ලන්ඩන් යෝධයා හෙට නිහඬ වේද? | සිළුමිණ

ලන්ඩන් යෝධයා හෙට නිහඬ වේද?

 ලන්ඩනයේ සංකේතය බඳු 'බිග් බෙන්' ඔර්ලෝසුව ගැන ලොව නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. එංගලන්තයේ ලන්ඩන් වැසියන්ගේ හදවතේ රිද්මය වන් මේ දැවැන්තයා එක දිගට සිවු වසරක් නිහඬ කරවීමට කළ තීරණය මුළු ලොව පුරාම පසුගියදා පැතිර ගියේ අසුරු සැණක් තරම් වේගයෙනි. වසර 158ක් තිස්සේ නොකඩවා ලන්ඩන් නුවරුන්ගේ එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යෑමට ජීවය දෙමින් හඬ නැංවූ මේ ලන්ඩනයේ යෝධයා නිහඬ කරවීමේ තීරණය ද නිකම්ම ගත්තාක් නොව සම්ප්‍රදායානුකූලව එරට පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩල අනුමැතිය ඇතිව ගත් තීරණයක් විය. අත්‍යවශ්‍ය වූ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මේ අයුරින් බිග් බෙන් නිහඬ කරවීම අවශ්‍ය බව ලන්ඩන් නගර බලධාරීන් විසින් ප්‍රකාශ කර තිබිණි. එහෙත් මෙලෙස ලන්ඩන් යෝධයා නිහඬ කරවීම ලන්ඩන් නුවරුන්ට නම් රුචි නොවන්නක් බව ඔවුන් ට්විටර් හා ෆේස් බුක් මාධ්‍ය ජාල හරහා පළ කර තිබු සටහන් අනුව පෙනී ගියේය.

“බිග් බෙන් හඬ අපේ ජීවන රිද්මය හා සමානයි. මේ තීරණය දුකට කරුණක්. ඒත් ප්‍රතිසංස්කරණ අවශ්‍යයි.”

“එය ලන්ඩනයේ ශබ්දයයි. අපි ජිවත් වුණේ එය සමඟයි”

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ස්වාමිවරුන් වසර හතරකට නිහඬ කරන්න. සැබෑ නිහඬ කරවීම එයයි.”

“බිග් බෙන් යනු අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතයයි. එය කිසිදා නිහඬ කළ නොහැක”

ලන්ඩන් නුවරුන් බිග් බෙන් නිහඬ කරවීමට ගත් තීරණය ගැන සිය අකැමැත්ත හා ඒ කෙරෙහි වන ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කර තිබුණේ එසේය.

ලන්ඩනයේ සිරි නැරැඹීමට එන එරට වැසියන් මෙන්ම වි‍දේශිකයන් ද නොවරදවාම දැකීමට පැමිණෙන ස්ථාන වන බකිංහැම් මාලිගය, ලන්ඩන් කුලුන, තේම්ස් නදිය හා එරට පාර්ලිමේන්තුව පිහිටි වෙස්මිනිස්ටර් මාලිගය යනාදී වූ ස්ථාන අතරින් බිග් බෙන් ඔරලෝසුවට හිමි වන්නේ සුවිශේෂී වූ ස්ථානයකි. එරට වැසියන් නම් මෙය එක් වරක් පමණක් දැක සෑහීමකට පත් නොවන ස්ථානයක් ලෙස සඳහන්ය. එපමණක් නොව නගරය සිසාරා පැතිරෙන ඒ හඬ ද ඔවුනට අභිමානයකි. සෑම වසරකම අලුත් අවුරුදු උදාවේදී බිග් බෙන් අසල අහස සිසාරා පැතිරෙන ගිනි කෙළිවලින් මැවෙන අසිරිමත් දර්ශනය නැරැඹීමට දෙනෝ දාහක් රැස්වෙති.

එංගලන්ත පාර්ලිමේන්තු මන්දිරය වන වෙස්මිනිස්ටර් මාලිගයේ උතුරු අන්තයේ පිහිටා ඇති කුලුනේ සවිකර ඇති මේ දැවැන්ත ඔරලෝසුව එරට ඉතිහාසය හා සමඟ බැඳී පවතින්නකි. 1834 - 1844 අතර කාලයේ ඇතිවූ මහා ගින්නකින් වෙස්මිනිස්ටර් මාලිගය විනාශ වීමත් සමඟ පාර්ලිමේන්තු මන්දිරය සඳහා නව ගොඩනැගිල්ලක් තැනීමට පිඹුරු පත් සැකසිණ. ඒ සඳහා කුලුනක් ඉදිකර එහි දැවැන්ත ඔරලෝසුවක් ද සවි කළ යුතු බවට තීරණය කර ඉදි කිරීම අවසන් කර විවෘත කෙරුණේ 1859 වසරේදීය. මේ දැවැන්ත නිර්මාණයේ නියමුවන් වන්නේ ඔගස්ටස් පූගින් හා චාල්ස් බැරී නමැති ඉංජිනේරුවන් දෙදෙනාය. තවමත් ලොව උසම මුහුණත් සතරකින් යුතු ඔරලෝසුව ‍වන මෙහි මුහුණත පළල අඩි 9කි. මෙලොව ඉදිවූ ජනප්‍රියම ඔරලෝසු කුලුන ලෙස සැලකෙන මෙහි කුලුනේ උස අඩි 315කි. ඔරලෝසුවේ පැය කටුව අඩි 9ක් දිගින් යුතු අතර මිනිත්තු කටුව අඩි 14ක් දිගින් යුතුය.

බිග් බෙන් හි විශේෂත්වයට තවත් හේතුවක් වනුයේ පැයකට වරක් හා පැය කාලෙන් කාලට නාද වන එහි ඇති මහා සීනුය. මෙහි දැවැන්ත සීනුව ටොන් 13ක් බර බව සඳහන්ය. ලන්ඩනයේ යෝධයා බිග් බෙන් ලෙසින් හැඳින්වුවද එය පිහිටි කුලුනේ පෙර නම ශාන්ත ස්ටීවන් කුලුනය. බිග් බෙන් යනු ඔරලෝසුවට යෙදී ඇති නම පමණකි. 2012 වසරේ දී එංගලන්තයේ දෙවැනි එලිසබත් මහ රැජනගේ ජුබිලිය වෙනුවෙන් මේ කුලුන එලිසබත් කුලුන ලෙස නම් කෙරිණ.

කුලුනේ අත්‍යවශ්‍ය වූ ප්‍රතිසංස්කරණ සඳහා බිග් බෙන් නිහඬ කරවීමට තවත් හේතුවක් වන්නේ එහි යෝධ සීනුවේ හඬ එහි ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත සේවකයන්ගේ සෞඛ්‍යයට හානිකර වෙතැයි යන මතයය. බිග් බෙන් යෝධයා නිහඬ කර එහි අතුළත යාන්ත්‍රණය තෙල් දමා නඩත්තු කර නව තාක්ෂණය ඇතුළත් කිරීමද එම ප්‍රතිසංස්කරණ කටයුතුවලට ඇතුළත්ය. එහෙත් මේ නිහඬ කරවීමද ලෙහෙසි පහසු නොවන්නේ එහි විශාලතම හා යෝධ සීනුව නාද කරවන මිටියක් වැනි උපකරණය අගුළු දමා විසන්ධි කර සීනු බිමට බෑ යුතු බැවිනි.

මින් පෙර බිග් බෙන් නිහඬ කෙරුණේ එංගලන්තයේ හිටපු අගමැතිවරයකු වූ වින්ස්ටන්ට් චර්චිල් හා මාග්‍රට් තැචර් අගමැතිනියගේ අභාවයන්වලදීය. ඊට අමතරව අත්‍යවශ්‍ය පිළිසකර කටයුතු සඳහා කෙටි කාලයක් බිග් බෙන් නිහඬ විය. එහෙත් මේ සා වූ දීර්ඝ කාලයකට බිග් බෙන් නිහඬ කරවීමට යන්නේ ප්‍රථම වරටය.

මේ මහා කර්තව්‍යයේ බර පැන ලෙසින් ඩොලර් මිලියන 40ක පමණ මුදලක් වැය වෙන බව වාර්තා වේ.

බිග් බෙන් නිහඬ කරවීමේ තීරණයත් සමඟ ලන්ඩන් නුවරුන් වෙතින් එල්ල වූ විරෝධයට දැන්පාර්ලිමේන්තු ඇතැම් මන්ත්‍රීවරුන්ගේ විරෝධය ද එක්වීම නිසා එරට අගමැතිනී තෙරේසා මේ නැවතත් මේ පිළිබඳ සිතා බැලීමට තීරණය කර තිබේ. බිග් බෙන් සිවු වසරකට නිහඬ කරවීම නිවැරැදි නොවේ යැයි පවසා ඇති ඇය මේ මතබේදයට තුඩු දුන් කරුණ ගැන යළි සලකා බලන ලෙස උත්තර මන්ත්‍රී මණ්ඩලයට දැනුම් දී ඇත්තේය. බිග් බෙන් හි පාලකවරයා වන ස්ටීව් ජෙග් පවසන්නේ ද මේ ලන්ඩන් යෝධයා නිහඬ කරවීමට තමා ද අකැමැති වුවත් අවශ්‍යතාව මත එය කළ යුතු බවයි.

කෙසේ වෙතත් මේ ලන්ඩන් යෝධයා නිහඬ කරවුවහොත් එය ද සිදු වනුයේ උත්සවාකාරයෙනි. හෙට එනම් අගෝස්තු 21වැනිදා මධ්‍යහ්න දොළහට අවසන් වතාවට නාද කරන එහි හඬ ලන්ඩන් නුවරුනට යළි අසන්නට ලැබෙනුයේ 2021 වසරේදීය. ලන්ඩන් යෝධයා අවසන් වතාවට නාද කරනු ඇසීමට ද නන්දෙසින් ජනතාව කුලුන අබියසටම ඇදී එතැයි ලන්ඩන් බලධාරීහූ අපේක්ෂා කරති.

සේමාලි කැල්ලපත 

Comments