්බන්ධ වෙයි.

අදහස්