රුහුණේ පැරැණිම දේවාලයේ ෙපරහර මංගල්‍යය ඇරැඹේ...

 දකුණු වෙරළබඩ තීරයේ තෙද බලපාන සීනිගම ශ්‍රී දෙවොල් දෙවිදුගේ 50 වැනි වාර්ෂික ඇසළ මංගල්‍යය ජූලි මස 25 වැනි දින පෙරවරු 10.05 ට කප් සිටුවීමෙන් ආරම්භ විය.

ගොඩබිමෙන් මීටර් 300 ක් පමණ දුරින් මුහුද මැද පාවෙන අයුරින් දිස්වන තරමක උස ගල්තලාවක් මත නවීකරණය කරන සීනිගම ශ්‍රී දෙවොල් පුද බිම දර්ශනීය වේ.

ඈත අතීතයේ ගොඩබිමේ පිහිටා තිබුණ සීනිගම දෙවොල් දේවාලය වසර ගණනක් සමුද්‍ර ඛාදනයට ලක්වීම නිසා ක්‍රම ක්‍රමයෙන් අද මීටර් තුන්සියයක් පමණ දුරින් මුහුද මැද පිහිටා තිබේ.

ශ්‍රී දෙවොල් මහා දෙවිඳු අරක්ගත් සීනිගම දේවාලයේ ඉතිහාසය අනාදිමත් කාලයකට දිව යන්නකි. ඒ කෙසේද යත් සිංහල වර්ගයාගේ ව්‍යාප්තිය ලංකාවේ ඇතිවීම පිළිබඳ ජන සම්මතයක් පරිදි සැලකෙන විජය කුමරුගේ සම්ප්‍රාප්තියටත් පෙර දක්වා ය. මේ ගෞතම බුදු රජුන්ගේ ජීවමාන කාලයයි‍. දෙවොල් කණ්ඩායමේ පැමිණීම සීනිගම තොටමුණෙන් සිදුවූ අතර එවකට මෙම තොටමුණේ පත්තිනි නම් කතක් නායිකාව වූවා ය. දේවත්වයෙහිලා එවකටත් පිදුම් ලැබූ ඇය පතිවත සුරැකි කුලඟනාවකි. මෙය ද ලංකාවේ ගජබා රජුන් කල ඇදහීමට පාත්‍ර වූ පත්තිනි මෑණියගේ එක් අවස්ථාවකැයි සැලකේ‍. මේ අතින් බලන කල දෙවොල් කුමරුන්ගේ පැමිණීම දක්වා සීනිගම තොටෙහි ලාංකික පත්තිනියක් ඇදහීමේ දේවාලයක් තිබූ බවට දෙවොල් කවි කියමන් තුළින් අද පැහැදිලිව සනාථ වේ.

සීනිගම පත්තිනි‍ දේවාලය මුලින් ම ගොඩනඟා‍ ගෙන තිබුණ බැවින් එය රුහුණේ පැරණිතම දේවාලය ලෙසට ද සැලකෙණි. මේ කරුණු බැවින් මෙගම වූ පවිත්‍රතාවය ඉපැරැණි කවියන් ‘සුද්ද ස‍ීනිගම’ යනුවෙන් යෙදී මෙන් ම පැහැදිලි ය. දෙවොල් දෙවියන්ගේ ආක්‍රමණයන් පත්තිනි දේවියගේ ස්ථානය පැහැර ගන්නා ලදින් ඔහුගේ යසෝ කීර්ති පතුරුවන කේන්ද්‍රස්ථානය බවට පත්වූයේ ය. දෙවොල් ශ්‍රී ලංකාවේ රාවණ පෙළ පතින් පැවතෙන්නෙක් ලෙසට ද සලකන්නෝ වෙති.

රුහුණේ රජ කළ දප්පුල නම් රජෙකු දෙවුන්දර දේවාලය සහ නගරය ඉදි කිරීමට පෙරාතුව ස‍ීනිගම දේවාලයේ ඓතිහාසිකත්වය සලකා පස් මහල් දෙව් මැදුරක් තනවා දෙවු රජුගේ නමට පුද කරන්නට යෙදිණැයි සැලකේ. ඊට කරුණු වනුයේ දෙවුන්දර දේවාලයේ ‍උපුල්වන් දෙව්රුව නෙළූ කිහිරි කොටය දෙවුන්දර මුහුදු වෙරළට ගොඩ ගැසූ බව පුරාවෘත්තවල සඳහන් වේ.

ක්‍රි.ව. 1505 දී පෘතුගීසීන් මෙරටට පැමිණ මුහුදුබඩ වෙහෙර විහාර විනාශ කිරීමේ භයානකම ප්‍රතිඵලය වූයේ ක්‍රි.ව‍. 1580 දී පෘතුගීසි නාවුක හමුදාපති සූසා විසින් ස‍ීනිගම දේවාලය කඩා බිඳ දමා විනාශ කිරීම ය‍. මුහුදට ගොඩබිමෙන් මහා ‍ගල් තලාවක් මත පිහිටි මෙම දේවාලයට පූජා පැවැත්වීම සිදුවූයේ අල්ප ලෙස ය. මහණ කමක් නොමැතිව සිවුරු පොරවාගත් හීරුළුවන් ගෙන් භික්ෂු ශාසනය රැකගන්නා ලෙසට මහ බීන්නගොඩ විචිත්තාවාරතිස්ස නාහිමියන් ක්‍රි.ව. 1912 දී ලියන ලද හීරළු සංදේශය යවා ඇත්තේ මෙම සීනිගම දේවාලයට ය.

ක්‍රි.ව. 1922 දී සිදුවූ භයානක මුහුදු ඛාදනයත් මුහුද ගොඩ ගැලීමත් නිසා ස‍ීනිගම දේවාලය ගොඩබිමෙන් වෙන්ව මුහුදු දේවාලයක් බවට පත් විය. එදා මෙන් ම දේවාලයට කිසිදු හානියක් සිදු ‍වී නොමැත. දෙවොල් දෙවියන් පැමිණ ගල් පවුර තවමත් දේවාලයට ශක්තිය ලබාදෙමින් පවත‍ී. විශ්‍රාමලත් සිවිල් සේවකයෙකු වූ හියූ නෙවිල් මහතා විසින් ක්‍රි.ව. 1886 දී ලියන ලද ලංකාවේ දෙව් දේවතාවුන් පිළිබඳ විස්තරයේ මේ දේවාලය ගැන සඳහන් වේ. මේ පිළිබඳ තොරතුරු හා විස්තර ඇතුළත් පුස්කොළ පොත් කිහිපයක් ජාතික පුස්තකාලයේ තැන්පත්ව ඇත.

මුහුදු දේවාලයට ගොස් පුද පූජා පැවැත්වීමට ඔරු පාරු යොදා ගැනීමට සිදුවීමක් අද සිට සිදු වුවත් එදා ගොඩබිමේ සිට සිදු කිරීමට හැකියාව තිබුණි.

විශේෂ කෙම්මුර දිනයක් වන බදාදා සහ සෙනසුරාදා විශාල වශයෙන් අවලාද කරවා ගැනීමට පැමිණෙන බැතිමතුන් අද ඇතත් එදා සෙත් කවි, වස් කවි කියවා ගැනීමටත් කර කප්පට ලෑම හා රිදී මැකීම පුරාණයෙහි කපු ඇදුරන් ලවා සීනිගම දේවාලයෙන් කරවා ගෙන ඇතත් අද කලාතුරකින් වස් පූණා ගැසීම කරවා ගන්නෝ වෙති.

සීනිගම පිහිටි දෙවොල් මහා දේවාලයට අමතරව බැතිමතුන් දෙවොල් දෙවි කෙරේ. ප්‍රසිද්ධ ව‍ූ දේවාල අතර වෙහෙරගොඩ, උඩුගල්පිටිය (දොඩන්දුව) ගින්තොට, උණවටුන, ලණුමෝදර, රිදියගල හා හොරවල, නවගමුව ද වෙති. මෙවැනි දේවාල උඩරට ද නම් වලද තිබෙන බවත් සැලවේ.

සීනිගම දේවාලය මහත් තෙද බල ඇති ස්ථානයක් ලෙස ප්‍රකට ය. මිනිසුන් දෙවියන් උදෙසා යාඥා කරමින් ශාන්තිය මෙන් ම විපත් පමුණුවන අයුරු පෙනේ. තවද අධිකරණවල නඩු ත‍ීන්දු නිරාකරණය කිරීම සඳහා දිවිරීම් කටයුතු ද මෙම දේවාලයෙන් සිදු කෙරේ.

මුහුදේ පවතින දේවාලයට යෑමට අපහසු අය සඳහා පූජා කටයුතු කර ගැනීමට නවීකරණය කරන ලද පංච මහා දේවාලයක් බුදුන් වහන්සේ සිහිපත් කිරීමට අංග සම්පූර්ණ ‍ෙබාදු කුටියක් ද අෂ්ඨ ඵල බෝධීන් වහන්සේ නමක් ද නිර්මාණය කොට ඇත. තවද දැනට ප්‍රධාන කාර්යාලයක් හා මුළුතැන්ගෙය සහිත පූජා පිළියෙල කරන ස්ථානයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ගෙන යනු ලැබේ.

තුන්වැනි භාරකරු සරත් දිසෙන්තුවාහන්දි මහතා නව සැලැස්මක් මත ඉදිරි කාලයේ දේවාලය දියුණු කිරීමට කටයුතු කරන බවත් මෙවර දේවාල ඇසළ උලෙළට රාජ්‍ය අනුග්‍රහය ද ලබාගෙන ඇති බව සතුටින් දන්වමි.

2017 වර්ෂය වෙනුවෙන් 50 වැනි වාර්ෂික ඇසළ මංගල්‍යයට ජූලි මස 25 දින පෙරවරු 10.05 ට කප් සිටුවා අගෝස්තු මස 24 වැනි දින පෙරවරු 9 ට උදා සමුළුව පවත්වා එදිනම රාත්‍රි 8 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පවත්වා අගෝස්තු මස 25 වැනි දින පෙරවරු 7 ට මහා සංඝරත්නයට හීල දානය පිරිනමා පෙරවරු 9 ට දේවාභිෂේක නානුමුර මංගල්‍යය ද පවත්වනු ලබයි.

අගෝස්තු මස 26 වැනි දින පස්වරු 1 ට යෙදෙන සුබ මොහොතින් පළමු දිවා මහා පෙරහර තෙල්වත්ත පුරාණ රත්පත් රජමහා විහාරයට ද අගෝස්තු මස 27 වැනි දින පස්වරු 1 ට දෙවැනි දිවා මහ පෙරහර හික්කඩුව ජනනන්දාරාම විහාරය දක්වා ද අගෝස්තු මස 28 සහ 29 යන දෙදින රාත්‍රි 9 ට රාත්‍රි මහා පෙරහර තෙල්වත්ත සහ තොටගමුව දක්වා වීදි සංචාරය කරනු ලැබේ.

අගෝස්තු මස 30 වැනි දින රාත්‍රි 8 ට දෙවොල් මඩු යාගය ද 31 වැනි දින අලුයම 5 ට ගිනි මැල සතක් තරණය කිරීම හා පෙරවරු 6 ට බැතිමතුන් සඳහා මහා දේව දානය ද ලබාදීමෙන් උත්සව කටයුතු අවසන් වේ.

සීනිගම මහනාම මංගලසිරි

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.